Ads 468x60px

.

ගඳ ගසනම වැඩේ ගඳ තමන්ට දැනෙන්නේ නැත්තේ ඇයි..?


කුරුණෑගල කුඹුක්‌ගැටේ ප්‍රදේශයේදී "අලුත් පරපුර" සංවිධානයේ කලා කරුවන් පිරිසකට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් වයඹ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වන දොන් කමල් ඉන්දික පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ජනවාරි 06 දක්‌වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව ඊයේ බොහෝ පුවත්පත් වාර්තා කර තිබුණා.

සිද්ධිය නැවතත් අපේ පාඨකයන්ට මතක්‌ කර දිය හැක්‌කේ මෙලෙසිනි.


"අලුත් පරපුර" සංවිධානයේ කලාකරුවන් පිරිස කුරුණෑගල කුඹුක්‌ගැටේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට කඩා පැන ඇති අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රමුඛ සියයක පමණ
පිරිසක්‌ කලාකරුවන්ට ප්‍රහාරයක්‌ එල්ල කර තිබුණා

ඒ ගල්මුල් ප්‍රහාරයක්‌ද සමගිනි. ප්‍රහාරය එල්ල වූ පිරිසට කුරුණෑගලට යැමට පවා ඉඩ නොදී මේ පිරිස ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරී තිබෙන බව කියෑවේ. මෙවැනි ප්‍රහාරයකින් පසු අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රහාරයට සම්බන්ධ යෑයි සැක කෙරෙන දේශපාලනඥයා "අත්අඩංගුවට" ගැනීම ප්‍රමාද වීමය. ඊට නොයෙකුත් හේතු තිබේ. 

ප්‍රහාරයට පසු ඔහු ආගිය අතක්‌ නොමැති වීම ප්‍රධාන හේතුව ලෙස සැලකේ. පොලිසිය එවැන්නකු සොයා මෙහෙයුම් කරන විට පුවත්පත් සාකච්ඡා, රූපවාහිනි නාලිකා "වොයිස්‌ කට්‌" මගින් ඔහු නිතර ජනතාව ඉදිරියේ පෙනී සිටී.

කණ ළඟින් ගියද පොලිසියට මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවේ. මේ පෙළගැස්‌ම මෙසේම තිබියදී "දොන් ඉන්දික" ගොකරැල්ල පොලිසියටම විත් බාර වෙන්නේ පොලිසිය ගැන අනුකම්පාවෙන්ම බව පැහැදිලිය. එසේ නැතහොත් එය පොලිස්‌ දෙපාර්තමේන්තුවටම කැළලකි. 


ජනතා හිතවාදී දේශපාලනඥයකු ලෙස දොන් ඉන්දික එවැනි පියවරකට ගොස්‌ ඇත. කලාකරුවන්ගේ හතර හන්දි කඩන්නට උත්සාහ කළ නමුත් පොලිසිය සම්බන්ධයෙන් ඒ න්‍යාය නොගැලපෙන බව රටේ බොහෝ දේශපාලනඥයන් දන්නා කරුණකි. එවැනි නොදන්නා දේශපාලනඥයන් අතලොස්‌සක්‌ හෝ සිටින බව අමතක කළ යුතු නැත.

වඳුරඹ පොලිසියේ ඕ. අයි. සී. තැන ඉල්ලා අස්‌වන්නේ එවැනි දුරදිග නොබලා කටයුතු කළ දේශපාලුවකු නිසාය.

දැන් "දොන් ඉන්දික" රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු වේ. එහෙත් මේ සිදුවීම් මාලාවම අපිට හිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇති බව නම් සැබෑය. මේ පහරදීමට සම්බන්ධ වූ පිරිස සේම මේ ප්‍රහාරාත්මක දේශපාලනයට ගෑවී සිටින සියලුම දේශපාලන වනචාරීන් අප සලකන්නේ ලයිසන් චණ්‌ඩි හැටියටය. ලයිසන් එක ලැබෙන්නේ ලිඛිතව නොවුණද එය ඊටත් වඩා බලාත්මක කරන ලද ලයිසන් එකකි.

ශිෂ්ටාචාරය නොදියුණු යුගයක වනචාරීන් හා ගෝත්‍ර අතර ම්ලේච්ඡ හැසිරීම් වලදීද නොදැනුවත්වම භාවිත කර ඇත්තේ මෙවැනි ලයිසන්ය. ඒ වනචාරී ගති ඉස්‌මතු වූ විට තමන් කරනු ලබන ගඳ ගසනම වැඩේ ගඳ තමන්ට දැනෙන්නේ නැත.

කලාකරුවන්ට එලෙස ප්‍රහාර එල්ල වූ දිනයේම මෙරටට සුපිරි බොලිවුඩ් තාරකාවන් වන සල්මන් ඛාන් හා ජැකොලයින් ෆර්ඩිනැඩ්ස්‌ පැමිණියහ. ඔවුන්ට පිරිනමන ලද සත්කාරමය පිළිගැනීම හා කලාකරුවන්ට පහරදුන් පසු රටේ වගකිවයුතු පිරිස හැසිරුණු අයුරු කමකට නැත. පහරදීමෙන් පසු අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් කර තිබියදීත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට දින තුනක්‌ පමණ කාලයක්‌ ගත කරන්නේ එහෙයිනි.

ප්‍රශ්නය එය නොවේ. මෙවැනි පාදඩ දේශපාලනඥයන් මට්‌ටු කිරීමේ වැඩපිළිවෙලක්‌ තවමත් නීතිය හා සාමය රකින අයට හෝ වගකිවයුතු පාර්ශ්වයන්ට නොමැති වීමය. සමහර සිදුවීම්වලදී බොහෝ විට අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වසා දැමීමේ න්‍යායෙන් කටයුතු කිරීමත්, සැකකරු ආගිය අතක්‌ නැතිවන්නෙත් ඒ නිසාය. 


බොහෝ විට සැකකරුවා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් නමුදු ඉන් පසු සිදුවන දේ ගැන රටේ ජනතාව තුළ විශ්වාසයක්‌ ජනිත වන්නේ නැත. එවැනි බොහෝ දේ ජනතාව දකින්නේ නාටකීය ස්‌වරූපයෙනි. එවැනි ගැටවලට අපි හසුවන්නේ නැතැයි ජනතාව කියන්නේ එහෙයිනි.

කුඹුක්‌ගැටේ සිද්ධිය පවා "අමුතු ගැටයක්‌" නොවන්නට වගබලා ගතයුතු වන්නේ එහෙයිනි. මන්ද එවැනි වැරදි තීරණයකදී බොහෝ දේ වෙනස්‌ විය හැකි බැවිනි.
 
Related Posts with Thumbnails