කරේ තිබූ පවුම් 4 ක් වටිනා රන් දම්වැල ගලවා
දෙවියන්ට තැබූ පූජා වට්ටිය අලියා ගිලලා...
දැන් අවට පිරිස් මෙම රත්‍රං මාලය සොයා අලි
වසුරු පහුරු ගානවලු...
යාල ජාතික වනෝද්‍යානයට අයත් කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස් මේ දිනවල සියඹලා දේවාලය අවට වන අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්‌සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිති.
මෙම අපූරු රත්‍රං අලි වසුරු තුළට යැමේ සිද්ධිය සිදුවී ඇත්තේ
පසුගිය 7 වැනිදායි. රත්නපුරයට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයන් පිරිසක් කැබිලිත්තට පසුගියදා පැමිණියේ තම ව්‍යාපාර සරුවීම පිණිස බාර හාර වීමටයි. පස්‌දෙනකුගෙන් යුතු නඩයක් මේ ගමනට පැමිණ තිබූ අතර කතරගමින් කපුමහතකු ද කැටුව ගියේ පුද පූජා නිසි අයුරින් සිදුකිරීම පිණිසයි.
සියලුම දෙනා පලතුරු පූජාවන් පිළියෙළ කර දේවාලය පිහිටි සියඹලාගහ වෙත පැමිණ එහි ඇති ලී මැස්‌ස මත පූජා වට්‌ටි තබා සිය දේව පූජාව පවත්වා තිබේ. කපු මහතා පූජාව තබන අතර එක් අයකු සිය කරේ තිබූ පවුම් 4 ක් වටිනා රන් දම්වැල ගලවා දෙවියන්ට තැබූ පූජා වට්‌ටියේ තැබුවේ මාලය පේකර ගැනීමේ අදහසින්ය.
මාලය ගලවා පූජාවට තැබූ සැණින් කපු මහතා තමා කියමින් සිටි යාතිකාව නවතා දමා ඔන්න අලියා ආවා කියා දිවයන්නට විය. පූජාවට සහභාගි වූ ව්‍යාපාරිකයන් එම ස්‌ථානයෙන් දිව ගියේ වියරුවෙන් එන දැවැන්ත අලියා දැකීමෙන් බියට පත්වීමෙනි.
සියඹලාගස අසලට පැමිණි අලියා පලතුරු සියල්ල කා දැමූ අතර පිරිස රැගෙන ආ පුද පූජා භාණ්‌ඩ ද කුඩු පට්‌ටම් කර දමා කැලයට ගියේය.
අලියා ගිය පසු එම ස්‌ථානයට පැමිණි පිරිස අලියා කළ විනාශය දැක කම්පාවට පත්වූ අතර පේවීමට තැබ පවුම් 4 ක් වටිනා මාලය ද පලතුරු සමඟ අලියා කා දමා ඇති බව දුටුවෝය. අවට පරිසරයේ මාලය සොයා බැලූ ඔවුහු එය හමු නොවීම නිසා දැඩි සිත් තැවුලෙන් ගම් බිම් බලා ගියහ.
දැන් මෙම රත්‍රං මාලය සොයා යන එන සියලුම දෙනා දකින අලි වසුරු පහුරු ගහන්නේ පවුම් 4 ක් වටිනා මාලය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි.