ඩෙංගු දඩයත් රුපියල් 25000 යි....


ඩෙංගු රෝග මර්දනය වෙනුවෙන්ද රුපියල් 25,000 ක "දඩයක්‌" නියම කරන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පවසා තිබිණි. 

සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ විෂයය ක්‍ෂේත්‍රයට අදාළ නොවන ප්‍රශ්නයක්‌ වුව, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරද හතක්‌ සඳහා දඩය රුපියල් 25,000 බැගින් නියම කිරීම වෙනුවෙන්ද මාරාන්තික ලෙස
පෙනී සිටියේය. 

බොහෝ අය කකුල් දෙපැත්තේ තබාගෙන කතාකරන විට රාජිත ඇමැතිවරයා එක පයින් කියා සිටියේ දඩය රුපියල් 25,000 නොව ලක්‍ෂයක්‌ පමණ වුව වැඩිකිරීම සුදුසු බවය. 

දඩය වැඩි කිරීමේ හරි වැරැද්ද කෙසේ වුව ඊට එරෙහිව වර්ජනයක්‌ දියත් විය. වර්ජකයෝ ලංගම බස්‌ කුඩු කළහ. කෝච්චි පාරවල් අවහිර කළෝය. අන්තිමේදී ජනාධිපතිවරයා මැදිහත්වී විසඳුමක්‌ ලබාදෙන බව කීය.

ඩෙංගු දඩය රුපියල් 25,000 දක්‌වා වැඩි කිරීම ගැන "සමස්‌ත ලංකා නිවැසියන්ගේ සංගමයක්‌" සමස්‌ත ලංකා පාරට කුණු දමන්නන්ගේ සංගමයක්‌" හෝ තවමත් විරෝධය පළකළේ නැත. 


ඒ, තවමත් එවැනි සංගම් පිහිටුවාගෙන නැති නිසාය. හෙට අනිද්දා වන විට කුමක්‌ හෝ සංගමයක්‌ අටවා ගන්නට ඉඩ තිබේ. දැනට ඩෙංගු බෝවන ආකාරයට පරිසරය අපිරිසිදු කරන අයට නියමිත දඩය රුපියල් 1500 කි.

මේකත් හරියට බොහෝ රථවාහන වැරදිවලට අයකරන රුපියල් 500 දඩය මෙනි. බයක්‌ නැත. ආවොත් ආවා. ගියොත් ගියා ක්‍රමවේදය අනුව වැරැද්ද කරති. හසුවුවහොත් සුළු දඩයක්‌ නිසා ගෙවා බේරෙති. දුක කියති. අතයට ගාණක්‌ දී වැඩේ ෂේප් කරති. රුපියල් 25,000 දඩයක්‌ නියම කරන විට එහෙම සෙල්ලම් දැමීමේ හැකියාවක්‌ නැත. 


පොලිස්‌ කාකි සූට්‌ මෙන් නොව පී. එච්. අයි. (මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්) මහත්වරුන්ගේ ක්‍රමය වෙනස්‌ය. දෙගොල්ලන්ම අඳින්නේ කාකිපාට සූට්‌ බව සැබෑය. එය වෙනම කතාවකි. 

මේ වසරේ (2016) ආරම්භයේ එනම් ජනවාරි මාසයේ පමණක්‌ ඩෙංගු රෝගීන් 3333 ක්‌ (තුන්දහස්‌ තුන්සිය තිස්‌තුනක්‌) වාර්තා වී තිබිණි. ඉනිදු 1316 ක්‌ වන වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. 

මේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය අවුරුදු කිහිපයේ ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රගතියයි. අවුරුද්ද පටන්ගන්නා විට එහෙමනම් අවුරුද්ද ඉවරවන විට සංඛ්‍යාලේඛන ගැන කතා කිරීමෙන් ඵලක්‌ නැත.

එහෙත් රුපියල් 25,000 ක දඩයක්‌ නියම කරනවිට ඩෙංගු ගැන හිතේ අමාරුවෙන් කතා කරන බොහෝ දෙනකුට "දඩය වැඩි" බව කියන්නට බොහෝ දේවල් නිර්මාණය වන බව සියයට සියයක්‌ම විශ්වාසය.

ඇත්තෙන්ම කීවොත් අපේ රටේ හතර වටේම දකින්නට ලැබෙන්නේ ඩෙංගු තවාන්ය. අපේ උදවිය හිස්‌ සැමන් ටින්, බිත්තර කටු, පොල් කෝම්බ ආදී බොහෝ දේ තම වත්තේම කොනකට ප්‍රවේසමෙන් විසිකරන්නේ ඒවාට වැසි ජලය පිරුණු පසු මදුරුවන්ට සිය බිත්තර දැමීමේ ක්‍රියාවලිය පහසු කරවන්නටය. 


ගෙදර බැරිවුනොත් ළඟම තිබෙන කුණු ගොඩටය. මදුරුවා බෝවී හතර අතේ ගෙවල්වලට ගොස්‌ ඩෙංගු බෝ කරන විට ඒ වරද බාරගන්නට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත. 

ගෙවත්ත පිරිසිදු කරන්නේ ඩෙංගු මර්දන සතියට පමණි. එවැනි සතියකදී මහා මාර්ග දෙපස පිහිටි නිවාසවල හා ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන ඇත්දැයි පරීක්‍ෂා කර "දඩ" ගැසීම ද සිදුවේ. එහෙත් සතියක්‌ නොව දිනක්‌ ඉක්‌ම යන්නටද පෙර තත්ත්වය පෙර පරිදිමය. 

දඩය රුපියල් 25,000 නොව ලක්‍ෂය ඉක්‌මවූවද මෙවැනි ගතිගුණ අත්හරින්නට අපේ උදවිය ලෙහෙසියෙන් "එකඟ" වන්නේ නැත. ඒ නිසා දඩය වැඩි කරනවා සේම මේ තත්ත්වය පිටුදැකිය යුතු නව නීතිරීති මාලාවක්‌ද අවශ්‍ය වන බව අපේ හැඟීමය.