ශ්‍රී පාදය සුරකිමු....


ශ්‍රී පාදය මෙරට බෞද්ධයන්ගේ පූජනීය උරුමයකි. විවිධ ආගමිකයන් ශ්‍රී පාද වන්දනාවට එකතු වුවද එය බොදු පුද බිමකි. පසුගිය සති කිහිපය පුරාම විශේෂයෙන් ම සමාජ ජාලා වෙබ් අඩවිවල ශ්‍රී පාදය සම්බන්ධව නොයෙකුත් පුවත් පළවිය. 

එයින් කියවුණේ ශ්‍රී පාද රක්‍ෂිතයේ නිවාඩු නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා මූලික සැලසුම් සකස්‌ වී ඇති බවය. හෙලිකොප්ටරයකින් ශ්‍රී පාද අඩවියට පැමිණි විදේශිකයන් පිරිසකගේ ද ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි
ඔස්‌සේ ප්‍රචාරය වන්නට විය.

මේ පුවත පිළිබඳව රටේ දැ හිතකාමී තරුණ පිරිස්‌ වඩාත් උනන්දු වූ අතර ශ්‍රී පාද පුදබිම රැක ගැනීම වෙනුවෙන් විවිධ උද්ඝෝෂණ පවා සංවිධානය විය. මේ පැතිරෙන පුවත පිළිබඳ රජයේ අවධානය යොමු වූ අතර ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මේ ප්‍රශ්නයට මැදිහත් විය. 


ඒ අනුව නල්ලතන්නිය පීක්‌ µSල්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජිත වූ නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග කළ බව ඊයේ සෑම පුවත්පතකම මුල් පිටුවේ පළවිය. 

ශ්‍රී පාදස්‌ථානය සුරැකීම වෙනුවෙන් කටයුතු කළ සැමට මෙය සතුටුදායක පුවතක්‌ විය. මෙම වතුයායේ අයිතිකරු වන්නේ ඩුබායි ජාතිකයෙකි. ඔහු ලංකාවට පැමිණෙන අවස්‌ථාවලදී නැවතී සිටීම සඳහා නිවාඩු නිකේතනයක්‌ සකස්‌ කිරීමට සැලසුම් යොදා තිබිණි. ලංකාවට පැමිණෙන මේ ඩුබායි ව්‍යාපාරිකයා නල්ලතන්නිය වතු යායට පැමිණෙන්නේ ද හෙලිකොප්ටරයෙනි.

මාවුස්‌සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මරේ දිය ඇල්ල ආසන්නයේ මාවුස්‌සාකැලේ ජලාශය ඉස්‌මත්තේ මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර තිබිණි. මෙම ඉදිකිරීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් මෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන්ද අදාළ අනුමැතිය ලැබී තිබිණි. නමුත් සමාජජාලා ඔස්‌සේ පැන නැගුණු විරෝධය හමුවේ අදාළ බලධාරීන්ට නිහඬව සිටීමට නො හැකි විය.

නල්ලතන්නිය වනජීවී කාර්යාලය හා හැටන් වන අඩවි කාර්යාලය ප්‍රකාශ කරන්නේ මෙම තේ වත්ත තම කලාපයන්ට අයත් නො වන බව ය. කවරක්‌ නමුත් ශ්‍රී පාද කලාපය විදේශිකයන්ගේ නිවාඩු නිකේතනවලින් අපවිත්‍ර කිරීමට ඉඩදිය යුතු නැත. 


එක්‌ කණ්‌ඩායමකට නිවාඩු නිකේතන ඉදිකිරීමට අවසර ලබා දුනහොත් තවත් වසර කිහිපයක්‌ යද්දී ශ්‍රී පාද කලාපය ඇතුළතත් මෙවැනි ඉදිකිරීම් සිදු නොවනු ඇතැයි කාට කිව හැකිද? පෘතුගීසීන්ට ගෙරි හංකඩ එළා ගැනීමට ඉඩදීමෙන් සිදුවූ විනාශය කොපමණ ද? 

මේ නිවාඩු නිකේතනවලට ඉඩ ලබා දීමෙන් එවැන්නක්‌ නොවන්නේ යෑයි කාට කිව හැකිද? ශ්‍රී පාදය යනු ලෝක උරුමයක්‌ බව අමතක කළ යුතු නැත. එනිසාම මෙහි පාරිසරික සමතුලිතතාව බිඳ දැමීම බලවත් වරදකි. අඹගමුව ප්‍රාදේශීය සභාවට මේ ගැන අවබෝධයක්‌ නොතිබිණි ද?

සමන්තකූඨ පුරාණය විජයාවතරණයෙනුත් ඈතට යන්නකි. මහාවංශයේ 32 වැනි පරිච්ඡේදයේ 49 හා 50 ගාථාවලින් දුටුගැමුණු රජ කල දිනක දහවල් දානයට සමන්තකූඨ පව්වේ වැඩ සිටි භික්‍ෂුන් 900 ක්‌ සහභාගි වූ බව දැක්‌වෙයි. මහ පැරකුම්බා රජු සිරිපා වැඳ සමන් දේවාලයක්‌ කර වූ බව රාජාවලියේ දක්‌වා ඇත. එවන් ඉතිහාසයක්‌ ඇති මේ පින්බිම ඉදිරියටත් රැක ගත යුතු නොවේද?

නිවාඩු නිකේතන ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරාම රමණීය ස්‌ථාන රැසක්‌ ඇත. එහෙත් ශ්‍රී පාද පරිසරය විනාශ වන ආකාරයේ ඉදිකිරීම්වලට ඉඩදීම කිසිසේත් සුදුසු නොවේ. ජල පෝෂකත්වය අතින් මෙරට ඇති වනාන්තර 246 න් ප්‍රමුඛත්වයට පත්වන්නේ ද ශ්‍රී පාද රක්‍ෂිතය බව අප අමතක කළ යුතු නැත.