ඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්‍රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්‍රශ්නයේ දී සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකය. සරු පසක් හා කෘෂිකර්මයට යෝග්‍ය කාලගුණයක් පැවතුණත් ශ්‍රී ලංකාව තවමත් ආහාර අතින් ස්වයංපෝෂිත නැත.
1948 නිදහස ලැබුවාට පසු වගා සටන් - වගා සංග්‍රාම, ගොවි රජවරුන් තේරීම, නිෂ්පාදන වර්ෂ ආදී නොයෙක් තේමා යටතේ කෘෂිකර්මාන්තය දියුණු කොට රටට ප්‍රමාණවත් ආහාර සම්පාදනය කර ගන්නට වසර 74ක් තිස්සේම තැත් කළ නමුත් ඒ සියලු ප්‍රයත්න නිෂ්ඵල වූ බව පැහැදිලි යථාර්ථයයි.
රටේ ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනුණේ ජාතික අවශ්‍යතා සලකා බැලීමෙන් තොරව ඒ ඒ ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතා පමණක් සලකා බැලීමෙනි. බොහෝ අවස්ථාවල රටේ දුගී දුප්පත් පාරිභෝගිකයා තැලෙන්නේත් පීඩාවට පත්වන්නේත් රටේ විධිමත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති කමිනි. අප මෙම පූර්විකාව සටහන් කළේ පසුගිය දා මාධ්‍ය වාර්තා කළ එක්තරා පුවතක් හේතුවෙනි. එම පුවතට පදනම් වූයේ පාන් පිටි මිලය. පිටි මිල අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැක යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙය අපූරු කතාවකි. ඊට ද
පසුබිමක් තිබේ.පසුගිය කාලයේ මෙරට විශාල පිටි හිඟයක් තිබුණි. එයට හේතු වූයේ පාන් පිටි ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීමයි. ලොව ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් මෙරට පිටි මිල පාලනය කරන්නේ පිටි ආනයනය සහ අලෙවිය පිළිබඳ ඒකාධිකාරය ඔවුන් සතුව තබා ගනිමිනි. ඒ අතර ලොව ප්‍රධානම තිරිඟු නිෂ්පාදකයකු වන යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයකට පැටලීම ද තිරිඟු පිටි ප්‍රශ්නයට තදින්ම බලපෑවේය. ඒ නිසා මෙරට විවෘත වෙළෙඳපොළේ පාන් පිටි හිඟයක් සමඟ කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමීමක් ද සිදු විය. ඊට පිළියම් ලෙස ආණ්ඩුව ඉන්දියාවෙන් තිරිඟු පිටි තොගයක් ආනයනය කළේය. එහෙත් එම පිටි මෙරට වෙළෙඳපොළ අවශ්‍යතාවට නොසෑහිනි.
පිටි හිඟයත් අධික මිලත් නිසා ඒ අවස්ථාවේ බේකරි දහසක් පමණ වැසී යාමේ තර්ජනයට මුහුණ දුන් බව ප්‍රකට කරුණකි. මෙම අර්බුදයට විසඳුමක් ලෙස ඇති - හැකි බේකරිකරුවන් ස්වකීය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පෙළඹිණි. එක් අවස්ථාවක බේකරි හිමියන් පැවසුවේ මෙම මස තුළ සාධාරණ මිලකට පිටි නොලැබුණහොත් පාන් ගෙඩියක මිල රුපියල් 350ක් දක්වා ඉහළ යා හැකි බවය.
මෙම සංවාදය අතරතුර පාරිභෝගිකයන් චෝදනා කළේ තමන් මිලදී ගන්නා බේකරි නිෂ්පාදනවල බර සහ ප්‍රමිතිය නිසි පරිදි නොමැති බවය. ග්‍රෑම් 400 පාන් ගෙඩියක බර ඇතැම් අවස්ථාවල ග්‍රෑම් 350ක් පමණ වූ බව ද දැක්විණි. මේ ආකාරයට පාන් පිටි හිඟය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙද්දී නැවත වරක් ඊට රජය මැදිහත් විය. තුර්කියෙන් සහ මැදපෙරදිගින් තිරිඟු පිටි විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම රජයේ සැලසුමක් විය. එලෙස ආනයනය කළ තිරිඟු පිටි කන්ටේනර් 100කට අධික ගණනක් කොළඹ වරායේ ගුදම්වල පවතී.
එයින් තොගයක් නිදහස් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ වෙළෙඳ සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එතෙක් ඔවුන් කිලෝවක් රුපියල් 375 බැගින් අලෙවි කළ තිරිඟු පිටි මිල රුපියල් 290ක් දක්වා පහත දමන බවය. මෙලෙස තිරිඟු පිටි කිලෝවකින් අඩු වූ මුදල රුපියල් 85 කි.
තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩුවනු ඇත යන්න පාරිභෝගික අපේක්ෂාවයි. එසේම මිල අඩුවීම රුපියල් 85/- ක් වීම නිසා එයට ගැළපෙන මිල අඩු කිරීමක් ජනතාව බලාපොරොත්තු වීම සාධාරණය. එහෙත් සිදු වූයේ අනෙකකි.
නිවේදනයක් නිකුත් කළ බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් පිටි මිල රුපියල් 85/- කින් අඩු වූ බවට නිල නිවේදන නිකුත් වුව ද පාන් ඇතුළු සිය නිෂ්පාදනවල මිල ගණන් කිසිසේත් පහත දැමිය නොහැකි බවයි. මෙය සාධාරණ පාරිභෝගිකයා කෝප ගන්වන ප්‍රකාශනයකි. මෙලෙස පිටි මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව කියන බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ අඩු වූ මිලට තමන්ට තිරිඟු පිටි සපයාගත නොහැකි බවයි.
පාරිභෝගිකයන්ට මෙය හතර බීරි කතාවකි. ආණ්ඩුවත්, ආනයනකරුවන්ගේ සංගමයත් වෙළෙඳනුත් තිරිඟු පිටි මිල රුපියල් 85/- කින් අඩු කළ බව කියති. එහෙත් බේකරි හිමියන් පවසන්නේ එම මිලට තමන්ට පිටි නොලැබෙන බවය. සැබෑව එය නම් මෙහි කුමක් හෝ ප්‍රශ්නයක් අර්බුදයක් හෝ අතයට වැඩක් සිදුවන බවට සපථ කළ හැකිය.
දැන් මෙම ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණි. එසේම පාරිභෝගික අධිකාරියට ද මෙහි කිසියම් වගකීමක් පැවරේ. එබැවින් සහන අපේක්ෂා කරන පාරිභෝගික ජනතාවට නොතේරෙන මෙම අපභ්‍රංසය විසඳා පිටි මිල ගණන් අඩු කිරීම හා බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් විය යුතුය.