Ads 468x60px

.

"වවුචර්" ලබා දීම කාගෙ කාගෙත් රෙදි ගැලවීමක් නොවන්නට නම්...


පාසල් නිල ඇඳුම් සඳහා නොමිලයේ ලබාදෙන සුදු රෙදි වෙනුවට "වවුචර්" ලබා දීමට සූදානම් වනවා යෑයි කී කතාව මේ වනවිට රටේ විශාල අර්බුදයක්‌ ඇති කිරීමට හේතුවී තිබේ. 

අප කාටත් ඇති ප්‍රශ්නය වන්නේ එජාප රජයක්‌ විසින්ම ආරම්භ කරන ලද ජනහිතකාමී ව්‍යාපෘතියක්‌ එජාප රජයක්‌ විසින්ම අහෝසි කරන්නට සැලසුම් කරන්නේ ඇයි දැයි යන්නය. පසුගිය ආණ්‌ඩුව විසින් එය සිදු
කළේ නම් අඩුම වශයෙන් කාටත් හිත හදාගන්නට පිළිවන්කම තිබිණ.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීම ආරම්භ කරන්නේ 1993 වර්ෂයේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවය. නොමිලේ නිල ඇඳුම් බෙදාදීමේ ව්‍යාපෘතිය යම් වෙනසකට ලක්‌වූයේ 2002 වර්ෂයේදීය. 


එවක පටන් රෙදි බෙදා දීම ක්‍රමය වෙනුවට කූපන් ලබාදීමේ ක්‍රමයක්‌ ආරම්භ කෙරිණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීවරුන්ගෙන් එම කූපන් ලබා ගැනීමේ ක්‍රමය ගැටලු මතු කරන තත්ත්වයක්‌ ඇති කළ බැවින් නැවතත් රෙදි බෙදාදීමේ ක්‍රමයම ආරම්භ කෙරිණි.

දැන් මේ ආරම්භ කිරීමට නියමිත "වවුචර්" ක්‍රමයේ ඇති හොඳ නරක පිළිබඳව අධ්‍යයනය කිරීමට 2002 සාධකයම යොදා ගන්නා මෙන් අපි අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කර සිටිමු.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා සහ රජය මේ තීරණය ගැනීමට හේතුවී ඇත්තේ රෙදි බෙදාදීමේදී ඇතිව තිබෙන අර්බුද කිහිපයක්‌ නිසා බව කියති. එනම් රෙදිවල ඇති තත්ත්වය පිරිහීම, නියමිත කාලවල රෙදි නොලැබීම, ගබඩා සහ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් මතුවන ගැටලු ඒ අතර වන බවය.

අප විශ්වාස කරන්නේ මේ කිසිවක්‌ විසදාගැනීමට නොහැකි ගැටලු නොවන බවය. මේ කරුණු කියන්නට දෙයක්‌ නැති තැන කියන කතා හැටියට සැළකීම ගැන වරදවා වටහා ගත යුතු නැත. ගුණාත්මක බවින්. තත්ත්වයෙන් ඉහළ

රෙදිපිළි නිෂ්පාදනයට හෝ ගෙන්වීමට තරම් හැකියාවක්‌ නැතැයි කීම විශ්වාස කළ හැක්‌කක්‌ද? නියමිත කාලයට රෙදිපිළි නොලැබීම හා ගබඩා කිරීම ප්‍රවාහනය ආදී කාරණා ද ගැටලු නොවන බව කිව යුතුය. මේ සියල්ලන්ගෙන්ම හෙළිවන්නේ අර්බුදය ඇත්තේ ගැටලුව ඇත්තේ මේ ව්‍යාපෘති භාරව සිටින වගකිවයුතු නිලධාරීන්ට බවය. 


ඔවුන්ගේ අකාර්යක්‍ෂමභාවය, උදාසීන බව, තකතීරු බව මිස වෙනත් කිසිදු අර්බුදයක්‌ අපට පෙනෙන්නේ නැත. අපට පෙනෙන්නේ 93 සිට මේ දක්‌වා මේ ව්‍යාපෘතිය ආණ්‌ඩු තුනක්‌ විසින්ම ගෙන ගොස්‌ ඇත්තේ "මැර ප්‍රශ්න" ගොඩක්‌ මැද බවය.

නියමිත දිනට රෙදිපිළි නොලැබේ යෑයි කියන අයම මේ වනවිටත් නිල ඇඳුම් රෙදි මීටර මිලියන දෙකක්‌ පමණ අමාත්‍යාංශ ගබඩාවල ගොඩ ගසා ඇතැයි කියති. රෙදි නැතැයි, ගබඩා කිරීමේ පහසුකම් නැතැයි කියන අය මේ ගැන දෙන උත්තරය කුමක්‌ද?

මේ වවුචර් ලබාදීමේ තීරණයට හේතු වූ තවත් කාරණයක්‌ පිළිබඳව ද ඇමැතිවරයා පැහැදිලි කිරීමක්‌ කරයි. එනම් පසුගිය ආණ්‌ඩු සමයේ ප්‍රමිතියෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් අවභාවිතාවක්‌ සිදුව ඇති බවයි. 


අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරන පරිදි පසුගිය වර්ෂයේ පාසල් නිල ඇඳුම් රෙදි සඳහා වැය කර ඇති මුදලින් රුපියල් මිලියන දාහක්‌ ව්‍යාපාරිකයන් හා අතරමැදි කොමිස්‌කරුවන්ට බෙදී ගොස්‌ තිබේ.

මෙවැනි කොමිස්‌ ගැහිලිවලින් තොරව ව්‍යාපෘති කළ ආණ්‌ඩුවක්‌ තිබුණේ යෑයි විශ්වාස කළ නොහැක්‌කකි. එතරම් සද්භාවයෙන් කටයුතු කිරීමට යම් ආණ්‌ඩුවක්‌ (මේ ආණ්‌ඩුව) ඉදිරිපත් වන්නේ නම් කළ යුත්තේ විනිවිදභාවයකින් යුතුව ඒ ව්‍යාපෘති කෙරෙන ආකාරයට සැලසුම් කිරීම මිස 'වවුචර්වලට' හරවා වැඩ අවුල් කිරීම නොවන බව අපි කියමු.

රෙදි ලබාදීමට අදාළ ක්‍රමවේදයන් මාරු කිරීමේ උත්සාහය ඒ ව්‍යාපෘති කප්පාදු කිරීමට දැයි ගුරු සංගම් ප්‍රශ්න කිරීම සාධාරණය. අධ්‍යාපනය සම්බන්ධයෙන් අටෝරාශියක්‌ ගැටලු, අර්බුද තිබියදී රෙද්දක්‌ අල්ලාගෙන දැඟලීම හාස්‍යජනකය.

පසුගිය ආණ්‌ඩුවක වැරදි කියමින් මේ කාරණා සාධාරණීකරණය කිරීම ද එතරම් යුක්‌ති සහගත නැත. පසුගිය ආණ්‌ඩුව මගින් වසර මැදදී පවා දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට රෙදිපිළි පමණක්‌ නොව පාවහන් පවා ලබාදීම ආරම්භ කළ බව අමතක කිරීමට තරම් ගුණමකු විය යුතු නැත. මේ වසරේ තවමත් එය ක්‍රියාත්මක වූයේද නැත.

කලකට පෙර සිසු සිසුවියන්ට දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය එක්‌වරම නතර වූයේ මෙවැනි "ක්‍රම" මාරු කිරීමේ සැලසුම් ගණනාවකට පසුවය. පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටද එම ඉරණම ම අත්නොවේවායි පතමු.
 
Related Posts with Thumbnails