රංගන දිවිය අතහැර දේශපාලන ලෝකයට පිවිස සමස්‌ත ඉන්දියාවේම බලවත්ම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස කිරුළ දිනා සිටි ජයලලිතා ජෙයරාම් සිය දිවි සැරිය නිමකර ඇත.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමැතිනිය නොහොත් අම්මා සඳුදා රාත්‍රි 11.30 ට සිය අවසන් සුසුම් පොද වාතලයට මුදා හැරියාය.
මහඇමැතිනියගේ තත්ත්වය අසාධ්‍ය බව දැනගත් ඇගේ ආධාරකරුවෝ ඇපලෝ රෝහල ඉදිරිපිට පමණක් නොව චෙන්නායි නුවර වීදි දිගේ මහ
හඬින් හඬා වැටෙන්නට වුහ. ශ්‍රී ලාංකිකයන් තමිල්නාඩු මහ ඇමැතිනියට ප්‍රිය නොකළේ ඇගේ උග්‍ර දෙමළ ජාතිවාදයත් කොටි හිතවාදීත්වයත් නිසාය.
ප්‍රභාකරන් පරාජය වීම මේ මහ ඇමැතිනිය කෙසේවත් බලාපොරොත්තු වූවක් නොවීය. ඒ නිසාම ඇය කොළඹ ආණ්‌ඩුව අපහසුතාවට පත් කිරීමට නොයෙකුත් තුරුම්පු ගැසුවාය. 2009 මහා ජන ඝාතනයක් සිදුවූ බවත් මේ ගැන ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් සිදුවිය යුතු බවත් තමා හමුවීමට පැමිණි හිටපු එක්‌සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ට ගතු කීවේද මේ කාන්තාව බව අපට අමතක නැත.
2009 දී චෙන්නායි නුවරට කිලෝමීටර් 370 ක් ඈතින් පිහිටි ඉරෝඩේ නගරයේ පැවැති රැලියකදී මේ මහඇමැතිනිය ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? "මට ඡන්දය දෙන්න එවිට මම ලංකාවේ ඊළම පිහිටුවනවා." යනුවෙනි.
එහෙත් ඇගේ ඊළාම් සහචරයන් 2009 මැයි මාසයේදී සමූල ඝාතනය විය. ලොව පුරා සමස්‌ත දෙමළ ජාතියේම නායිකාව වීම ඇගේ අභිලාෂය විය. ඒ නිසාම ඇය දැඩි දෙමළ ජාතිවාදී දේශපාලනයක් ක්‍රියාත්මක කළ බව රහසක් නොවේ. ජයලලිතාගේ හිතුවක්‌කාරී දේශපාලන ප්‍රතිපත්ති දිල්ලි මහ ආණ්‌ඩුවටද විටක හිසරදයක් විය.
සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයෙන් ජයලලිතා දේශපාලනයට පිවිසියේ 1982 දීය. ඇගේ දේශපාලන ගුරුවරයා මෙන්ම නායකයා ද වූයේ එම්. ජී. රාමචන්ද්‍රන් බව රහසක් නොවේ.
නිළියක වශයෙන් ඉමහත් ජනප්‍රියතාවක් ඉසුලූ ජයලලිතා දේශපාලන වේදිකාවල පැවැත්වූ කතා ජනතාව ආකර්ෂණය කරන්නක් විය. එම්. ජී. රාමචන්ද්‍රන්ගේ අභාවයෙන් පසු පක්‍ෂයේ බලය තහවුරු කරගත් මේ කාන්තාව තමිල්නාඩුවේ ප්‍රථම විපක්‍ෂ නායිකාව ලෙස පත්වූයේ 1989 දීය.
දෙකඩ කැඩුණු පක්‍ෂය යළි එක් කළ ඇය 1991 දී ප්‍රථම වරට තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට වරම් ලැබුවාය. ජයලලිතාට ඇගේ ආධාරකරුවන් සැලකුවේ දේවත්වයෙනි. ආධාරකරුවන් පමණක් නොව ඇගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවා ඇය ගමන් කරන ජීප් රථයට පවා වඳින අයුරු ඉන්දීය මාධ්‍ය ඔස්‌සේ දැකගත හැකි විය.
ඇගේ මහජන හිතවාදී වැඩපිළිවෙළ දිළින්දන් නඟාසිටුවීම වෙනුවෙන් ඇය දියත් කළ සමාජ සුබසාධන ක්‍රියාමාර්ග බෙහෙවින් සාර්ථක වූ බව ප්‍රකටය. එම නිසාම ඇගේ මරණය තමිල්නාඩු වැසියන්ට මහත්ම ශෝකයක් වන බව පැහැදිලිය.
අම්මාගේ නික්‌ම යැම කොළඹ ආණ්‌ඩුවට නම් අස්‌වැසිල්ලකි. ඇය නිරන්තරව ලංකා රජය දඬුකඳේ ගසන්නට උත්සාහ කළ බව අප දනිමු. කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නැයි නිරන්තරව ඉන්දීය අගමැතිවරයාට බලකර සිටියේ මේ මහ ඇමැතිනියි.
එමෙන්ම රජිව් ගාන්ධි ඝාතනයට මරණ දඬුවම් නියමවී සිටින කොටි සාමාජිකයන් නිදහස් කළ යුතු යෑයි බල කර සිටියේද මේ දේශපාලන නායිකාව බව අපි දනිමු. නමුත් දැන් ඇය තමිල්නාඩුවෙන් පමණක් නොව සමස්‌ත ලෝකයෙන්ම සමුගෙන ගොස් ඇත.
ජයලලිතාගේ අභාවය තමිල්නාඩු දේශපාලනයේ බලවත් හිඩැසක් නිර්මාණය කරන බව නොරහසකි. ඇගේ පුටුවට පත්වූ පන්තීර් සෙල්වම්ට මේ අයෝමය කාන්තාවගේ කාර්යය ඉදිරියට ගෙන යා හැකිද?