Ads 468x60px

.

පාතාල කල්ලි නායක ෆෙරෝස්‌' පැහැර ගනී

මීගමුවේ පාතාල කල්ලි නායක මොහොමඩ් ජලීල් මොහොමඩ් ෆෙරෝස්‌ නොහොත් "ෆෙරෝස්‌" නමැත්තා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (30දා) රාත්‍රි 9.30 ට පමණ මීගමුවේදී පැහැරගෙන ගොස්‌ ඇත.
මොහු මිනී මැරුම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණුම ගණයේ අපරාධවල යෙදෙමින් මීගමුව ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි පුද්ගලයෙකි.
සිරින්ජරයක්‌ මගින් සයිනයිඩ් ශරීරගත කර සිය බිරිඳ ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් දහයකට ආසන්න ප්‍රමාණයක්‌ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි. මෙම පාතාල කල්ලි නායකයා සිය කල්ලියේ සාමාජිකයන් පිරිසක්‌ද සමඟ වෙනත් ප්‍රදේශයක සිට හොර රහසේම මීගමුව පරණ හලාවත පාරේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියදී ඒ අතර සැඟව සිටි සන්නද්ධ කණ්‌ඩායම විසින් ඔහු පැහැරගෙන තිබේ.

එහෙත්, ෆෙරෝස්‌ සමඟ සිටි ඔහුගේ සාමාජිකයන් කිසිවකු පැහැරගෙන ගොස්‌ නොමැත.නාඳුනන පිරිසක්‌ විසින් තම පුත්‍රයා පැහැරගෙන ගිය බවට ෆෙරෝස්‌ගේ මව මීගමුව පොලිසිය වෙත පෙරේදා (30 ) රාත්‍රියේ පැමිණිල්ලක්‌ද කර ඇත.රජයේ ප්‍රබල නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සහ මෑතකදී ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වූ කොළඹ තරුණ මන්ත්‍රීවරයකුගේ රැකවරණය ලබමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මොහු විවිධ අපරාධවල නිරත වූ බව පැවැසේ.

මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම ඔහු පොලිස්‌ අත්අඩංගුවට පත්වුවද දේශපාලන බලපෑම් මත පොලිසියට ෆෙරෝස්‌ නිදහස්‌ කිරීමට සිදුවිය.පාතාල ලෝකයේ දරුණුම ගණයේ අපරාධකරුවකුව සිටි "ඕල්කට්‌ගේ" (දැනට ජීවතුන් අතර නොමැත) සමීපතම මිතුරා ලෙස සිටි ෆෙරෝස්‌ රට පුරාම විවිධ අපරාධ කරමින් මීගමුව ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටියේය.මීට වසර ගණනකට ඉහතදී සිදුවූ හදිසි අනතුරකින් මොහුගේ දකුණු පාදය ඉවත්කර තිබූ අතර පසුව කෘත්‍රිම පාදයක්‌ සවිකරගෙන මොහු මෙම අපරාධවල නිරත වූ බව පොලිසිය පවසයි.

පාතාල කල්ලි නායකයකු වූ මිනුවන්ගොඩ අසිත නමැත්තා මීගමුව බන්ධනාගාරය තුළදී වෙඩිතබා ඝාතනය කිරීම, මීගමුවේ ටයිටස්‌ මරාදැමීම, විපුල නමැති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම, මීගමුව බන්ධනාගාර නිලධාරියකු වූ හරේන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක්‌ පිටුපස "ෆෙරෝස්‌" සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටී.මීගමුව නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් ෆෙරෝස්‌ මාසිකව ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක කප්පම් ලබාගෙන ඇති බව පැවැසේ. ෆෙරෝස්‌ට ඇති බිය නිසා කිසිවකු ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර නැත.මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails