Ads 468x60px

.

මෙවැනි "මී හරක්‌" රටේ ජනතාවට පන්න පන්නා ඇනීම...


හාල් ගැන තීන්දු තීරණ ගන්නා බොහෝ උදවිය කෑමට ගන්නේ බත් නොව තණකොළ බව නැවත වතාවක්‌ ඔප්පු කර තිබේ. රටේ මිනිසුන්ට බත් නොව පස්‌ කෑමට සිදුවන තරමින් හාල් මිල ඉහළ ගොස්‌ තිබියදීත්, අමන වැඩ සිදුවන්නේ ඒ නිසාය. 

වී ගොවීන්ගෙන් පසුගිය යල සහ මහ කන්නයේදී මිලදී ගත් වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂයක්‌ (වී කිලෝ කෝටියක්‌) සත්ව ආහාර සමාගම් තුනකට
කිලෝව රුපියල් 24.50 බැගින් හොර රහසේ විකුණා දැමීම නිසා රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක්‌ සිදුව තිබෙන බව ඊයේ වාර්තා වී තිබිණි. 

කකුල් දෙකක්‌ තිබෙන නමුත් අං යුගලක්‌ද තිබෙන, පුන්නක්‌කු ද දියකර බොන පිරිසකට "හාල්" යනු සත්ත්ව ආහාර හැටියට පෙනීම පුදුමයට කාරණයක්‌ නොවේ.

ප්‍රශ්නය වන්නේ මෙවැනි "මී හරක්‌" රටේ ජනතාවට පන්න පන්නා ඇනීමය. ඉතාම ආසන්න කාලයේ මත්තල ගුවන්තොටුපළේ (වී ගබඩාවේ) ගබඩාකර තිබූ වී මෙටි්‍රක්‌ ටොන් 47 ක්‌ පමණ වූ තොගයක්‌ මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා තිබුණේ මෙවැනි "හරක්‌" ය.

දැන් රටේ හාල් මත්පැන් වලටත්, සත්ව ආහාරවලටත් කුණුකොල්ලයට ලබා දෙන්නේ රටේ ජනතාවට "පාන්" ද එපා කරවන තත්ත්වයක්‌ තුළ ය. සාමාන්‍ය සම්බා කිලෝවක්‌ මේ වන විට රුපියල් අනූවක්‌ පමණ වේ. 


තරමක්‌ හොඳ සම්බා කිලෝවක්‌ රුපියල් 125 කට වැඩිය. සාමාන්‍ය සුදු හාල් කිලෝව රුපියල් 70 කි. පාලන මිලක්‌ පනවා තිබුණද වී ගොවියාගෙන් පුද්ගලික අංශය වී මිලට ගන්නේ රුපියල් 20 ක්‌ තරම් වූ මුදලකටය.

රටේ වාර්ෂික වී නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 65 කි. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිහක්‌ද, මහ කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිස්‌පහක්‌ ද ලෙසය. ඇත්ත වශයෙන්ම රජය මෙයින් මිලදී ගන්නේ සියයට පහක තරම් ප්‍රමාණයකි. 


වැඩිම වුණොත් එය සියයට පහක තරම් ප්‍රමාණයකි. රටේ නිෂ්පාදිත වී අස්‌වැන්නෙන් ඉතිරි සියයට 94 ත් 95 ත් අතර ප්‍රමාණය මිලදී ගන්නේ පුද්ගලික අංශයයි. දැන් අපට පෙනෙන්නේ ආණ්‌ඩුව ගන්නවා යෑයි කියන සියයට පහ මිලදී ගන්නේ ද සත්ව ආහාර සහ මද්‍යසාර සඳහා කුණුකොල්ලයටම බෙදා දීම සඳහා බවය.

රටේ වී අතිරික්‌තයක්‌ වන විට රට සහලින් ස්‌වයංපෝෂිත යෑයි කියන උදවියම ඒ කටින්ම වී වගාව අඩු කරන්න පියවර ගන්නවා යෑයි ද කියති. ඒ වෙනුවෙන් අපූරු උදාහරණ ද දේ. එකක්‌ වන්නේ වී කිලෝවකට ඉහළ මිලක්‌ ලබාදීමේ අරමුණින් වී වගාව අඩු කරන බවය. එසේ අඩු කළ විට මිල ද අඩු කළ හැකි බව මේ දැනුම් තේරුම් ඇති අය ජනතාවට පැහැදිලි කර දෙති.

වී ගොවියා සම්බන්ධයෙන් ඒ තර්කය සාධාරණ විය හැකි නමුත් නිෂ්පාදනය අඩු වූ විට පාරිභෝගිකයාට සහල් අඩු මිලට මිලදී ගැනීමට හැකියාවක්‌ නැති බව ඒ උදවියට තේරුම් නොයැම පුදුමයට කාරණයකි. 


කෘෂිකර්ම ඇමැතිවරයා කියන ආකාරයට වී අස්‌වැන්නෙහි සියයට 25 ක අතරික්‌තයක්‌ තිබේ. මත්පැන් වලටත් සත්ව කෑමවලටත් අත දිගහැර මේ උදවිය ලබා දෙන්නේ මේ සුළු අතිරික්‌තයයි. අපට තිබෙන ප්‍රශ්නය වන්නේ අපේ රටට සහල් අතිරික්‌තයක්‌ වුවමනා වන්නේ නැති ද යන්නයි. 

හදිසි අපදාවකදී ප්‍රයෝජනයට ගැනීමට තරම් සහල් අතිරික්‌කයක්‌ අපේ ගබඩාවල තිබිය යුතු නැද්ද? එවැනි මොහොතක වැඩි මිලක්‌ ගෙවා සහල් පිටරටින් ගෙන්වා වෙළෙන්දන් කිහිප දෙනකුගේ මඩිය තරකර ගැනීමට අවස්‌ථාව සලසා දීමට සැරසෙන බවක්‌ මේ තකතීරු වැඩවලින් පෙනේ.

කොහොමත් මේ වැඩවලින් පෙනෙන්නේ ඉදිරියේදී වී ගොවිතැන නැත්තටම නැති කරවන, ගොවියාට වී ගොවිතැන එපා කරවන වැඩ පිළිවෙළක්‌ දියත් වන බවය. ඇත්තටම වී මත්පැන් වලට දෙන්නේත්, සත්ව කෑමවලට දෙන්නේත් පරිභෝජනයට නුසුදුසු නිසා නොව අත යට ගනුදෙනුවක්‌ ඇති නිසා බව පැහැදිලිය.
 
Related Posts with Thumbnails