Ads 468x60px

.

තාජුඩීන්ගේ ගොඩගත් සිරුරේ කොටස් 5ක් අධිශීතකරණයේදී අතුරුදන්...


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කිරීමට ඔහුගේ සිරුර පසුගිය දිනෙක නැවත ගොඩගනු ලැබුවා.

නමුත් මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ යේදී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබියදී ඉන්

කොටස් 05ක් අස්ථානගතව ඇති බවත් ඒ සම්බන්ධව ලේඛනවලද කිසිදු සටහනක් නැති බවත් රහස් පොලිසිය ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍ය රාජගුරු මහතා ශරීර කොටස් 5 සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් යොදා එම කොටස් ආරක්ෂිතව අධිශීතකරණයේ තබන ලෙස විශ්‍රාමික හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට දැනුම් දී තිබුනු බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර  තිබුණා.

2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා පාරේදී සිය කාර් රථය තුළ මොහොමඩ් වසීම් තාජුඩීන් පිලිස්සී මියගොස් සිටි අතර, අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි රහස් පොලිසිය
පරීක්‍ෂණ පවත්වා තිබිණි.

මෙම ශරීර කොටස් එක්ස්රේ ඡායාරූප හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ආපසු බාර නොදුන් බවත් එම කොටස් 5 අධිශිතකරණයේ හෝ ශීතකරණයේ ඇති බවට කිසිදු සටහනක් නැති බව පවසන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා එම කොටස් සොයා ගැනීමට නොහැකි බවත් බාරදීම සම්බන්ධයෙන් කිසිඳු සටහනක් නොමැති බවට ලිපියකින් රහස් පොලිසිය දැනුවත් කළ බවට පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සිරුර නැවත ගොඩගෙන දෙවනවරට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පත්කරන ලද වෛද්‍ය මණ්ඩලයට ප්‍රථම මරණ පරීක්ෂණ යෙන් එක්ස්රේ ඡායාරූප හා මෙම අවයව කොටස් අධීක්ෂණය සඳහා
ලබාදෙන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂකගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.

මෙම එක්ස්රේ හා අවයව කොටස් සම්බන්ධව පූර්ණ විශ්ලේෂණයකින් පසු අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කළ හැකි බවට අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සිය ලිපිය මඟින් රහස් පොලිසිය දැනුවත් කර තිබේ.

අදාළ කරුණ සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මරණකරු වූ තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය එක්ස්රේ ඡායාරූප සහ සිරුරේ අවයව කොටස් 05 වහාම අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතාට ලබාදෙන ලෙස හිටපු විශ්‍රාමික වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට නියෝග කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails