Ads 468x60px

.

බත් නුබුදින තණකොළ බුදින අය...


පොහොර ප්‍රශ්නයට ජනපතිවරයාත් අගමැතිවරයාත් සෘජුවම මැදිහත් වන බව ඊයේ වාර්තා වී තිබිණි. එමෙන්ම පොහොර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට පිළියම් යෙදීම සඳහා ගත යුතු පියවර සම්බන්ධ යෙන් විශේෂ සාකච්ඡාවක්‌ ද ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේ හෝ මෑත කාලයේ වී සම්බන්ධයෙන් ද , පොහොර සම්බන්ධ යෙන් ද ප්‍රශ්න ගණනාවක්‌ පැනනැඟුණු බව අමුතුවෙන් කිව යුතු නැත. ජනපතිවරයාත් ඇමැතිවරයාත් මැදිහත්වන තරමටම ප්‍රශ්නය උග්‍ර වී

ඇතැයි යන්නෙන් අදහස්‌ වන්නේ වගකිවයුතු බලධාරීන්ට ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ නැති බවය. 

නොඑසේනම් මේ ප්‍රශ්නය හරිහැටි කළමනාකරණය කර ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක්‌ ද ඒ කිසිවකුටත් නැති බවය.

පසුගිය දිනවල රජරට ගොවීන් මහමඟට බැස්‌සේ ද බලධාරීන් "අනාගත්" ප්‍රශ්නයක්‌ නිරාකරණය කරගනු පිණිසය. ඒ, රජය මගින් මෙතෙක්‌ ලබාදුන් පොහොර සහනාධාරය කපා දමා වෙනත් ක්‍රමයක්‌ හඳුන්වාදීමට ගත් තීරණයට විරෝධය දක්‌වනු පිණිසය. රජය මගින් වී ගොවීන්ටත්, වෙනත් භෝග වගා කරන ගොවීන්ටත් හඳුන්වාදීමට සූදානම් වන්නේ මුදල් වවුචරයකි. ඒ, රුපියල් 350 පොහොර සහනාධාරය වෙනුවටය.

අපේ අත්දැකීම් අනුව "වවුචර්" කතාවක්‌ ඇදුණු තැනින් ආණ්‌ඩුව ටිකක්‌ විතර පටලවා ගන්නා බව ස්‌ථිරය. මෙවර සිදුවී ඇත්තේ ද එයමය. ගොවීන් කියන්නේ "සල්ලි එපා - පොහොර දියව්" යන්නය. 


උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨයද එයමය. රජරටින් උද්ඝෝෂණයක හඬ ඇසුණ ද මෙය සමස්‌ත දිවයිනේම ගොවීන්ගේ හඬය. ගොවීන් මේ අලුත් ක්‍රමය ප්‍රතික්‍ෂේප කරන්නේ ආවාට ගියාට නොවේ. මෑත කාලයේ ගෙන එන ලද අලුත් ක්‍රමවල ඇති තකතීරු බව ගැන සහසුද්දෙන්ම දැනගෙන සිටින නිසාය. 

ඔවුන් ඊට ගෙන එන තර්කය අතිශය සාධාරණය. මෙතෙක්‌ පැවැති පොහොර සහනාධාරය වෙනුවට මුදල් වවුචරයක්‌ ලබාදුන් විට ගොවීන්ට සිදුවන්නේ වෙළෙඳපොළේ පවතින මිලකට පොහොර මිලදී ගැනීමටය. 

ඔවුන් කියන පරිදි වෙළෙඳපොළේ ඇති පොහොරවල මිල ගණන් ගැන නිශ්චිත දැනුවත් කිරීමක්‌ද නැත. යූරියා හොණ්‌ඩරයක්‌ රුපියල් 3500 - 4000 ක්‌ වේ යෑයි (ලැබෙන ආරංචි මාර්ග අනුව යූරියා හොණ්‌ඩරයක මිල එපමණ වේ යෑයි ගොවීහු කියති) ගණන් බැලුවහොත් ආණ්‌ඩුවෙන් ඊට සාපේක්‍ෂ හෝ ඉහළ මුදලක්‌ වවුචරය මගින් ලබාදිය යුතුය. 

එන යකාට වඩා ඉන්න යකා හොඳ බව ගොවීන් කියන්නේ එහෙයිනි. අවම වශයෙන් දීමට නියමිත මුදල් වවුචරයේ වටිනාකමත්, පවතින පොහාර මිල පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමත් කිරීමෙන් පසු ඊට අදාළ නිශ්චිත සැලසුමක්‌ සකස්‌ කිරීමේ කටයුතු පසෙක ලා මෙවැනි ක්‍රියාමාර්ගයකට යැම බලධාරීන් කරන විශාල වරදක්‌ බව ඕනෑම කෙනකුට අවබෝධ වන කාරණයකි. මුදල් වවුචරය ගැනීමේ ක්‍රියාවලියද ලෙහෙසි පහසු දෙයක්‌ නොවන බව ගොවි සංවිධානවල මතයයි.

ඉල්ලුම් පත්‍ර පිරවීම, ඡායාරූප ඇමිණීම, අලුතෙන් බැංකු ගිණුම් ආරම්භ කිරීම මේ ආදී වශයෙන් කුඹුරත්, හේනත් සමග ඔට්‌ටුවන ගොවීන්ට කරදරකාරී පියවර ගණනාවක්‌ එම ක්‍රියාවලිය තුළ වේ. 


එමෙන්ම මේ සම්පූර්ණ කළ යුතු ඉල්ලුම් පතෙහි අක්‌කරයකට හෝ බුසලයකට ලැබෙන පොහොර ප්‍රමාණය එහි සඳහන්ව නැති බව ගොවීහු කියති. ඒ සියලු කරුණු පසෙක තිබියේවා, විශාල ප්‍රශ්නයක්‌ වන්නේ අඳ, බදු සහ උකස්‌ ආදී වශයෙන් වගාවන්හි යෙදෙන ගොවීන්ට මේ වවුචර ක්‍රමය යටතේ සිදුවන්නේ කුමක්‌ද යන්නය. 

එවැනි පිරිසකට පොහොර සඳහා මුදල් ලබාදෙන්නේ කවරාකාරයකට දැයි යන්න ගැන කිසිදු නිශ්චිත සඳහනක්‌ ද නැත.

රටට බත සපයන මිනිසා පිළිබඳව පසුගිය කාලය පුරාම නිවැරැදි තක්‌සේරුවකට පැමිණෙන්නට ආණ්‌ඩුවට හැකියාව ලැබී නැති බව කරුණු කාරණා යෙදෙන ආකාරයෙන්ම පැහැදිලිය. 


තම නිෂ්පාදනවලට නිසි මිලක්‌ නොලැබීම, කෘෂිකාර්මික යෙදවුම්වල මිල ඉහළ යැම, ගොවිතැන වෙනුවෙන් අධික මුදලක්‌ දැරීමට සිදුවීම යන කාරණා නිසා ගොවි ජනතාව සිටින්නේ දැඩි පීඩනයකින් බව කිව යුතුය. 

යන්තම් හෝ ඔවුන්ට සහනයක්‌ ලැබුණේ පොහොර සහනාධාරයෙන් පමණකි. ඒ ලැබෙන සොච්චමට ද කටුව ගසන්නට හදන කවර බලධාරියකු හෝ වේවා බත් නුබුදින තණකොළ බුදින අයම බව කිව යුතුය.
 
Related Posts with Thumbnails