Ads 468x60px

.

යාපනයේ පුස්‌තකාලය ගිනි තැබීමේ කතාව ඉතිහාස පිටුවෙන් ඉරා දැමිය යුතු බව හා ඒ වෙනුවෙන් ජාතිය විශාල වන්දියක්‌ ගෙවා ඇති බව


එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පැවැති කාලයේ යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශකර තිබිණි. 

යාපනය පුස්‌තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක්‌ බව රහසක්‌ නොවේ. කිහිපදෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක්‌ අත්විය. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන සමස්‌ත ජාතියම
ශෝකයට පත් විය. එහෙත් ප්‍රභාකරන් සිංහලයා කෙරෙහි වෛරය පැතිරවීම සඳහා මෙම සිද්ධිය නිරන්තරව උලුප්පා දැක්‌වූ බව ප්‍රකටය. 

යාපනය පුස්‌තකාලය ගිනි තැබීම දෙමළ ජනතාවගේ හදවතට දරුණු පහරක්‌ එල්ල කළ සිද්ධියකි. නමුත් වර්තමානය වනවිට එම තුවාල සුව වී හමාරය. මේ සිද්ධියෙන් පසුව ඇවිලුණු යුද ගිනි නිසා සිංහල ජනතාව කෙතරම් පීඩා වින්දේද? සිය දහස්‌ ගණනක්‌ ඝාතනය වූහ. සිංහලයන්ට එරෙහිව සමූල ඝාතන තුන්සියයකට වැඩි ප්‍රමාණයක්‌ සිදුව තිබේ. 

මෙලෙස ඝාතනය වූ පිරිසගෙන් සමාව ඉල්ලන්නේ කවුරුන්ද? යහපාලන ආණ්‌ඩුවේ අගමැතිවරයා යළිත් යාපනය පුස්‌තකාලය ගැන සිද්ධිය සිහිපත් කරන්නේ සංහිඳියා ක්‍රියාමාර්ගය ශක්‌තිමත් කිරීමටද? කොටි බෝම්බයක්‌ නිසා මහ බැංකුවේ පුස්‌තකාලය ද විනාශ වූ බව අප අමතක කළ යුතු නැත.

යාපනය පුස්‌තකාලය ගිනි තබා දැන් වසර 35 ක්‌ ඉක්‌මගොස්‌ ඇත. 1981 මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රියේදී මෙම ගිනිතැබීම සිදු කර ඇත. යාපනය පුස්‌තකාලයට ගිනි තබනු පිණිස එහි පළමු මහළට පෙට්‍රල් කෑන් එකක්‌ වත් කළ බවත් ඉන්පසු ගිනිකූරක්‌ ගසා ඇවිලවූ බවත් පොලිස්‌ නිලධාරියකු විසින් මෙයට කලකට පෙර පාපොච්චාරණය කර තිබිණ.

ගිනිගන්නා අවස්‌ථාවේදී යාපනය පුස්‌තකාලයේ අත්පිටපත් සහ පොත් 9500 ක්‌ විය. උදාහරණයක්‌ වශයෙන් ශ්‍රීමත් ආනන්ද කුමාරස්‌වාමිගේ "මධ්‍යකාලීන සිංහල කලා" පොතෙහි අත්පිටපත ද මෙම ගින්නට බිලිවීම ෙ€දයකි. 


මෙම ගින්නෙන් පසු එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ එඩ්වඩ් ගුණවර්ධන සකස්‌ කරන ලද රහස්‍ය වාර්තාවකට අනුව මෙම ගිනි තැබීම සංවිධානය කරන ලද්දේ කොටි සංවිධානය විසිනි. එය ප්‍රභාකරන්ගේ අණකි. යාපනයේ දෙමළ ජනයා වෙනුවෙන් ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙය කරවූ බව එම වාර්තාවේ සඳහන් විය. 

මෙම වාර්තාවට සමගාමීව කොටි සංවිධානය විසින් ද යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබිණි. එහි සඳහන් වූයේ මෙම ගිනි තැබීම සිදු කර ඇත්තේ පොලිස්‌ නිලධාරීන් විසින් බවයි. ඒ යාපනයේ ජනතාවගෙන් පළිගැනීම සඳහාය.

1981 මැයි 31 වැනිදා ඉරිදාවකි. එදින අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ රැස්‌වීමක්‌ යාපනය ඇල්ෆ්‍ර‍ඩ් දොරේ අප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. 


එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල කොස්‌තාපල්වරුන් තිදෙනකු මරණයට පත්විය. එදින රාත්‍රිය ද දරුණු විය. යාපනයේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණු කාර්යාල කිහිපයක්‌ ගිනි තබා වැනසුවේද මේ රාත්‍රියේදීමය. එලෙසම යාපනය හදවතට ද මේ රාත්‍රියේම ගිනි ඇවිළිණි.

1997 දී පොදු ජන එක්‌සත් පෙරමුණු රජය යාපනය පුස්‌තකාලය නැවත ඉදිකිරීමට ලක්‍ෂ හත්දහසක්‌ වෙන් කළේය. එය විවෘත කරනු ලැබුවේ 2002 දීය. දැන් යාපනයේ යුද ගිනි නැත. කිසිවකුට යාපනයේ මහා පොත් දේවාලය ගැන බියක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නැත. 


යළිත් එවැනි නීච ක්‍රියාවන් සිදුවන්නේ නැත. යාපනයේ පුස්‌තකාලය ගිනි තැබීමේ කතාව ඉතිහාස පිටුවෙන් ඉරා දැමිය යුතුය. ඒ වෙනුවෙන් ජාතිය විශාල වන්දියක්‌ ගෙවා ඇත.
 
Related Posts with Thumbnails