Ads 468x60px

.

සිද්ධියට මගේ සම්බන්ධයක් නෑ - හය දෙනා පොලීසියට බාර දුන්නේ මමයි


දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාමට අදාළ සිදුවීමට තමාගේ ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තිබීම සත්‍යයක් වුවද එය තමාගේ අනුදැනුමකින් වු දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

කඩා ඉහිරවී තිබුණු පවුලක් එකතු කරන්නට හෙවත් හොඳක් කරන්නට යාමෙන් මෙය සිදුවී ඇති නමුත් පොලීස් පරීක්ෂණ වලට බාධා නොවනු
පිණිස තමා විසින්ම තම සේවකයින්, ආධාරකරුවන් වූ හය දෙනා අදාළ ඩිෆෙන්ඩර් රථයද සමග කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදුන් බව ඇය කියා සිටියේ අද (22) සවස පැවති මාධ්‍ය හමුවකදීය.

තමා විසින් හොර වැඩකට යොදා ගනු ලබන්නේනම් තමා නමින් ඇති නිල රථයක් කිසිසේත්ම යොදා නොගන්නා බවද ඇය මෙහිදී අවධාරණය කළාය.

තම කාර්යාලයේ කටයුතු කරන පිරිස හා ආරක්ෂක නිලධාරීන් අතරට පැමිණි ඔවුන්ගේ හිතවතෙකු වන වයස අවුරුදු 12 ක දැරියකගේ සහ වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකුගේ පියෙකු විසින් තමාගේ බිරිඳ කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගිය බව දන්වා සිට ඇති බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය සැල කළාය.

ඒ පිළිබඳ ඉකුත් දිනයේ වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කර ඇතත් ඒ ගැන වැඩි අවධානයක් යොමුකර නැති බවත්,' ගෑණි ගියා නම් ඒක ඉතිං උඹ බලාගන්න ඕන' වගේ ප්‍රකාශයක් පොලීසියෙන් කළ බව එම හිතෛශිවන්ත පියා කියූ වග ඇය සඳහන් කළාය.

ඉන්පසු එම පියාගේ දියණිය  පැහැරගත් බව කියන පුද්ගලයා වන අමිල ප්‍රියංකර නමැත්තා සිටින ස්ථානය පිළිබඳ දන්නා බව කියූ නිසා ඇයත් සමග තම සේවකයින්/ආධාරකරුවන් පිරිස එම පුද්ගලයා සේවය කරන දෙමටගොඩ ප්‍රදේශයේ රෙදි පිළි සාප්පුවකට ගොස් ඇති බවත්, ඔහු කැඳවාගෙන ඒමට ගියත් එයට කැමැත්තක් නොදැක්වූ නිසා බලහත්කාරයෙන් මෙන් කැටුව එන්නට සිදුව ඇති බවත් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත් එයින් පසුව තමාද මැදිහත්වී එම පුද්ගලයා විසින් රඳවා තබාගෙන සිටි දෙදරු මවද කැඳවා ඇයගේ නීත්‍යනුකූල පුරුෂයා හා සමගි කරවා යැවූ බවත්, පැහැරගත් බව කියන පුද්ගලයාට ද පවුල් කඩා ඉහිරවන්නේ නැතිව සිටින ලෙස අවවාද කළ බවද ඇය සිහිපත් කළාය.

ඒ ආකාරයෙන් දෙපාර්ශවය ගැටළුවක් නොමැතිව යන්නට ගියද මෙය පැහැරගැනීමක් බවටත්, තමාට පහරදුන් බවටත් ඔහු පැමිණිලි කළ බව තමා දැන ගන්නේ පසුව බව හිරුණිකා කියා සිටියාය.

කෙසේ වෙතත් දෙදරු මව හා ඇය රඳවාගෙන සිටි  අමිල ප්‍රියංකර යන තැනැත්තා අතර යම් සම්බන්ධයක් තිබී ඇති බව එකී මව පොලීසියට ප්‍රකාශ කර ඇති බවත්, එසේ වුවද තම දරුවන් සිහිවන විට යළි නීත්‍යනුකූල සැමියා ළඟට ඒමට අදහස් කළද ඒ සඳහා ඔහුගෙන් ඉඩක් නොලැබුණු බවත් එම මව ප්‍රකාශ කර ඇතැයි මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

ඇය යළි සැමියා ළඟට ගියහොත් සැමියා ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් ඇය පොලීසියට පැමිණිලි කර ඇති බැවින් ඒ පිළිබඳවද නිසි පරීක්ෂණයක් සිදුකොට ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
Related Posts with Thumbnails