සිය පෙම්වතා හමුවීමට යැම සඳහා ත්‍රිරෝද රථයකට නැඟුණු තරුණියක පැහැරගෙන ගොස් කඩුවෙල - කොතලාවල අධිවේගී මාර්ගයේදී අතවර කළේ යෑයි කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලිසිය සමත් වී තිබේ.
18 හැවිරිදි මෙම තරුණිය සිය පෙම්වතා සමඟ දුරකතනයෙන් කතාබහ කරමින් සිටියදී බහින්බස්‌වී ඇත. පසුව ඇය පෙම්වතා හමුවීම සඳහා රාත්‍රියේම නවගමුවේ පිහිටි තාවකාලික නවාතැන්පළේ සිට පාරට පැමිණ ත්‍රිරෝද රථයක් නතර කොට ඊට ගොඩවී තිබේ. ත්‍රිරෝද රිය කඩුවෙල දෙසට ටික දුරක් ගොස් නැවත මාලබේ දෙසට හරවා අධිවේගී මාර්ගය දෙසට ගමන් කර තිබේ.
එයින් තැති ගැනීමට පත් තරුණිය ත්‍රිරෝද රථයෙන් එළියට පැන පිරිසෙන් ගැලවී දුවන්නට උත්සාහ දරා ඇතත් සැකකරුවන් ඇයට පොල්ලකින් පහරදී පැය හතරකට ආසන්න කාලයක් දස වධ දී කෙළෙසා ඇතැයි පොලිසිය සිදුකරන ලද පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.
මෙම සිද්ධිය අතරතුරදී තරුණියගේ පෙම්වතා විසින් දෙන ලද ඇමතුමකට තරුණිය ඇයට සිදුවන දේ ප්‍රකාශ කර ඇති අතර, ඔහු තවත් කිහිපදෙනෙකු සමඟ එම ස්‌ථානයට යතුරුපැදිවලින් පැමිණියද ඔවුන්ට පහරදී සැකකරුවන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
අතවරයට පත් තරුණිය දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තරුණිය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිසිය පවසයි.
මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‌ෂණය යටතේ නවගමුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‌ෂක එම්. එල්. මහගෙදර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.