Ads 468x60px

.

අයවැයට යෝජනාවක්‌ (මැති ඇමැතිවරු වෙනුවෙනි)


අයවැය ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින තුනක කාලයක්‌ පමණි. අපට (ජනතාවට) මේ දින තුනක කාලය පවා ඉවසා සිටින්නට බැරි තරමේ හදිසියක්‌ තිබේ. ඒ බය හා සැකය මුසු හදිසියකි. 

හදිසියට හේතුව මෙසේය. 

පසුගිය අවුරුද්ද පුරාම මේ රටේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවුණු, විශාල දුක්‌ කන්දරාවකට මුහුණපෑ මැති ඇමැතිවරු (ජනතා නියෝජිතයන්) වෙනුවෙන් ආණ්‌ඩුව දෙන්නේ මොනවාදැයි දැන ගැනීම
ඒ හදිසියයි. 

පසුගිය අවුරුද්ද පුරාම මේ උදවිය වෙනුවෙන් ලබාදුන් කෙංගෙඩියක්‌ නැත. මේ අවුරුද්දේ මුල, රට බරපතළ ආර්ථික අර්බුදයක පවතින නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදු සංශෝධන කිහිපයක්‌ හඳුන්වා දී තිබිණි. ඒ "බදු බර" සෑහෙන තරමටම දැනුණේ ජනතාව වෙනුවෙන් වෙහෙසෙන ජනතා නියෝජිතයන්ය. 

ඒ නිසාම බදු සංශෝධන ගෙන ඒමෙන් පසු දින කිහිපයක්‌ ගතවීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 225 දෙනා සඳහා ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට තීරණයක්‌ ගෙන තිබිණි.

"අතට ගත් දේ කටට දමාගන්නට" ඒ අවාසනාවන්තයන්ට ඉඩක්‌ ලැබුණේ නැත. රටේ සමහර මෝඩ මිනිසුන්ගේ විරෝධතා, ආඩපාලි නිසා ඒ කතාව එහෙමම යට ගියේය. 


ඊළඟට මේ "දුක්‌ විඳින ජනතා නියෝජිතයන්" වෙනුවෙන් තීරු බදු රහිත වාහන ලබාදීමේ යෝජනාවක්‌ ද ඉදිරිපත් විණි. මේ "ප්‍රශ්නය" බොහෝ කාලයක්‌ මේ රටේ "පත්තරකාරයන්ට" සෙල්ලම් දමන්නට හැකි ප්‍රවෘත්තියක්‌ බවට පත්විණි. 

කෙසේ හෝ ඒ වැඩෙත් "ඇනෙන" තැනකට ගියේ අගමැතිවරයා කී නුවුවමනා කතාවක්‌ නිසාය. අගමැතිවරයාට අනුව, මැති ඇමැතිවරු සඳහා තීරු බදු රහිත වාහන ලබාගත යුත්තේ ගංවතුරෙන්, නායයැම්වලින් මෙන්ම කොස්‌ගම සාලාව හමුදා කඳවුර පිපිරීමෙන් පසු අනාථ වූ, අවතැන් වූ ජනතාවට සහන ලබාදීමෙන් පසුවය. 

අවතැන් වූ ජනතාවට සහන සැලසීමත් දවසින් දවස කල් යන නිසා අර අහිංසකයන්ට වාහනයක්‌ ගන්නට මේ කපේදී හැකියාවක්‌ ලැබෙන්නේ නැත. කෙසේ හෝ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්‌ "ඩියුටි FREE" වාහන ගෙන්වා ඒවා අලෙවි කර ඒ මුදල් තම දිස්‌ත්‍රික්‌කයේ අසරණයන්ට බෙදා දී අවසන් බව ද වාර්තා වේ. 

ඒ ගැන වැඩිය කතා කළ යුතු නැත. ඊර්ෂ්‍යාකාරයන්ට ඒ ටික ද ප්‍රමාණවත්ය. මේ ආණ්‌ඩුව කියන ආකාරයට පරණ ආණ්‌ඩුව පාවිච්චි කළ සුපිරි වාහනවලට වෙච්ච දෙයක්‌ නැත. තිබෙන ටික අබලන්ය. එහෙව් තත්ත්වයක්‌ තිබියදී මේ වාහන ගෙන්වීමට විරුද්ධ වන්නේ අහවල් දේකටදැයි අපට තේරෙන්නේ නැත.

අපට (ජනතාවට) යාන්තම් හෝ හිත හදා ගැනීමට හැකි ප්‍රවෘත්තියක්‌, පසුගිය සතිය අවසන් වන විට වාර්තා වී තිබිණ. ඒ, ලක්‍ෂ පහේ කුලියට මන්ත්‍රීවරු 56කට වාහන ලබාදීමට තීරණය කර තිබීමයි. මෙය අප කාගේත් අමන්දානන්දයට හේතුවන කාරණයකි.

මේවාට විරුද්ධ වන අයගෙන් අපට අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ රටේ මිනිස්‌සුන්ට මේ වන විට තිබෙන ප්‍රශ්න මොනවාදැයි යන්නය. වැට්‌ බදු වැඩි කිරීම රටේ ජනතාවට ඒ හැටි ප්‍රශ්නයක්‌ නොවේ. ගුවන් යානා තෙල්වලට බදු නොගැසීමට කොතරම් වටිනා දෙයක්‌ද? 


වී වලට සහතිකවම, සහතික මිලක්‌ තිබේ. සහල් මිල පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. වී අතිරික්‌තය අරක්‌කු නිෂ්පාදනයට යොදවන නිසා වී ගොවියාට ප්‍රශ්න තිබෙන්නට බැරිය. පොහොර වවුචර ක්‍රමයට ලබාදෙන නිසා කෘෂිකර්මාන්තයට හොඳ කලක්‌ ලබා තිබේ. තෙල් මිල රටේ ජනතාවට කොහෙත්ම ප්‍රශ්නයක්‌ නැත. "ඉලෙක්‌ටි්‍රක්‌" කාර්වල බදු අඩුකර තිබේ.

මේ කිසිදු වරප්‍රසාදයක්‌ නැති ජනතා සේවය වෙනුවෙන්ම කැපවී සිටින මැති ඇමැතිවරුන්ට දීමනා වරප්‍රසාද වැඩි කිරීම ගැන කවුරුත් කලබල විය යුතු නැත. මුදල් ඇමැතිවරයා මෙවර අයවැයේදී මේ ගැන කල්පනා කර යමක්‌ නොකරාවිදොයි අපේ හිතේ බයක්‌, සැකක්‌ තිබෙන්නේ ද ඒ නිසාය.
 
Related Posts with Thumbnails