Ads 468x60px

.

මහේෂිගේ ආයාචනයට විදුහල්පතිනිය කන් දුන්නා නම් දුවගේ ජීවිතය බේරගන්න තිබුණා - මව කියයි

පන්ති තහනම් කල ලජ්ජාවට වස පානය සිසුවිය අද අවසන් ගමනේ..

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කල පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහිදී සිත්තැවුලට පත්ව වස පානය කර මිය ගිය මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ 12 වසරේ ඉගෙනුම ලැබූ නිශාදි මහේෂිකා ජයරත්න සිසුවියගේ මව විලාප දී හඬමින් අප වෙත මෙසේ පැවසුවා.
 
මම වැඩට යන්න හදන කොට 'මට ගෙදර තනියම ඉන්න බැහැ කියා දුව මට ඉන්න කිව්වා. ඒ නිසා මම 13 වැනිදා වැඩට ගියේ නැහැ. 14 වැනිදා මට ගෙදර ඉන්න කිව්වා නම් මම ඉන්නවනේ පුතේ. මම මේ දුක කොහොම උහුලන්නද පුතේ? 

ඒ මවගේ විලාපය ආඬිඅම්බලම, සරණ තිස්‌ස ගම ඇතුළු මුළු ප්‍රදේශයම කම්පා කරවන අයුරු අපට දැක ගත හැකි වුණා.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැති දිනයේ ජංගම දුරකතනය රැගෙන යැම නිසා සති 2 ක පංති තහනමකට ලක්‌වීමෙන් සිත්තැවුලට පත්ව වස පානය කර මියගිය මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ 12 වසරේ ඉගෙනුම ලැබූ
නිශාදි මහේෂිකා ජයරත්න (අවු. 17) සිසුවියගේ මව වන කාලිංග හීලට්‌ නවරත්න එසේ විලාප දී හඬනු ඇසීම කාගේත් සිත් කම්පාකරවන්නකි.

දුව උසස්‌ පෙළ කරන්න නාලන්දා බාලිකාවට ගියේ. එයා ඉගෙන ගන්න වගේම බාහිර වැඩවලටත් දක්‍ෂයි. අහල පහල ළමයින්ගේ පොත්වලට පිට කවර දාලා දෙන්නෙත් නිශාදි දුව. පසු ගිය 05 වැනිදා සිට දුව ගෙදර හිටියේ. අහල පහල අය ඇයි ඉස්‌කෝලේ යන්නේ නැත්තේ කියා අහපුවම දුව කියනවා "පංති නිවාඩුයි" කියා. 

ඒ කියලා ගෙට ඇවිත් කාමරයට වෙලා අඬනවා. ඉස්‌කෝලේ යන්න නැතිව එයා හරි දුකින් හිටියේ. ජංගම දුරකතනය ක්‍රීඩා උත්සවයට ගෙනිහින් තියෙන්නේ රෑ වුණොත් මට කෝල් එකක්‌ ගන්න. බස්‌ එකෙන් බැහැලා කිලෝමීටර් 1 1/2 කට ආසන්න ප්‍රමාණයක්‌ පයින් එන්න ඕනෑ. 

මම පෙදරේරු වැඩ කලත් දුවට කිසි අඩුවක්‌ තිබ්බේ නැහැ. බිරිඳ ඇඳුම් මහන්න යනවා. එදා (14 වැනිදා) දුව ගෙදර තනියම ඉන්න වෙලාවේ තමයි වස පානය කරලා තියෙන්නේ. ඒ මහේෂිගේ පියා වන හිරිපිටියලාගේ ජයරත්න (අවු( 59) මහතා කියන කතාවයි.

අසල්වැසි දරුවන්ට හොඳ සහෝදරියක්‌ වෙමින් ඔවුනගේ දුක සැප බෙදාගනිමින් අධ්‍යාපනය ලැබූ මහේෂි පාසලේදීත් තම යෙහෙළියන්ගේ ආදරයට පාත්‍ර වී තිබිණි. ක්‍රීඩා උත්සවයට තම ජංගම දුරකථනය රැගෙන යැම පංති තහනමකට ලක්‌වීමට හෝ පාසලෙන් අස්‌වීයාමට හේතුවක්‌ වේ යෑයි ඇය මොහොතකටවත් නොසිතන්නට ඇත. 

ඇය අතින් සිදුවූ වැරැද්දට තම මව සමග පාසලට ගොස්‌ විදුහල්පතිනියගෙන් සමාව ගන්න තරම් මහේෂි කාරුණික වී තිබිණි. ඇයගේ කාරුණික ආයාචනයට විදුහල්පතිවරිය සවන් දුන්නේ නම් මහේෂි මරු තුළට නොයන බව කාගේත් විශ්වාසයයි. මහේෂිගේ අවසන් කටයුතු අද (18 වැනිදා) ආඬිඅම්බලම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මිනුවන්ගොඩ නාලන්දා සිසුවියගේ මරණය
විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්


සියදිවි හානි කරගත් මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ නිශාදි මහේෂිකා ජයරත්න ශිෂ්‍යාවගේ මරණය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටින්නීය.

මහේෂිකා ජයරත්න සිසුවියගේ ජීවිතය අකාලයේ මිලිනව ගිය නමුත්, මේ සිද්ධියට සම්බන්ධ විද්‍යාලයේ විදුහල්පතිනියගේ පරිපාලන ක්‍රියාදාමය පිළිබඳ  සෑහීමකට පත්විය නොහැකි බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර සිටින්නී ය. ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

ජංගම දුරකථන පාසලට රැගෙන යෑම මම ද අනුමත නොකරමි. එහෙත් මෙම විද්‍යාලයේ දී ඒ පිළිබඳ විදුහල්පතිනිය කටයුතු කළ ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකිය. ඇය කටයුතු කළ යුතුව තිබුනේ මානුෂීය ආකාරයෙනි. ක්‍රීඩා තරග පවත්වා ඇත්තේද පාසලෙන් බැහැර ස්ථානයකදී ය. ශිෂ්‍යාවට දඬුවමක් කළ යුතුව තිබුනේ නම් එය අධ්‍යාපන පරිපාලන නීති රීතිවලට අනුකූලව සිදුකළ යුතුව තිබුණි.

දරුවා කිසියම් වරදක් කර ඇත්නම් ඇයව කිසියම් උපදේශනයකට ලක්කිරීම ඊට අදාළව කළ යුතුව තිබූ හොඳම ක්‍රියා මාර්ගය ලෙස මම දකිමි. එමෙන්ම විදුහල්පතිවරියක ලෙස මෙම වයසේ දරුවන් පිළිබඳ කටයුතු කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි. 


සිද්ධියේ පසුබිම කුමක් වුවද එය මෙරට දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරියක් ලෙසත්, මහජන නියෝජිතවරියක් ලෙසත්, ඊට වඩා මවක් ලෙසත් මම විශ්වාස කරමි. එහෙයින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී මීට වඩා වගකීමෙන් සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුව තිබේ.

ජනාධිපතිතුමනි, මේ සියලු කරුණු පිළිබඳ ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කර සිද්්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව කිසියම් පියවරක් ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙන්නේ නම් එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙන්ම දරු පරපුරේ අනාගතය උදෙසා ද ගනු ලබන සුවිශේෂ ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. 


එමෙන්ම යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා එම ක්‍රියාමාර්ග ඉවහල්වන බව නිසැකය. මේ පිළිබඳ ඔබතුමාගේ පෞද්ගලික හා විශේෂ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගනු ඇතැයි මම විශ්වාස කරමි. 

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කරලා.. 
 
Related Posts with Thumbnails