Ads 468x60px

.

නිරපරාදේ ජීවිත විනාශ වීමට ඉඩදිය යුතු නැති බව


ජාතික මාර්ග ආරක්‍ෂණ සතිය ඊයේ ආරම්භ වූ අතර, එය ලබන 07 වැනිදායින් අවසන් වේ. පදිකයන්ගේ, මඟී ජනතාවගේ සහ රියෑදුරන්ගේ ආරක්‍ෂාව තහවුරු කර රිය අනතුරු වළක්‌වාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත. 

ඇත්තෙන්ම වසරින් වසර ලංකාවේ මහාමාර්ගවලට අලුතෙන් වාහන එක්‌වීම වැඩිවන්නාසේ ම රිය අනතුරු ද වේගයෙන් ඉහළ යන බව
රහසක්‌ නොවේ. මාරක රිය අනතුරු නිසා දිනකට අවම වශයෙන් අටදෙනෙක්‌වත් මිය යන බව වාර්තා වී ඇත. 

එමෙන්ම තවත් 150 ක්‌ පමණ මේ අනතුරු නිසා තුවාල ලබති. එසේම දිනකදී පමණක්‌ වාහන අනතුරු 150 ක්‌ පමණ වාර්තා වේ.

අයවැයෙන් රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව වාහන ධාවනයේ යෙදෙන රියෑදුරන්ට රුපියල් විසිපන්දහසක දඩයක්‌ නියම කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ බොහෝ පිරිසක්‌ වහ වහා රියෑදුරු බලපත්‍ර ගැනීමට පෙලඹී ඇත. වසර 35 ක්‌ පුරා බලපත්‍ර නොමැතිව වාහන ධාවනයේ යෙදුණු රියෑදුරන්ද මේ දඩයට බියෙන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සිදු වූ මාරක රිය අනතුරුවලින් සියයට හතළිස්‌අටක ප්‍රමාණයක්‌ සිදුව ඇත්තේ රියෑදුරු බලපත්‍ර නැති හෝ රියෑදුරු පළපුරුද්ද වසර තුනක්‌වත් නැති රියෑදුරන් අතිනි. 


එම නිසා මේ දඩ මුදල ඉහළ නැංවීම ජීවිත අනතුරු අඩු කිරීමට හේතුවන බව නොකියාම බැරිය. දිනකට මහමඟදී නැති වන ජීවිත අටෙන් හතරක්‌ හෝ බේරාගැනීමට හැකි නම් එය කොපමණ යහපත්ද? එය සැබැවින් ම මහත් පිනකි.

මාර්ග අනතුරු ලංකාවට පමණක්‌ බලපාන ප්‍රශ්නයක්‌ නම් නොවේ. ලෝකයට හිසරදයක්‌ වූ ප්‍රශ්නයකි. මාර්ග අනතුරු සිදුවීම වැළැක්‌විය නොහැකි වුවත් සිදුවන හානිය අවම කර ගැනීමට කටයුතු කළ හැකිය. 


මාර්ග අනතුරු නැවැත්වීමට කියා පාරවල් වැසිය නොහැක. රියෑදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ නොසැලකිල්ල බොහෝ අනතුරුවලට හේතු වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය දයා අමරසේකර මහතා ප්‍රකාශ කරන්නේ මාර්ග අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව නොසැලකිල්ල බවය. 

බොහෝ රියෑදුරන්ට මාර්ග නීති ගැන දැනුමක්‌ නොමැති වීමත්, හතු පිපෙන්නාක්‌ මෙන් බිහිවන රියෑදුරු පුහුණු ආයතනවලින් නිසි උපදේශ නොලැබීමත් අනතුරු වැඩිවීමට හේතු වී ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කරයි. අනතුරක්‌ වළක්‌වා ගැනීමට යහපත් මානසික තත්ත්වයකින් සිටීම ද ඉතා වැදගත් වේ. 

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මානසික වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කරන්නේ මානසික ගැටුම්වලින් පෙළෙන පුද්ගලයකුට සිත එක්‌තැන් කරගෙන රිය ධාවනය කිරීමට නොහැකි වන්නා සේ ම හදිසි අවස්‌ථාවලදී අනතුරු වළක්‌වා ගැනීමට ද නොහැකි වන බව ය.

මාර්ග අනතුරු නිසා වසරකට ලොව පුරා මිලියන 1.3 කගේ ජීවිත නැති වන අතර තුවාල ලබන ප්‍රමාණය මිලියන 20 - 25 අතර වේ. එයින්ම මෙය ලෝකයටම බලවත් විපත්තියක්‌ වී ඇති බව හොඳින්ම පැහැදිලි වේ. 


ඉදිරියේදී ලෝකයේ සෑම රටක්‌ම මෙම මාර්ග අනතුරු වළක්‌වා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් වසරකදී මරු තුරුලට යන ප්‍රමාණය මිලියන දෙකක්‌ විය හැකි බවට අනතුරු අඟවා ඇත. 

මරණය කොයි මොහොතේ අප කරා ඒවි දැයි කිසිවකුට නිශ්චිතවම කිව නොහැකිය. නමුත් නිරපරාදේ ජීවිත විනාශ වීමට ඉඩදිය යුතු නැත. මේ වසරේ පළමු මාස දහය තුළ පමණක්‌ මඟ මරුවාට ජීවිත 2400ක්‌ බිලිවී ඇත. එවන් පසුබිමක්‌ තුළ ජාතික මාර්ග ආරක්‍ෂණ සතිය ක්‍රියාත්මක කිරීම අගය කළ යුත්තකි.
 
Related Posts with Thumbnails