ආයෙත් වැස්‌ස - ආපදා කළමනාකරණයට පණිවුඩයක්‌...


දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය අවසන්ය. රටේ ජනතාව මාස ගණනාවක්‌ පුරා මේ උණුසුම නිසා පීඩා වින්දාහ. දැන් මදි නොකියන්නට වහී. ඊයේ වන විට වාර්තා වී තිබූ ආකාරයට සමහර ප්‍රදේශවල නායයැමේ අවදානමක්‌ ද මතුව තිබේ. 

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියන ආකාරයට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළ අඛණ්‌ඩව පැවතුණහොත්
නායයැමේ සහ පස්‌ කඳු කඩාවැටීමේ අවදානම රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්‌ත්‍රික්‌කයන්ට වුව බලපෑම් කළ හැකි මට්‌ටමක්‌ තිබේ. ජලාශ කිහිපයක වාරි මට්‌ටම ද ඉහළ යන බව වාර්තා වේ.

අයහපත් කාලගුණය හැම විටම මේ රටේ ජනතාවට අලුත් පාඩමක්‌ කියා දුන් බව කවුරු කවුරුත් තදින් සිහි තබාගෙන සිටිය යුතු බව පවතින තත්ත්වය අපට පෙන්වා දේ. පැරණි පාඩම් අත්දැකීමට ගෙන ඊළඟ වතාවේ ඊට මුහුණදීමට අප සූදානම් නැති බව ද අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. 


පසුගිය කාලය පුරාම සිදු වූ බොහෝ දේ අපට කියා දී ඇත්තේ ඒ කාරණයයි. කොටින්ම රටේ ආපදා කළමනාකරණය පවා නින්දෙන් ඇහැරෙන්නේ එවැනි තත්ත්වයකදී බව පෙනෙන්නට තිබේ. 

ආපදාවකට පෙර ආපදා කළමනාකරණය ක්‍රියාත්මක වන්නේ කොහොම දැයි සමහර අයගෙන් ප්‍රශ්න අහන්නට පුළුවන. මෙතැනදී අප කතා කරන්නේ තුන්සිය හැටපස්‌ දවසේම ගංවතුර සහනාධාර හෝ නියං සහනාධාර එකතු කිරීම ගැන නොවේ. 

ආපදාවක්‌ ඇති විය හැකි යෑයි සැක හිතෙන තැන් හඳුනාගෙන ඒ ඒ ප්‍රදේශවල අවදානම වෙනුවෙන් පූර්ව කටයුතු යෙදීමය. අයහපත් කාලගුණය දිගටම පැවතුණහොත් ඉදිරියේදී නායයැමේ සහ පස්‌ කඳු කඩා වැටීමේ අවදානම වැසි සහිත කාලගූණයක්‌ එන්නට පෙර හඳුනා ගන්නට බැරි වන්නට හේතුවක්‌ නැත. 

පසුගිය කාලය පුරාම එවැනි අවදානම් සහිත කාලයන්හි නිවාස ගොඩනැඟිලි ඉදිකළ උදවියට අත්විඳින්නට වූ අමිහිරි අත්දැකීම් ගැන කාටත් අමතක නැතැයි සිතමු. මේ සිදුවීම් අතරතුරදීත් ඊට පසුවත් එවැනි අවදානමක්‌ සහිත කලාපයන්හි පදිංචිව සිටින ජනතාව ගැන එතරම් අවධානයක්‌ යොමු වී ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. 

දරුණු ලෙස වහින්නට පටන් ගන්නා විට වහාම අවදානම් කලාපවලින් ඉවත් වන්නට යෑයි දැනුම් දීම, මේ කාරණය ගැන බරපතළව හිතන්නට බැරිව ඇති ආයතනවල වගකීම නොවේ. කවර ආයතනයකට වුව එවැනි වගකීමක්‌ පැවරෙනවා සේම රටේ ජනතාව වුව සිහියට ගත යුතු කාරණයක්‌ තිබේ. 

ඒ, මේ ආපදා තත්ත්වයන් ඇතිවීමට, තම තමන්ගේ වගකීම් රහිත ක්‍රියාකලාපයන් ද යම් තරමකට හේතු වී ඇති බවය. හැමදා කියන පරිදි, මෙය පැහැදිලි කිරීමට සරල උදාහරණයක්‌ දැක්‌විය හැකිය. 

ගංවතුරෙන් කොළඹ යටවීමේ අවාසනාවන්ත අත්දැකීම මාස හතක්‌ තරම් ළඟ අත්දැකීමකි. ඒ දිනවල කොළඹ නගරයේ යට නොවූ තැනක්‌ සොයාගන්නට තිබුණේ නැත. ඒ ගං දිය උතුරා යැම නිසා නොව, කාණු පද්ධති උතුරා යැම නිසාය. කාණු උතුරන්නේ ජලය ගලා ඒම වැඩි නිසා නොව කාණු තුළ විවිධ අපද්‍රව්‍ය සිරවීම නිසාය. 

කාණුවලට අපද්‍රව්‍ය නිකම්ම එන්නේ නැත. වැඩේ කුරුවල් වී ඇත්තේ අපේම වරදිනි. කඳු නාය යන්නේ ජල පහර දරා ගැනීමට බැරි නිසා නොව ජල පහර දරා ගැනීමට හැකි ගස්‌ කපා දමමින්, ගල් කඩා දමමින් ඒවා තැනිතලා බවට පත්කරන අපේම වරදිනි. ඉනිදු නොනැවතී ඒ කඳු පාමුල ගෙවල් තනාගත් විට ඇතිවන තත්ත්වය ගැන අමුතු විග්‍රහයක්‌ අවශ්‍ය නැත.

ඉතිං, වැස්‌ස දරුණු වීමට පෙර නොව ඊළඟ වැහි වාරයට පෙර අපි කවුරු කවුරුත් මේවා ගැන කල්පනා කළ යුතුය. ආපදාව එන්නට පෙරම කළමනාකරණය කළ හැක්‌කේ එවිටය.