ආණ්‌ඩුවට ජනතාව ඉදිරියේ දණ ගැසීමට සිදුවන බව..


2016 දෙසැම්බර් 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි අසූපන් ලක්‌ෂ නවසිය විසිපහකි. මෙම ජනගහණයට සාපේක්‌ෂව 2015 වසරේ පමණක්‌ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රථ වාහන ගණන හැටහය ලක්‌ෂ අටදහස්‌ නවසිය හතකි. 

මෙම වාහන ප්‍රමාණයෙන් සියයට 10 ක්‌ පමණ දිනපතා කොළඹ නගරයට පැමිණෙන අතර මේ සියලු වාහන තවමත් පැමිණෙන්නේ
යටත් විජිත යුගයේ ඉදිකරන ලද මාර්ග පද්ධතියේය.

මෙම මාර්ග පද්ධතියේ බස්‌ නැවතුම් ඉදිරිපිට කහ ඉරිද, චාරයක්‌ නොමැතිව දැල්වෙන ආලෝක සංඥ ද, අඩි 15 පාරවල් දෙකට බෙදූ ඉරි ද, අඩි 30 පාරවල් හතරට බෙදූ ඉරි ද ඇති අතර රියෑදුරන් මේ සියලු ඉරි කපාගෙන පාරේ යන මිනිසුන් යටකරගෙන, ට්‍රැµsක්‌ රාළහාමිගේ සාක්‌කුවට තට්‌ටුවක්‌ දමාගෙන රිය පැදවීම, ලංකාවේ ප්‍රවාහන සංස්‌කෘතියේ එක්‌ අංගයක්‌ බවට පත් වී බොහෝ කල්ය. 


ආණ්‌ඩුවට ඇස්‌ ඇරෙන්නේ මේ මජර සංස්‌කෘතිය රියෑදුරන්ගේ ලේවලට එකතු වී රටම විනාශ කළ පසුවය. රියෑදුරන්ගේ ද සිහිය විකල් වන්නේ ආණ්‌ඩුව ඔවුන් කරන වැරදි 7කට දඩය රුපියල් විසිපන් දහසක්‌ කළ පසුවය. වැඩියෙන් වැරදි කරන බැවින්, විසිපන්දහසේ දඩයට එරෙහිව පෞද්ගලික බස්‌ රියෑදුරන්ගේ 'රතු කට්‌ට' පැන තිබේ. ඉදින් ඔවුන් ඊට විරෝධය පා, පාරට බැස උද්ඝෝෂණය කිරීම හැර වෙන මොනවා කරන්නද?

1958 ජනවාරි 01 වැනිදා බණ්‌ඩාරනායක රජය රටේ පොදු ප්‍රවාහන සේවය ජනසතු කරමින් 'ලංගම' ය පිහිටුවුව ද, වැඩිවන ජනගහණයේ අවශ්‍යතාව සපුරාලීමට 'ලංගම' යට කිසිසේත්ම නොහැකි විය. 1977 න් පසු බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන රජය යළි පොදු ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට ලබාදුන්නේ රටේ පොදු ජනතාවගේ යහපත පිණිසය. 


නමුත් අවසානයේ සිදු වුණේ බලපත්‍රලාභී පාදඩ පන්තියක්‌ විසින් රටේ පොදු ප්‍රවාහන සේවය හසුරුවන තැනට පත්වීමයි. අර්බුදය ඇරඹෙන්නේ පොදු ප්‍රවාහන සේවය පෞද්ගලීකරණය කිරීමෙන් නොව එය ඉබාගාතේ යන හරකකුගේ තත්ත්වයට පත්කිරීමට ඉඩ හැරීමෙන්ය. අද බස්‌ සංගම් ඉදිරියේ මගී ජනතාවට දණ ගැසීමට සිදුව තිබීමේ ෙ€දාන්තය මෙයයි.

නිදහසින් පසු බලයට පත් සෑම ආණ්‌ඩුවක්‌ම කළේ පාරවල්වලට 'කාපට්‌' දමා මගී ජනතාවගේ අයිතිවාසිකම්වලට 'ඩයිනමයිට්‌' දැමීමය. රටේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය තවමත් කෙටුම්පතට පමණක්‌ සීමා වී ඇත්තේ ඒ, ඒ සෑම ආණ්‌ඩුවක්‌ම හදවතින් ම ජනතාවාදී වූ බැවිනි.

දඩ මුදල් වැඩිකළ පමණින් රියෑදුරන් කරන වැරදි අඩුවෙන්නේ නැත. සිදුවන එකම දෙය ඇතැම් 'ට්‍රැµsක්‌' රාළහාමිලාගේ 'ගොඩ' වැඩිවීම පමණි. ලංකාවේ තිබෙන්නේ ජාත්‍යන්තරයේ පිළිගත් මාර්ග නීති පද්ධතියකි. 


නමුත් ලංකාවේ මාර්ග නීති ක්‍රියාත්මක වන ආකාරය, පසුගියදා වාහන බලපත්‍ර ලබාගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණි ජනතාවගෙන් දැකගත හැකි විය. එම ජන ගංගාව දුටු විට අපට පොලිසියෙන් අසන්නට තිබෙන්නේ 'මෙච්චර කල් පාරේ ඉඳගෙන පිට්‌ටු තැම්බුවා ද?' කියාය.

ආණ්‌ඩුව බස්‌ සංගම් ඉදිරියේ දණ ගැසිය යුතු නැත. නමුත් පොදු ප්‍රවාහන සේවයේ අර්බුද නොවිසඳුවහොත් ආණ්‌ඩුවට ජනතාව ඉදිරියේ දණ ගැසීමට සිදුවනු ඇත.