තවත් දෙදෙනෙක් පිළිස්‌සී රෝහලේ...
දේවවරමක් ලැබී ඇතැයි පවසමින් ආවේශ වී උමතුවෙන් මෙන් හැසිරුණු දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයේ කාන්තාවකගේ ක්‍රියාකලාපය නිසා පහළොස් හැවිරිදි දැරියක ඊයේ (28 වැනිදා) ඉතාමත් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
මෙම කාන්තාව සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ හදිසියේම ආවේශ වී 15 හැවිරිදි මෙම දැරියගේ උගුරට ගිරයක් සහ පිහියක් ඇතුළු කිරීම නිසා එම දැරිය එම ස්‌ථානයේම මරුමුවට පත්වී තිබෙනවා.
එම මොහොතේම මෙම දැරියගේ ඥති සොහොයුරියන් වන 07 හැවිරිදි දැරියක සහ 19 හැවිරිදි විවාහක කාන්තාවක පිළිස්‌සීම නිසා ඔවුන් ද බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්‌ඩිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම කාන්තාව සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ද දරුවන් දෙදෙනකුගේ මව්පියන් බව පොලිසිය පවසනවා. ඝාතනය කිරීමට සැමියා ආධාර අනුබල දුන් බවට
සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියේ උසස් නිලධාරියෙක් පවසනවා.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ අමන්දා ප්‍රභාෂරී හේරත් (15) නමැති දැරියයි. මධුෂිකා හේරත් (07) දැරිය සහ අමන්දා මධුමාලි (19) නමැති විවාහක තරුණිය පිළිස්‌සුම් තුවාල ලබා තිබෙනවා.
දැරියන්ගේ කෑගැසීම ඇසී එම ස්‌ථානයට පැමිණි ඔවුන්ගේ දෙමාපියන් සහ අසල්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම් දීමෙන් පසු පොලිසිය පැමිණ අපරාධය කළ කාන්තාව සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළිස්‌සුම් තුවාල ලැබූ දෙදෙනා දෙහිඅත්තකණ්‌ඩිය රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් 07 හැවිරිදි දැරියගේ තත්ත්වය බරපතළ වීම නිසා ඇය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට යෑවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මරුමුවට පත් 15 හැවිරිදි දැරියගේ මවගේ සහෝදරියක බවට ද හෙළි වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රි අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ දේවාරූඪයෙන් කෑගසන බවට ලැබුණු ආරංචියක් මත දැරිය තම දෙමාපියන් සහ ඥති සොහොයුරියන් දෙදෙනා සමග දේවාලය තිබෙන නිවසට ගොස් තිබෙනවා.
එහිදී දෙමාපියන් දෙදෙනා දේවාලයෙන් එළියට දමා මියගිය දැරිය සහ ඥති සොහොයුරියන් දෙදෙනා දේවාලය තුළට ගෙන ඇත. අනතුරුව 15 හැවිරිදි දැරියගේ උගුරට ගිරයක් සහ පිහියක් ඇතුළට යවා ඇත. අනෙක් දෙදෙනාගේද කෙස් වැටියෙන් අල්ලා ගිනි මැලයකින් මුහුණ පුළුස්‌සා තිබෙන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අම්පාර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ අධීක්‍ෂණයෙන් අම්පාර සහකාර පොලිස් අධිකාරි පවිත්‍ර්‍ර දයාරත්න මහතාගේ මෙහෙයවීමෙන් දෙහිඅත්තකණ්‌ඩිය පොලිස් ස්‌ථානාධිපති ජයශාන්ත ද සිල්වා මහතා වැඩිදුර විමර්ශන සිදු කරනවා.