අනතුරට ලක්‌වූ අවුරුදු පහක් පමණ වයසැති අසාද් නමැති දරුවා තවත් දරුවන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී වඳුරකු විසින් කඩා දැමූ
පොල් ගෙඩියක් දරුවාගේ හිස මතට වැටීම නිසා දරුවා මෙම අනතුරට ලක්‌වි තිබෙනවා. මෙම විස්‌මිත සැත්කම කළේ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක් විසිනි.
මේ දරුවා රෝහල් ගතකරන විට දරුවාට සිහිය තිබුණේ නැහැ. අපි ප්‍රථමයෙන් කෘත්‍රිම ස්වසනය ලබා දුන්නා. ඊළඟට දරුවා ස්ථාවර තත්වයට පත්වූ පසු ස්කෑන් පරීක්ෂණයක් කළා.
ශල්‍යාගාරයේ දී දරුවාගේ හිස්කබල විවෘත කළ විට අස්ථි කැබලි කීපයක් බිඳී තිබුණා. එමෙන්ම හිස්කබල අට පොළකින් බිඳී තිබුණා. බිඳී තිබූ අස්ථි කොටස් නැවත එකතුකොට හිස්කබල නැවත ප්‍රතිනිර්මාණය කළා. මෙවැනි සැත්කමක දී ජීවත්වීමට වාසනාව ලැබෙන්නේ සියයට දහ දෙනකුට පමණයි. මේක ඉතාමත් සියුම් සැත්කමක්.
රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයාගේ සිට හෙද හා හෙදියන් වෛද්‍යවරු එක කණ්‌ඩායමක් විදියට වැඩ කිරීම නිසා තමයි මෑත කාලයේ මෙවැනි විස්‌මිත සැත්කම් කිහිපයක්‌ම කිරීමට හැකිවුණේ යෑයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පැවසුවා.
පිහියක් ඇනීම නිසා ඇසේ වම්පස කුහරයෙන් මොළයට හානි වී තිබූ දැරියත් දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මේ දැරියගේ අක්‍ෂි ගෝලයේ උඩ තුවාල වෙලා තිබුණා. ඊයේ දැරිය අක්‍ෂි සායනයට ද යොමුකළා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැරියගේ ඇස් පෙනීම පිළිබඳ ගැටලුවක් නැහැ.
ඇත්තටම දරුවන් හදිසි අනතුරුවලට ලක්‌වන්නේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා. දෙමවුපියන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. වැඩියෙන්ම අනතුරුවලට ලක්‌වන්නේ යතුරුපැදි, පාපැදිවලින් වැටිලා.
සමහර ළමුන් හිස් වැසුම් දමන්නේ නැතිව යතුරුපැදිවල නංවාගෙන යනවා. මේ නිසා අනතුරු වූ විට වැඩියෙන්ම හානියට ලක්‌වන්නේ හිස. ඒ නිසා මේ ගැනත් මව්පියන් වැඩිහිටියන් සැලකිලිමත් විය යුතු යෑයි වෛද්‍ය දීපාල් අත්තනායක මහතා කීවේය.