Ads 468x60px

.

දඩ ගැසීමෙන් පමණක්‌ විනය රැකීමට යැම නිරර්ථක කාරණයක්‌ වන බව...


ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක්‌ දක්‌නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්‍රමාණයක්‌ වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ. 

එම වර්ෂයේ සමස්‌ත රිය අනතුරු සංඛ්‍යාව 36,894 කි. මියගිය සංඛ්‍යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක රිය අනතුරු" සංඛ්‍යාව 2566 කි. යතුරුපැදි අනතුරු සංඛ්‍යාව 9329 ක්‌ වන අතර යතුරුපැදිකරුවන් 754
දෙනකු මියගොස්‌ තිබේ.

අප සඳහන් කරන මේ කාරණා එක එල්ලේම ගලපා ගත යුත්තේ, පසුගිය දිනවල වාර්තා වූ රථවාහන වැරැදි හතකට රුපියල් විසිපන්දහස බැගින් වූ අවම දඩ නියම කිරීමේ පුවත සමඟය. "පාරේ නීතිය" අලුත් වීම බොහෝ දෙනකුගේ කනස්‌සල්ලටත්, කේන්තියටත් හේතු වී තිබෙන බව පෙනේ. 


මාර්ග නීති කඩකිරීමේ වැරැදි සම්බන්ධව දඩ නියම වී ඇති බරපතළ වැරදි කිහිපයකි. බීමත්ව රිය පැදවීම, අධික වේගය, දුම්රිය හරස්‌ මාර්ග නීති උල්ලංඝනය, රක්‍ෂණාවරණයක්‌ නොමැතිව රිය ධාවනය, වමෙන් ඉස්‌සර කිරීම වැනි "පාරේ වැරැදි" සඳහා දඩ නියම කිරීම කාලෝචිත පියවරක්‌ ලෙස සැලකිය යුතු නමුත් සමහරුන්ට අනුව එය "ආණ්‌ඩුවේ ගොන්" තීරණයකි. 

ආණ්‌ඩුවේ "තීරණ" පිළිබඳව බොහෝ දෙනකුට ප්‍රශ්න ඇති මුත් අප ඉහත කී අනතුරු සංඛ්‍යා දත්ත හා සැසඳීමේදී මේ පියවර සාධනීය එකක්‌ බව කිව යුතු ය. රිය අනතුරු වළක්‌වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත මේ යෝජනාවලට විරුද්ධ වන උදවිය ම මහපාරේ අනතුරක්‌ සිදු වූ විට රියෑදුරන්ගේ අඬු කඩන්නටත්, වාහන ගිනි තබන්නටත් ඉදිරිපත් වන්නේ විශාල කැක්‌කුමකිනි. 

තවත් පිරිසක්‌ එය සාධාරණීකරණය කරන්නේ "රටේ නීතියක්‌ නැති විට, සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම වළක්‌වන්නට බැරි යෑයි" කියමිනි. නීතිය ගෙන ආවිට මේ පිරිසම විවිධ හේතු ඉදිරිපත් කරති. 

ඉන් කිහිපයක්‌ මෙසේ ය. 

අව්වට, වැස්‌සට පීඩා විඳිමින් යන යතුරුපැදිකරුවන්ට ත්‍රිරෝද රථවලට වමෙන් ඉස්‌සර කර යැමට නොහැකි වීම බලවත් පීඩාවකි. මාර්ග පද්ධතිය දියුණු නො කර දඩ ගැසීමෙන් මේ ප්‍රශ්නය ඉවර කරන්නට නො හැකිය. රටේ පාරවල්වල හැටියට මාර්ග නීති නො කඩා රිය ධාවනය කළ නො හැකිය. දඩ මුදල වැඩි කිරීමෙන් පොලිසියට දෙන පගාව වැඩි වේ. සුඛෝපභෝගී වාහනවලට දඩ මුදල් වැඩි කළ යුතු ය.

මේ ඉදිරිපත් කරන හේතු එකින් එක ගත් විට "පාරේ නීතිය" මඟහැර යැමට තරම් ඒවා ප්‍රබල නො වන බව පැහැදිලිවම පෙනේ.

දඩ මුදල සම්බන්ධයෙන් වැඩිම විරෝධයක්‌ දක්‌වන්නේ ත්‍රිරෝද රථ, යතුරුපැදි, පුද්ගලික බස්‌රථ රියෑදුරන් බව පෙනී යන්නේ ය. රටේ වැඩිම අනතුරු සංඛ්‍යාවක්‌ සිදු වන්නේ ද මේ වාහන ත්‍රිත්වය හේතු කරගෙන බව කිව යුතු ය. මාර්ග පද්ධතිය දියුණු තත්ත්වයක තිබියේ නම් අනතුරු වළක්‌වා ගැනීමේ හැකියාවක්‌ තිබේ ය යන්න පිළිගත නො හැකි කාරණයකි. 


දැනට මංතීරු කිහිපයකින් සමන්විතව නවීකරණය කළ කොළඹින් පිට පළාත් දක්‌වා දිවෙන මාර්ගවල පසුගිය කාලයේ ඇති තරම් අනතුරු සිදු විය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වන රිය අනතුරුවල වර්ධනයක්‌ ද පසුගිය කාලයේ දක්‌නට ලැබිණි. "දඩ වැඩි ය" යන්නෙන් අදහස්‌ කරන්නේ මේ මාර්ග නීති වලින් අවම හතර පහක්‌ වත් කඩකිරීමේ අයිතිය තිබිය යුතු යෑයි සමහරෙකු විශ්වාස කරන බව ය. 

පොලීසිය පගා ගැනීම වැනි කාරණා නීතිය වෙනස්‌ කිරීමට තරම් හේතු සාධක නො වේ. එහෙත් මේ දඩ මුදල් පනවනවා සේම රිය පදවන උදවියට ද අනවශ්‍ය පීඩනයක්‌ එල්ල නො වන අකාරයට මාර්ග තදබදය අවම වන පූර්ණ වශයෙන් නවීකරණය වූ මාර්ග පද්ධති තව තවත් සකස්‌ විය යුතු ය. 

එමෙන්ම මේ කාගෙ කාගෙත් "රඟ" ඒ අයට ම දැකගැනීමට හැකි වන ආකාරයේ සීසීටීවී කැමරා ප්‍රධාන මාර්ගවල සවි කළ යුතු ය. මේ කිසිවක්‌ම නොකර දඩ ගැසීමෙන් පමණක්‌ විනය රැකීමට යැම නිරර්ථක කාරණයක්‌ වන බව කිව යුතු ය.
 
Related Posts with Thumbnails