Ads 468x60px

.

සංගීත මුනිවරයාණෙනි, ඔබට නිවන් සුව.....


මියුරු බසින් රස මැවූ හෙළයේ මහා ගාන්ධර්වයා සිය දිවි සැරිය නිමා කර තිබේ. සිංහල සංගීත ඉතිහාසයේ අමරදේව යුගය ඊයේ දිනයෙන් අවසන් වූ බව සටහන් තබන්නේ කනගාටුවෙනි. 

අමරදේවයන්ගේ මියුරු සර මින් ඉදිරියට සජීවීව අසන්නට නොලැබීම සමස්‌ත ජාතියේම අභාග්‍යයකි. එහෙත් කිසිවකුට මරණය පරාජය කළ
නොහැක. බුදුන් වහන්සේ දෙසා ඇත්තේ සබ්බං පහාය ගමනීයං" ලෙස ය. එනම් සියල්ල හැරදා යා යුතුය යන්නයි. අමරදේවයන් ද සිය ගාන්ධර්ව ජීවිතය හැරදා ගොස්‌ ඇත.

අමරදේවයන්ගේ මුවින් නැගෙන්නේ සිංහල ජනතාවගේ හද පතුලේ උපන් ගී රාවය යෑයි මහාචාර්ය සරච්චද්‍රයන් සටහන් කර ඇත. අමරදේවයන්ගේ හඬින් සෑම සිංහලයකුගේම හදවත් වෙණ තත් අනුකම්පනය වෙයි. 


ඒ හඬ කනෙහි වැකුණු කල සෑම සිංහලයකුගේ ම දෑසට කඳුළු උනන්නේ එහෙයිනි. මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ අභාවය අසන සමස්‌ත ජාතියේම ඇස අග කඳුළු උනන්නේ එහෙයිනි. එතුමා අභාවප්‍රාප්ත වුවද ඒ කීර්ති ඝෝෂාව ලොව පුරා පැතිරීම නම් වළක්‌වනු නොහේ.

අද්‍යතන සුභාවිත සංගීතයේ ප්‍රමුඛයාගේ අභාවය මෙරට සංගීත ක්‍ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි. එතුමාණෝ නිසර්ග සිද්ධ ප්‍රතිභානය හා සංවේදිතාව යන සංගීතඥයකු සතු විය යුතු මූලික ගුණාංග සපුරා සිටි බව පැහැදිලිය. 


සංගීත ශාස්‌ත්‍ර විෂයෙහි මතු නොව ස්‌වකීය භාෂාව සාහිත්‍ය විෂයෙහි ද වෙනත් අනුබද්ධ ක්‍ෂේත්‍රයන්හිද පැතුරුණු දැනුම ඇත්තෙකු විය. සංගීතඥයකු සතු ව්‍යත්පත්තියේ අවශ්‍ය අංගයන් හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සතු වූහ. 

එතුමාණන් ගොඩනැගූ මහා සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය නම් මේ අභාවයත් සමඟ මතුවන බව පැහැදිලිය. ඔහුගේ හිඩැස කිසිවකුට පිරවිය හැකිද නැත.

2001 දී මැග්සයිසේ සම්මානය ලැබීමෙන් පසුව මෙරටට පැමිණි අවස්‌ථාවේ පැවැති උපහාර උළෙලකදී අමරදේව සූරීහු මෙසේ ප්‍රකාශ කළෝය.

"සංගීතය මගේ මාධ්‍යයයි. සංගීතය නමැති මාධ්‍යය හැඟීම්වලින් කතා කරන භාෂාවයි. මා ගත් මඟ පැරැණි විය හැකියි. අද නව පරපුර මගේ මඟ යනවා. මම පැරණි වුවත් මා ගත් මඟ පැරණි නැහැ. ඒ නිසා නවකයන් ඒ මඟ යන්නේ නම් එහි ඇති වරදක්‌ නැහැ." මේ වදන් අතීතයට වඩා වර්තමානයටත්, අනාගතයටත් වැදගත් නොවන්නේද?

කුඩා කල සංගීතය ඉගැන්මත් සමඟ ඔහුගේ සංසාර මතකද ඇවිස්‌සෙන්නට විය. පාසල් පත පොතට වඩා ඔහු ලොබ වූයේ සිය පියාණන්ගෙන් ලද වයලීනය වැයීමටය. මේ වන විට ඇල්බට්‌ පෙරේරා සිසුවාගේ වෙණසර ප්‍රතිභාවය ගම් නියම්ගම් පුරා ප්‍රකට වන්නට විය.


 හෙළයේ මහා ගාන්ධර්වයාගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ද පසුගිය වසරේදී පැවැති සම්මුඛ සාකච්ඡාවදී ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ ප්‍රේමය මට නොවේ වයලීනයට" යන්නයි.

විශ්වයේ මධුරම ස්‌වරය පිහිටා ඇත්තේ බුදුන් වහන්සේට බව කියති. එසේම පණ්‌ඩිත් අමරදේවයන්ගේ මධුර ස්‌වරය ද සියලු ජන හද සුපසන් කරවන්නක්‌ විය. අමරදේවයන්ගේ සුගායනයේදී ශබ්ද රසය මෙන්ම අර්ථරසය ද තීව්‍ර විය. 


එය නිසාම ඔහුගේ ගීත නිසා සිංහල ජනයා සමාධිගත කරවීය. සියලු රසික ජනයා ඒ හඬට ආකර්ෂණය වී ඔවුන්ගේ රසභාව ලෝක ප්‍රකම්පිත වන අයුරු වින්දනය කරවීය. එහෙත් මේ මහා පුරුෂයාගේ හඬ අනුකරණය කළ හැකි මිනිසෙක්‌ මිහිපිට සිටීද?

හෙළ දෙරණ ගිම් නිවූ මහා යුග පුරුෂයාණෝ මහා සංගීතවේදියාණෝ ජාතියෙන් සමුගෙන ඇත්තාහ. සිංහල රසික ජනහද නිදන් කළ ඒ වර්ණිත ගී සමුදාය සසර වසන තුරුම හෙළ දෙරණේ රැව් පිළිරැව් දීම කිසිවකුට වැළැක්‌විය නොහැකිය. සංගීත මුනිවරයාණෙනි, ඔබට නිවන් සුව.
 
Related Posts with Thumbnails