කාලයක් තිස්‌සේ රෝගාතුරව සිටි හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරනු ලැබූ "නවම් රාජා" හස්‌තියා ඊයේ (8 වැනිදා) අලුයම අවසන් ගමන් ගියේය. වසරක පමණ කාලයක් හන්දි ඉදිමීමේ රෝගයෙන් (ආතරයිටීස්) දැඩි ලෙස රෝගාතුරව සිටි නවම් රාජා මිය යන විට වයස අවුරුදු 55 ක් විය. 1986 වසරේ සිට ගංගාරාම විහාරයේ වාසය කළේය.
ඉන්දියාවේ වහිසුන් ප්‍රාන්තයේ මහාරාජා කෙනකු විසින් නීලම්මහර විහාරයට පූජා කර තිබූ නවම් රාජා 1986 දී විහාරාධිපති ගලබොඩ ඥනිස්‌සර නාහිමියෝ ගංගාරාම විහාරය වෙත රැගෙන ආහ.
ඉතා දිගු දළ යුගලක් හිමිවීම මත දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියව සිටි නවම් රාජා ගංගාරාම විහාරයේ මෙන්ම මහනුවර දළදා පෙරහැරේද සධාතුක කරඬුව වැඩමවීමට තරම් පුණ්‍යවන්ත වූයේය.
මියගිය නවම් රාජාගේ අවසන් කටයුතු බෞද්ධාගමික වත් පිළිවෙත් අනුව මහා සංඝරත්නය වෙත මතක වස්‌ත්‍ර පූජා පවත්වා පැන් වඩා ඊයේ (08 වැනිදා) පෙරවරුවේදී ගංගාරාම විහාරස්‌ථානයේදී සිදු කළ අතර එම හස්‌ති දේහය විහාර භූමියේ භූමදානය කෙරිණි.
පුරා වසර 26 කට ආසන්න කාලයක් විහාරස්‌ථානයේ වාසය කළ නවම් රාජා කිසිදු මුදල් ඉපයීමකට යොදා නොගත් බව පැවසූ විහාරවාසී ආචාර්ය පල්ලේගම රතනසාර හිමියෝ පෙරහැරේ ගමන් කරවීමට ප්‍රථම හා පසුව ඉතා ඕනෑකමින් ඊට අවනතව සූදානම් වන නවම් රාජා ඇත්ගොව්වකු නැතිව විහාරවාසී හිමිනමකට වුව රැකබලා ගත හැකි හස්‌තියකු බවත් පැවසූහ.