Ads 468x60px

.

දෝර ගලා යන දරු සෙනෙහස හමුවේ බිලිඳියගේ ජීවිතය බේරෙයි

උප්පැන්න සහතිකය වෙනුවට ඇයට ලැබි තිබුණේ මරණ සහතිකයක්...

උපන් ගෙයිම මිය ගිය බිලිඳුන් ගැන අපි නොයෙක් විට අසා ඇත්තෙමු. එහෙත් උපන් ගෙයිම මියගිය බව කියූ බිලිඳෙකු පණ පිටින් සිටින පුවතක් ගැන ඔබ අසා තිබේද?

මේ අසාමාන්‍ය සිද්ධිය වාර්තා වන්නේ ආර්ජන්ටිනාවෙනි. ආර්ජන්ටිනාවේ වෙසෙන  ෆැබියොන් වෙරෝන්ට දාව ඇනාලියා බොග්නට් බිලිඳියක බිහි කළද ඇය උපන් ගෙයිම මිය ගොස් ඇති බව වෛද්‍ය නිගමනය විය. 


තම පස්වන දරුවා ලෙස ඇනාලියා මේ බිලිඳිය බිහි කළේ දරු ප්‍රසූතිය සිදුවීමට තිබූ දින වකවානුවලට පෙරදීය. කෙසේ හෝ මෙලොව උපත ලැබූ මේ බිලිඳිය උපන් ගෙයිම මළ බව රෝහල් කාර්ය මණ්ඩලයේ තීරණය විය.

ඒ අනුව එම බිලිඳිය රෝහල් මෘත ශරීරාගාරයේ (මෝචරිය) වෙත යැවිණි. එහෙත් දෝර ගලා යන දරු සෙනෙහස  හමුවේ තම අලුත උපන් දියණියගේ වෙන්ව යාම ෆැබියොන්ට හා ඇනාලියාට ඉවසුම් නොදුනි. ඒ නිසාම තවත් එක්වරක් තම දරුවා බැලීමේ උවමනාවක් ඔවුන්ට විය. තම සෙවනින් වෙන්ව ගිය දියණිය සදා මතකයේ තබා ගැනීම සඳහා අවසන් වතාවට ඇයගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අවශ්‍යතාවද ඔවුන්ට තිබිණි.



ඒ අනුව එම බිලිඳාගේ දේහය තැන්පත් කර තිබූ රෝහල් මෘත ශරීරාගාරය වෙත ගිය දෙමාපිය යුවළට අත්දකින්නට ලැබුණේ විස්මිත වූවකි. රෝහල් සේවකයෙකු  විසින් බිලිඳු සිරුර  බහා තිබූ බඳුන විවෘත කරද්දී අඬන ශබ්දයක් ඔවුන්ට ඇසී තිබේ. බිලිඳියගේ මව විසින් ඇයගේ මුහුණ වසා තිබූ ආවරණය ඉවත් කළ විට හඬමින් තමන් ඉදිරියේ පණ පිටින් සිටින දියණිය මේ දෙමාපිය යුවළට දැකගත හැකි විය.

ඒ වනවිට රෝහල් කාර්ය මණ්ඩලය විසින් බිලිඳිය මියගොස් ඇති බවට ප්‍රකාශයට පත් කර පැය දොළහක් ගතව තිබිණි. ඒ අනුව උප්පැන්න සහතිකය වෙනුවට ඇයට ලැබි තිබුණේ මරණ සහතිකයකි. මේ වනවිට එම බිලිඳිය අසාධ්‍ය මට්ටමක පසු වුවද ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කියැවේ. 

මේ විස්මිත අත්දැකීමට මුහුණ දුන් ඒ බිලිඳියට ‘ ආශ්චර්යමත් ආලෝකය’  යන අරුත ඇති ‘LUZ Milagros’  යන නම තබා තිබේ. බිලිඳිය මියගොස් ඇති බවට ප්‍රකාශයට පත් කළ වෛද්‍ය කණ්ඩායමේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව බිලිඳියගේ මව කියා සිටියාය.
 
Related Posts with Thumbnails