Ads 468x60px

.

වැසිකිළියටත් වැට්‌ බදු....!


පසුගිය ඔක්‌තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන අවධානය පිණිසයි' මැයෙන් පිටුවක්‌ පුරා විශේෂ දැන්වීමක්‌ පළකර තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්‌ද? 

ජනතාවට සතුටුදායක දෙයක්‌ නම් නොවේ. 2016 ඔක්‌තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට්‌ සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් 01 වැනිදා සිට
ක්‍රියාත්මක බවත් ඒ අනුව වැට්‌ බද්ද 11% සිට 15% දක්‌වා ඉහළ යන බවත් එහි සඳහන් විය. 

වැට්‌ ප්‍රහාරයෙන් ජනතාව හාන්සි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජංගම දුරකථනයට, පෙර ගෙවුම් රුපියල් පනහේ කාඩ්පතක්‌ දමා දුරකථන ඇමතුම් දෙකක්‌ තුනක්‌ ගන්නා විටම එය අවලංගු වී යයි. එවිට සිදුවන්නේ කුමක්‌ද? ජංගම දුරකථනය දෙස බලා සුසුම් හෙළීම පමණද? 

වැට්‌ ගැන නැවත කතා කිරීමට උනන්දුව ඇති වන පුවතක්‌ ඊයේ ජාතික පුවත්පතක පළ වී තිබිණි. එය කවරක්‌ද? එම පුවතේ ශීර්ෂ පාඨය වූයේ ද 'වැසිකිළියටත් වැට්‌ බද්දක්‌' යනුවෙනි. එහි සඳහන්ව තිබුණේ පිටකොටුව ගුණසිංහපුර මහජන වැසිකිළියේ මුත්‍රා කිරීමට ගිය ද රුපියල් 20 ක මුදලක්‌ අයකරන බවයි. 

මුත්‍රා කිරීමට ගියත් ශරීර කෘත්‍යය සඳහා ගියත් ගාස්‌තුව වෙනස්‌ නොවේ. වෙනදා රුපියල් 5 ට තිබූ ගාස්‌තුව ක්‍රමයෙන් රුපියල් 15 දක්‌වා වැඩි වූ අතර අවසානයේ වැට්‌ බද්ද ඉහළ යැම නිසා මෙම ගාස්‌තුව රුපියල් 20 ක්‌ වී ඇති බව මේ පුවතේ සඳහන් වෙයි.

හදිසි අවශ්‍යතාවක්‌ සඳහා පිටකොටුවේ මහජන වැසිකිළියට කලබලයෙන් දුවගිය ද රුපියල් විස්‌සක්‌ නැත්නම් බරපතළ අපහසුතාවකට මුහුණපෑමට සිදු වේ. ශරීර අපහසුතාව මදිවාට වැට්‌ ප්‍රහාරයට ලක්‌වීමට සිදු වේ. මුත්‍රා බර සැහැල්ලු කරන විටත් වැට්‌ ගැන සිහි කරන්නට සිදුවීම සතුටට කරුණක්‌දැයි අප දන්නේ නැත.

වැට්‌ බදු ඉහළ දැමීමේ පනත සම්මත වූයේ පසුගිය ඔක්‌තෝබර් 26 වැනිදාය. මෙම පනතට ඒකාබද්ධ විපක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ විරුද්ධ විය. වැට්‌ බදු පනත සම්මත වීම සමඟ රජය කියා සිටියේ හාල්, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ 81 ක මිල වැඩි නො වන බව ය. 


හාල්, පරිප්පු, සීනි ගැන ජනතාව වැඩි අවධානය යොමු කළ ද රහසේ වැසිකිළියටත් වැට්‌ බද්ද පනවා ඇත. මුදල් අමාත්‍යාංශ දැන්වීමේ ද වැසිකිළි බදු ගැන නම් කිසිම දැනුම්දීමක්‌ නැත.

මුතු, දියමන්ති, රත්රන්, ප්ලැටිනම්, මැණික්‌ විකිණීම ද වැට්‌ බද්දෙන් නිදහස්‌ කර ඇති බව මුදල් අමාත්‍යාංශ දැන්වීමේ සඳහන් විය. එහෙත් ශරීර බර නිදහස්‌ කිරීම නම් වැට්‌ බද්දෙන් නිදහස්‌ කර නොමැත. මේ ගැන කවරකුට පැමිණිලි කරන්නද? 


ශරීර අවශ්‍යතාව උග්‍රවූ විට කවර හෝ මුදලක්‌ ගෙවා එය ඉටුකර ගන්නවා විනා වැට්‌ ගැන සොයන්නට බොහෝ දෙනා උනන්දු වන්නේ නැත. එසේනම් වැසිකිළියට අයකරන ගාස්‌තුවට වැට්‌ ඇතුළත් වී ඇත්තේ රහසේද? මේ ගාස්‌තු මුදල්වලින් ලැබෙන වැට්‌ බදු මුදල නිසි ලෙස තමන්ට ලැබෙන්නේදැයි මුදල් අමාත්‍යංශය විමසිලිමත්ව සිටිය යුතු ය.
 
Related Posts with Thumbnails