Ads 468x60px

.

ඔබත් නම ගහ ගැනීමේ දුබල මානසිකත්වයෙන් පෙළෙන්නෙක්ද?


මේ සිදුවීම සිදු වූයේ 2012-12-16 දින උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහිදීය. ජයශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා දිනපතා සිදු කරන ආලෝක පූජාව සඳහා මුදල් භාරගන්නා කුටියක් එම පරිශ්‍රයේ පහල මළුවේ පිහිටුවා ඇත. 

එකවරම උස් හඬින් "නම් ලියන්නේ සල්ලි දුන්නු අයගේ පිළිවෙලට, කලින් අනිත් අය දීලා තියෙන නිසා මහත්තයාගේ නම ලියන්නේ 3 වෙනියට, ඒකට අපිට
කරන්න දෙයක් නෑ" ඇසුණි. එබවින් ඒ දෙස බලනවිට දැකගන්නට ලැබුණේ එක්තරා උපාසක මහතෙක් තම ඤාතීන් සමඟ පැමිණ එතැන ආලෝක පූජාවට මුදල් ලබා දී එදිනට බෝඩ් එකේ තම නම ඔක්කෝටම ඉහලින් දාන ලෙස ඉලා සිටීමය.

එහෙනම් මෙහෙ දෙන්න ඕක කියා මුදල් ටික නැවත ලබාගත් එම උපාසක මහතා නොසතුටින් තරහින් එතැනින් පිටව ගියේය. මෙය දැක පින ගැන අසා තිබුණු අපට නම් පුදුම උපදවන්නක් විය. ඒ සමඟම ඒ උපාසක මහතා ගැන අනුකම්පාවක්ද උපන්නේය. අනේ මේ උපාසක තැන වයසට ගියාට පින ගැන දන්නේ නැහැනේ තවම කියා අනුකම්පාවක් ඇති විය.

ඒත් ඒක පුදුම දෙයක්ද නෙවෙයි, තමන්ගේ නම ගහගැනීමේ ආසාව හැම කාලයකම ලෝකයේ තියෙන දෙයක්, ස්වර්ණමාලී සෑ රජුන් ඉදි කිරීමට රන් තෙලඹු ගස කපන්නට ස්වර්ණමාලී දෙව් දුව එකඟ වූයේ තම නම සෑයට තබන ලෙස පොරොන්දු කරවා ගැනීමෙන් පසුවයි.

එය එසේ වුවද, අපිට දැකගන්නට ලැබෙනවා මේ නම් ගැසීමේ කලාව ඉතාම අවලස්සන ලෙස බොහෝ ස්ථාන වල දැකගැනීමට තිබෙනවා. එක්තරා විහාරස්තානයකට ගියවිට දකින්නට ලැබුණේ කැටයමින් අලංකාර කර ඉදි කල පියගැට පෙලේ සෑම පඩියකම එයට ආධාර කල එක් එක් පුද්ගලයාගේ නම ගසා තිබෙනුය. 

තවත් තැනෙක ධර්ම ශාලාවේ සෑම කණුවක් ගානේම ආධාර කල අයගේ නම්ය. තව තැනෙක උළුවසු හැම එකකම තඹ පත්‍රයක නම් ගම් ලියා ගසා ඇත. නම ගැසීමේ ප්‍රශ්නයක් මෙහි නැහැ, තිබෙන්නේ ඒකෙන් ඒ කල පින දුර්වල වීමය. තමා ඉදිකල පියගැටපෙළ අවලස්සන වීමය, ධර්ම ශාලාව අවලස්සන වීමය, විහාරස්ථානය අවලස්සන වීමය.

පිනෙහි වටිනාකම දන්නා කෙනා කල්පනා කරන්නේ එහෙම නෙවෙයි, මේකෙ මගේ නම ගැහුවොත් පඩිපෙළ අවලස්සන වෙනවා ඒක නිසා නම ගහන්න හොඳ නැහැ කියලයි. ලස්සනට මල් ආසනයක් හදලා ඒකේ නම ගැහුවගමන් ඒක අවලස්සන වෙනවා, පුටුවක් මේසයක් හදලා ඒකේ නම ගහපු ගමන් ඒක අවලස්සන වෙලා යනවා. ඇත්තටම පින ගැන දන්නා කෙනාට තම නම ගහන්න හරිම ලැජ්ජයි. මොකද ඒක ඉතාම බොලඳ ක්‍රියාවක් නිසා. 

අනුන්ට පෙන්නලා කිසිම වැඩක් නැහැ. නම ගසා ගැනීමෙන් දානයේ උතුම් පින්ඵල දුර්වල වෙලා ඇතිවන්නේ මමත්වය පිරුණු කෙලෙස් පිරුණු මාන්නයක් වෙන්නට ඉඩ තිබෙනවා.

ඒක නිසා සමරු ඵලකයක් හෝ යමක් ඉදි කිරීමට ඇවැසි තැන එය තමා සිදු කරන කටයුත්තේ අලංකාරයට බාධා නොවන ආකාරයට, පින දුර්වල නොවන ආකාරයට, අනිත් මිනිසුන් අපහදින ආකාරයට කරන්න එපා. තමන් කරන පින ලස්සනට කරන්න. එතකොට ඔබටත් සතුටු වෙන්න පුලුවනි, දකින අයත් පහදීවි, අනිත් අයත් ඒ පින අනුමෝදන් වේවි.

ඒක නිසා නම ගහගන්න පින් කරන අය එම කරුණ ගැන ටිකක් සිතා බලන්න.

පහත සමරු ඵලක සටහන උපුටාගනු ලබන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ඉදි කරන්නට යෙදුණු සිරි ගෞතම සම්බුදු මහා සෑයේ සමරු ඵලකයෙනි.

නමෝ බුද්ධාය !

මින් වසර දෙදහස් හයසිය තිස් පහ (2635 )කට පෙර
අපගේ භාග්‍යවතුන් වහන්සේ මනුලොව උපන් සේක.

මින් වසර දෙදහස් හයසියය (2600 )කට පෙර
අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බෝධියට පත්වූ සේක.

මින් වසර දෙදහස් පන්සිය පනස් පහක (2555 )කට පෙර
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
දෙදහස් හයසිය වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මෙම වෙසක් පුන් පොහෝ දිනයට අනුස්මරණය කෙරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක සඟ පිරිස විසින් හා භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් අපමණ සැදැහැ බැතියෙන් හා මහත් ශ්‍රම දායකත්වයෙන් යුතුවද
නොමසුරුව කරන ලද පරිත්‍යාගයෙන් යුතුවද සෙංකඩගල ශ්‍රී දළඳා පුරවරයෙහි පිහිටි කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපු භූමියේ දී සිරි ගෞතම සම්බුදු මහා සෑයනමින් උතුම් සෑයක් නිමවාඅපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයටගෞරවාදර පූජෝපහාර කරන ලද්දේය.

මේ සියළු පින අපට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහිදීම
උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිස හේතු වාසනා වේවා!

ව්‍යවහාර වර්ෂ 2011 වෙසක් මස පුන් පොහෝ දා ය.

මෙය මෙතෙක් කලෙකට මා දැක ඇති සුන්දරම සමරු ඵලකයයි.

 - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද සටහනකි.

 
Related Posts with Thumbnails