Ads 468x60px

.

ආයෙත් බෙහෙත් ගැන කතාවක්‌...


එකම කාරණය නිතර නිතර ලිවීම අපටත් ආණ්‌ඩුවටත් දෙකටම කරදරයකි. එහෙත් නොලියා සිටීම ඊටත් වඩා කරදරයකි. දිගින් දිගටම ලීවා යෑයි ප්‍රතිඵලයක්‌ නැති කාරණා බොහෝය. 

ඖෂධ හිඟය, ඖෂධ මිල අඩු කිරීම, බාල ඖෂධ ගෙන්වීම ඒ අතර ප්‍රධාන තැනක්‌ ගනී. ඊට හේතුව මේ ප්‍රශ්න විදෙස්‌ගතව ප්‍රතිකාර ගන්නා අයගේ ප්‍රශ්න නොව රටේ ජනතාවගේ ප්‍රශ්න වීමය.

සමස්‌ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඖෂධ මිල අඩු නොකළොත් ඇමැතිවරයාට නඩු පවරන බවය. ඖෂධ මිල පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ නොමැති නිසා ඖෂධ

සමාගම් හිතූ හිතූ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමට පටන් ගෙන ඇති බව ද එම සංගමය පවසයි.

ඖෂධ සම්බන්ධයෙන් පැන නැඟෙන මේ ප්‍රශ්නය අදක ඊයෙක ප්‍රශ්නයක්‌ නොවේ. පරණම කාලය අමතක කර දමා මේ අර්බුදය ගැන කතා කළ යුත්තේ දින සියයේ ආණ්‌ඩුවත්, ඊට පසු වත්මන් ආණ්‌ඩුවත් පත් වූ දා පටන් ය. 


ඊට හේතුව ඖෂධ සම්බන්ධයෙන් මතුවන අක්‍රමිකතා ගැන කැක්‌කුමකින් කතා කළේද, ඊට විසඳුම් ගෙන එන බව කීවේද, ඖෂධ පනත ගෙන ආවේද මේ ආණ්‌ඩුව නිසා ය. ඒ අර්ථයෙන් බලන කල මේ ආණ්‌ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාට එවැනි විරෝධයක්‌ එල්ලවීම අසාධාරණ යෑයි කිසිවෙකුටවත් කීමට හැකියාවක්‌ නැත.

නැවතත් සිහිපත් කරන්නේ නම්, ජාතික ඖෂධ පනත සම්මත කරන ලද්දේ, 2015 මාර්තු 06 වැනිදා ය. ඉන් පසුව ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන ලදී. 


ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන ලද්දේ ඔල්මොරොන්දන් කාරයන් පිරිසක්‌ නොවන බවත්, සිහි විකලෙන් ආවාට ගියාට නොවන බව අපි විශ්වාස කරමු. 

එය පිහිටුවා ඇත්තේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ය. ඒ නිසාම ඖෂධ නියාමනය සම්බන්ධයෙන් අතිශය වැදගත් වන්නා වූ වගන්ති රැසක්‌, නියාමනයන් ලෙස එම අධිකාරියට පවරා තිබේ. 

ඒ මෙසේය., 

ආරක්‍ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයෙන් යුත් ඖෂධ ලබාදෙන බවට තහවුරු කිරීම, ඖෂධ ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම හා ආනයනය කිරීම, ඒවා විනිවිද භාවයකින් යුතුව තිරසාර ලෙස සිදු කරන බවට තහවුරු කිරීම, ශ්‍රී ලංකාව තුළ නිවැරැදි තත්ත්වයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම, ඖෂධ පැවරීම නියාමනය කිරීම වැනි තවත් බොහෝ කාරණා එහි අඩංගුය.

මෙතරම් බලගතු නියාමන අධිකාරියක්‌ තිබියදීත්, ඖෂධ මිල පාලනය කිරීම 'බරපතළ' කාරණයක්‌ බවට පත්ව ඇත්තේ කවර හේතුවක්‌ නිසා දැයි පැහැදිලි නැත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාවේ සභාපතිවරයා කියන්නේ ''අනිවාර්යයෙන් ම මිල අඩු කරන්න පුළුවන්'' බවය. 


ඒ සඳහා මිල පාලන වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන බව ද ඔහු කියන්නේය. මෙවැනි කාරණා අවුරුදු එකහමාරක්‌ යනතුරුත් සපුරා ගන්නට නොහැකි වූයේ කවර හේතුවක්‌ නිසා දැයි අපට තේරෙන්නේ නැත. 

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ මිල නියාමනය කිරීම සඳහා කමිටු සකස්‌ කර ඒ අනුව එම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා යුතුය. නමුත් එවැනි කමිටුවක්‌ සකස්‌ කළ බවක්‌ පෙනෙන්නට නැත.

ඖෂධ සම්බන්ධයෙන් එවැනි වැදගත් තීන්දු තීරණ ගන්නවා වෙනුවට නියාමන අධිකාරියේ ක්‍රියාවලියම අවුල් සහගත තත්ත්වයකට පත් වූ බව පසුගිය දිනවල පෙනෙන්නට තිබිණි. 


ඖෂධ නියාමන අධිකාරියට මුලින්ම පත් කළ සභාපතිවරයාත් ප්‍රධාන විධායක නිලධාරිවරයාත් ඉවත් කර දැමුවේ එම අධිකාරියෙන් එතෙක්‌ බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම නිසා බව ඒ දිනවල කියෑවිණි. 

එය ප්‍රශ්නයට විසඳුමක්‌ නම් මෙවැනි අර්බුද මතුවීම මේ වන විට සියයට පනහකින් හෝ අඩු විය යුතුය. එසේ සිදුවීද නැත. තවමත් කතා විතරය. ඒ කතා රටේ ජනතාවට වැඩක්‌ නැත. හේතුව, ආණ්‌ඩුව ඖෂධ ගැන කියා ඇති කතා ඕනෑවටත් වඩා වැඩි වීමය. අවශ්‍ය වන්නේ ඖෂධ පනත සම්මත කරමින් කී කතා ඉටුකිරීමය.
 
Related Posts with Thumbnails