Ads 468x60px

.

රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 යි (ඒකෙත් හැටි...)


පසුගිය වසර තුනක කාලයේදී රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 ක්‌ යෑයි ඊයේ වාර්තා කර තිබිණි. කිසිවෙකුත් මොළේ කොලොප්පං කරගත යුතු නැත. මේ කතාව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවය. කවුරුත් දන්නා පරිදි ''කෝප්'' කමිටුවය. මේ කමිටුව බොහෝ
දුර අතීතයක සිට මෙවැනි වාර්තා ඉදිරිපත් කර ඇති බව නොදන්නෝ ශ්‍රී ලංකාවේ නැත. එහෙත් කෝප් කමිටුවේ වාර්තාවලට අනුව කටයුතු කර අල්ලපු හොරෙක්‌ නැත. ''නටපු නැටුමක්‌ ඇතත්'' බෙරේ පලුවක්‌ නැත. කෙසේ හෝ රාජ්‍ය ආයතන 15 ක කෝටි 11000 ක පාඩුව ගැන කතා කරන්නට පෙර ඒ අතීතය ගැන ටිකක්‌ කතා කළ යුතුය. කෝප් ගැන අප කාගෙත් මුල්ම අවධානය යොමුවන්නේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිනිය යටතේ එජනිස ආණ්‌ඩුව සමයේය. එවකට කෝප් කමිටුවේ සභාපතිවරයා වූයේ විජයදාස රාජපක්‌ෂ ය. ඔහු එකල එ.ජා.ප. මැති ඇමතිවරු යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක දූෂණ වංචා හෙළි කළේය. එහෙත් සිදු වූ කිසිවක්‌ නැත.

එදා අක්‍රමිකතාවලට සම්බන්ධ යෑයි කියූ බොහෝ දෙනෙක්‌ නැවතුනේ මහින්ද රාජපක්‌ෂ ගේ ආණ්‌ඩුවේය. එතැනින්ම කෝප් වාර්තාව අවසන් ගමන් ගියේය. ඉන්පසුව වරින්වර ගෙන එන ලද සියලුම කෝප් වාර්තාවලට සිදුවූයේ ඒ ආනිශංසයමය. එහෙත් ඉතාම වගකීමෙන් කිව යුතු කාරණයක්‌ තිබේ. ඒ හැම මොහොතකම කෝප් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා සිය වගකීම සියයට සියයක්‌ම නිවැරදිව, අවංකව, පූර්ණව ඉටු කර තිබිණි. ඇත්ත වශයෙන්ම, වර්තමානයේ බොහෝ රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා පිළිබඳව සමාජයේ විශාල කතාවක්‌ ගොඩනැඟෙන්නට එය හේතුවක්‌ වී තිබේ. එහෙත් කෝප් සභාපතිවරයා මේ රාජකාරිය ඉටුකරන්නේ ''මරණ තුනක්‌ ඇති මිනිහෙක්‌ පැණි කන'' මට්‌ටමේ සිට බව කිව යුතුය. වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති වරෙක ඉල්ලා අස්‌වන්නට පවා උත්සාහ කළ බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. ඊට හේතු වශයෙන් ඔහු දක්‌වා තිබුණේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට දේශපාලන පක්‌ෂවල බලපෑම් එල්ලවන බවය.

රාජ්‍ය ආයතන 15 ක කෝටි 11000 ක පාඩුව ගැන කියෑවෙන්නේ එවැනි දුෂ්කර මෙහෙයුමක ප්‍රතිඵලයක්‌ ලෙසය. 2016 මැයි 01 වැනිදා සිට 2016 අගෝස්‌තු 31 දක්‌වා කාලයේදී රාජ්‍ය ආයතන 15 ක විමර්ශන ඇසුරින් මේ වාර්තාව එළි දක්‌වා තිබේ. ඒ අනුව පාඩු ලබා ඇතැයි කියන රාජ්‍ය ආයතන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව, සතොස, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ , ජාතික ලොතරැයි මණ්‌ඩලය, මඟ නැගුම, සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල් මණ්‌ඩලය වැනි ප්‍රමුඛ රාජ්‍ය ආයතන වේ.

මේ සියල්ල රාජ්‍ය ආර්ථිකයට බෙහෙවින්ම ප්‍රබල දායකත්වයක්‌ දක්‌වන ආයතනය. අපට පෙනෙන්නේ දූෂණය, නාස්‌තිය වළක්‌වනවා යෑයි කී යහපාලන ආණ්‌ඩුවටද ට්‍රැක්‌ එකට වැටෙන්නට තරමක්‌ අමාරු බවය. විගණකාධිපතිවරයා ඇත්ත පෙන්නා දෙන විට ඔහු පුටුවෙන් එළවා දමන්නට තැත් කරන රටක මෙවැනි දේවල් දිගින් දිගටම සිදුවන එක ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැත.
 
Related Posts with Thumbnails