Ads 468x60px

.

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප කටුනායකින් අවසන් ගමන් නොයන ජනතාවාදී එකක්‌ විමට නම්


සේවක අර්ථසාධක අරමුදල (EPF) හා සේවක නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) එකට එක්‌කොට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් ජාතික විශ්‍රාම වැටුප් පාරිතෝෂික
අරමුදලක්‌ පිහිටුවන බව පසුගිය දිනවල රජය ප්‍රකාශයට පත්කර තිබිණි. 

ඒ ප්‍රකාශය මේ වන විට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් අතරත්, රටෙත් විශාල කතාබහකට ලක්‌වන කාරණයක්‌ බවට පත්ව තිබේ. පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීය සමිති මේ ගැන දිගින් දිගටම විරෝධය දක්‌වමින් තිබේ.

මීට පෙර 2011 වර්ෂයේදී ද පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වූ විශ්‍රාම වැටුපක්‌ යෝජනා කර තිබිණි. එම විශ්‍රාම වැටුප් පනත හකුලා ගත්තේ ඊට එරෙහි විරෝධතාවක යෙදී සිටි පෞද්ගලික අංශයේ සේවකයකුද මරණයට පත්වීමෙන් අනතුරුවය.

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්‌ අවශ්‍ය වේ යෑයි කියන කාරණය අදක ඊයෙක මතුවූවක්‌ නොවේ. පෞද්ගලික අංශයේ බොහෝ දෙනකුගේ ඉල්ලීම වී තිබුණේ ජීවත්වීමට සරිලන අන්දමේ විශ්‍රාම වැටුපක්‌ ලබාදෙන ලෙසයි. 


පසුගිය රජය සමයේ මෙවැනි වැඩපිළිවෙළක්‌ සඳහා ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට උත්සාහ ගත් හැම මොහොතකම ඊට එරෙහි වූයේ එවකට සිටි විපක්‍ෂයයි. වත්මන් ආණ්‌ඩුවේ ඇමැතිධුර මන්ත්‍රී ධුර දරන්නේ එම පිරිසය. එදා විරුද්ධ වූ විශ්‍රාම වැටුප් අරමුදල අද වන විට නැවත කරළියට ඒම පිළිබඳව මේ කිසිවකුත් නිවැරැදි යමක්‌ ප්‍රකාශ කරන බවක්‌ අපි දුටුවේ නැත.

2011 ගෙන ඒමට සූදානම් වූ විශ්‍රාම වැටුප් අරමුදලට එකල පෞද්ගලික අංශයේ බොහෝ දෙනෙක්‌ විරුද්ධ වූයේ එය අපේක්‍ෂිත විශ්‍රාම වැටුප් අරමුදලක්‌ නොවන බව කියමිනි. වර්තමානයේද වෘත්තීය සමිති අදහස්‌ දක්‌වමින් කියන්නේ එය විශ්‍රාම වැටුප් අරමුදලට මුවා වී අර්ථසාධකය කොල්ල කෑමේ ක්‍රියාවලියක්‌ බවය.

මේ වනවිට රටේ ලක්‍ෂ 65 ක්‌ පමණ වූ පෞද්ගලික අංශයේ සේවක පිරිසක්‌ සිටිති. ඒ අය අතරින් වාර්ෂිකව 60,000 ක්‌ විශ්‍රාම ගැන්වෙන බවද කියති. කෙසේ හෝ වාර්ෂිකව මෙලෙස විශ්‍රාම ගැන්වෙන පිරිසට විශ්‍රාම වැටුප් ලබාදිය හැකි අරමුදලක්‌ පිහිටුවිය යුතු බව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අදහසයි.

සේවක අර්ථසාධක අරමුදල යනු සේවකයකු විශ්‍රාම යැමෙන් පසු ඔහුගේ/ ඇයගේ සුබසාධනය සඳහා යොදා ගනු ලබන්නා වූ අරමුදලකි. සේවක භාරකාර අරමුදල යනු විශ්‍රාම යැමට පෙර සේවකයන්ගේ සුබසාධනය සඳහා යොදාගනු ලබන අරමුදලකි. 


මේ අරමුදල් එකට එකතු කර ජාතික විශ්‍රාම වැටුප් පාරිතෝෂිකයක්‌ ගොඩනැගීමට රජය කටයුතු කළොත් එයින් සිදුවන්නේ එම අරමුදල්වල අරමුණ ඉටු නොවීම නිසා සේවකයන්ට අසාධාරණයක්‌ සිදුවීම බව වෘත්තීය සමිති සංගම් නියෝජිතයන්ගේ අදහසයි.

සේවක අර්ථසාධක අරමුදලෙහි හා සේවක භාර අරමුදලෙහි රුපියල් ටි්‍රලියන 1.7 ක විශාල මුදලක්‌ ඇති බව කියෑවේ. පෞද්ගලික අංශයේ සේවකයන් නියෝජනය කරන විවිධ වෘත්තීය සමිති සමාගම් කියන්නේ මෙතරම් විශාල අරමුදල් දෙකක්‌ රැගෙන රජය කරන්නට යන දේ පැහැදිළි නැති බවය.

ඇත්ත.... මේ අරමුදල්වල ඇත්තේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මුදල්ය. ඒ මුදල් රැගෙන ජාතික විශ්‍රාම වැටුප් අරමුදලක්‌ හදනවා යෑයි කීම අපැහැදිළි තත්ත්වයක්‌ මතු කරන්නකි. 


තවමත් මේ අරමුදලට අදාළව ගෙන ඒමට නියමිත නීති කෙටුම්පත කවරේද යන්න ගැන පැහැදිළි කිරීමක්‌ද නැත. එමෙන්ම ඊ.පී.එෆ්.. හා ඊ.ටී.එෆ්. අරමුදල් මඟින් සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ අඩු බව රජය සඳහන් කරයි. එහෙත් එම ප්‍රතිලාභ වැඩිකරන ආකාරය ගැන නිශ්චිතව සඳහන් නොකිරීම මේ අපැහැදිළි බව වඩාත් තීව්‍ර කරයි. 

පසුගිය රජය සමයේ මේ මුදල් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කර වැඩි ප්‍රතිලාභයක්‌ ලබා ගන්නවා යෑයි කීවද එයද ඉටුවී නොමැති බවක්‌ පෙනේ. ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සකස්‌ කරන්නේ නම් එයට සේවකයන්ගේ අරමුදල්ද, රජයේ දායකත්වයද ලබාදී විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සකස්‌ කළ යුතු යෑයි වෘත්තීය සමිතිවල අදහසයි.

අපට පෙනෙන හැටියට මේ හදිසියේම කරන්න යන කිසිවක්‌ ජනතාව ඉල්ලූ දේ නොවේ. ඊට පෙර ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දුන් අනෙක්‌ (හදිසියේ කළ යුතු) පොරොන්දු කප්පරකට ඇත. ජනතාවට යහපාලනය ගැන ගැටලු ඇත්තේද ඒ නිසාය.

මේ විශ්‍රාම වැටුප් යෝජනාව ගෙන ආවේ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මධ්‍ය කාලීන ආර්ථික සැලසුමෙනි. ආර්ථිකයට සැලසුමක්‌ ඇති බව අප කාගේත් පිළිගැනීමයි. එහෙත් ඒ ආර්ථික සැලසුම් 2011 වර්ෂයේදී මෙන් කටුනායකින් අවසන් ගමන් නොයන ජනතාවාදී එකක්‌ විය යුතු බව කියමු.

 
Related Posts with Thumbnails