Ads 468x60px

.

මට “ෂොක් එකක්” වැදුණා ඒ කතාව අහලා – ඇන්ජලා

“මගේ රැකියාව නැවත ලබාදෙන්න දෙවියනේ”...

මේ සිද්ධියට ඔබගේ නම ඈඳුනේ කොහොමද?
මට ආරංචි වුණ විදිහද? නැත්නම් මට සිද්ද වුණ කරදරයද?

ඔබට දැන ගන්නට ලැබුණ විදිහ

ඉංග්‍රීසි පුවත්පතකින් මට කතා කරල ඇහුවා මේ ගැන මොනවද  කියන්න තියෙන්නේ කියලා. අප්‍රේල් 19 වැනිදා මට කතා කළේ. මට “ෂොක් එකක්” වැදුණා ඒ කතාව අහලා.


අවුරුදු දහයක් වෙනවා ඔබ මෙම නිවසින් පිට වී ගිහින්. ඒ කාලෙදි ඔබගෙ නමට ඒ නිවසට ලියුම් ඇවිත් තිබෙනවද?

මම යනකොට කොල්ලුපිටිය තැපැල්හලට ලබා දුන්නා මගේ අලුත් ලිපිනය. පරණ ලිපිනයට එන ලිපි හරවා එවන්න. අවාසනාවට මට මතක  නැහැ එවැනි ලිපි ආවද කියලා. මොකද? මට ඉතා අත්‍යවශ්‍ය බැංකු රක්ෂණ. ආදී ලිපි එවන ආයතන එක්ක  මම කතා කරලා අලුත් ලිපිනය ඔවුන්ට ලබා දුන්නා. 

රසිකයන්ගේ ලිපි, සඟරා, විදෙස් ලිපි ආදිය පසුගිය අවුරුදු දහයක කාලයේදී මට ලැබුණා. නමුත් ඒවා අතර කොල්ලුපිටිය තැපැල්හලින්  හරවා එවූ ලිපි තිබුණද කියලා විශේෂ මතකයක් නැහැ. නමුත් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී මට දැන ගන්න ලැබුණා මීට පෙරත් මගේ නමට පරණ ලිපිනයට පාර්සල් ලැබි තිබෙන බවත්, ඒවා මහ තැපැල්හලින් නිදහස් කරගෙන තිබෙන බවත්.

ඒ කියන්නේ පරණ ලිපිනයට ඔබගේ නමින් ලිපි සහ පාර්සල් ලැබි තිබෙනවා.

ඔව් නමුත් මේක අභිරහසක්. දැන් මේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ ස්විස් තානාපතිතුමාගේ උසස් නිලධාරිනියක්. ඒ නිලධාරිනිය  හොඳ හැටි දන්නවා මම සෞදි තානාපති කාර්යාලයේ වැඩ කරන බව. එහෙම නම් ඇයි එයා මට දැන්නුවේ නැත්තේ.

“ඇන්ජලා මම දැන් ඉන්නේ ඔයා කලින් හිටපු ගෙදර. තාම ඔය නමට ලියුම් එනවා. මං ඒවට මොනවද කළ යුත්තේ? ගෙනත් දෙන්නද? නැත්නම් ඔයා ඇවිත් ගන්නවද?” කියලා. එහෙම නේද සාමාන්‍යයෙන් වෙන්නේ. ඇයි එයා මට ඒ බව කිව්වේ නැත්තේ.

මේ නිලධාරිනිය ඔබත් සමග හොඳට කතාබහ කරන මිතුරියක්ද?

නැහැ නමුත් තානාපති කාර්යාලවල අපේ තනතුරු දරන උදවිය එකිනෙකා හඳුනනවා. නිල වශයෙන් අපි අනිත් නිලධාරීන්, ‍ලේකම්වරුන් ගැන දැනගත යුතුයි.

ඒ වගේ නිල මට්ටමින් ඔබ ඇයව දන්නවා. ඇය ඔබව දන්නවා
ඔව්

නමුත් එයා ඔබේ නමට ලැබෙන ලියුම් පාර්සල් ගැන කිසිවක් කිව්වේ නැහැ 

කවමදාකවත් එයා මට කියලා නැහැ. මම දන්නෙ නැහැ එයා කොපමණ කාලයක පටන් මේ ගෙදර ඉන්නවද කියලා. නමුත් මට කිසිම දෙයක් කියලා නැහැ. නමුත් ‍පොලිස් මත්ද්‍රව්‍ය   නාශක කාර්යාලයෙන් මට කිව්වා පසුගිය කාලයේ මගේ නමට මේ නිවසට ලිපි හා පාර්සල්  ලැබි තිබෙන බව.

ඒ කියන්නේ මේ නිලධාරිනිය මෙම නිවසේ පදිංචි වී සිටියදී ඔබේ නමින් ලිපි, පාර්සල් ලැබි තිබෙනවා?
ඔව්

එහෙම නම් පැහැදිලියි ඒ ලිපි පාර්සල් අතුරුදන් බව

අතුරුදන් ‍නෙවෙයි. ඒවා ඒ අය භාර ගෙන තිබෙනවා ලියුම් කාරයගෙන්. ඇයි  භාර ගත්තේ ඇන්ජලා සෙනෙවිරත්න නමට තිබෙන ලිපි හෝ පාර්සල් මගේ ගෙදරට වෙනින් කෙනෙකුගේ නමින් එන ලිපි භාර ගත්තොත් ඒක වරදක්.

එයාගේ ගෙදරට ඔයා නමට ලිපි ආවේ කොහොමද. කොල්ලුපිටිය තැපැල්හලට ඔබගේ අලුත් ලිපිනය ලබා දී තිබියදී?

මට හොඳටම විශ්වාසයි. ලිපියක් මගින් මම මගේ නව ලිපිනය කොල්ලුපිටිය තැපැල්හලට ලබා දුන් බව. නමුත් ඔය වගේ මගහැරීම් වෙනවනේ ඔය වගේ කාර්යාලවලින්. එහෙම වෙන්න ඇතියි කියලා මම හිතනවා. ඒක කොහොම වුණාද මන්දා.

ඒ කියන්නේ එතැනත් ‍පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම නේද? මේකෙන්  හෙළිවෙන්නේ ගැටලුවක් තිබෙන බව නේද?
ඔව් ඇන්ජලා, එතනදී පැහැදිලි වෙනවා. ඔයා අලුත් නිවසට යද්දී කොල්ලිපිටිය තැපැල් හලට කියා තිබෙනවා. ඔයාට එන ලිපි අලුත් ලිපිනයට එවන්න කියලා.
අන්න හරි

නමුත් ඒ ලිපි අලුත් ලිපිනයට ඇවිත් නැහැ. එහෙමද?

නෑ …. නෑ … එහෙම කියන්නත් බැහැ. මොකද මට කොහෙත්ම මතකයක් නැහැ ලිපින මාරු කළ ලිපි මට ලැබුණද නැද්ද කියලා. වැදගත් ලිපි සියල්ල මට ගතවූ අවුරුදු දහයේදී ලැබුණා. නමුත් පරණ ලිපිනයට එවපු ලිපි මට හරවා එවුවාද කියන්න මතක නැහැ.

මේ මත්ද්‍රව්‍ය සිද්ධියට අදාළව ලැබුණැයි කියන සඟරා මොන වර්ගයේ ඒවාද?
ඒක මම දන්නේ නැහැ.

ඔයා මහ තැපැල් කන්තෝරුවෙන් විමසා බැලුවද පසුගිය අවුරුදු දහයේදී ඔබේ නමට ලිපි, පාර්සල් ආදිය ලැබි තිබෙනවද? ඒවා පරණ ලිපිනයට බෙදාහැරියද කියලා?

නැහැ නමුත් ‍පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය  මට පැවසුවා මෙවැනි පාර්සල් මගේ නමට මීට පෙරත් ලැබි තිබෙන බව. ඒ බව මම දැන සිටියද කියලයි ඔවුන් ඇසුවේ. මම කිව්වා කිසිසේත්ම මම දන්නේ නෑ කියලා. ගත වූ අවුරුදු දහයේදී ඒ ලිපිනයට මගේ නමින් ලිපි ගිය බවක් හෝ ලිපි ලැබෙන බවක් මට දැනුම් දී නැති බවත් මම ප්‍රකාශ කළා.

මේ සිද්ධියත් සමග ඔබ මුහුණ දුන් ප්‍රධාන ගැටලු මොනවාද?

ඒ දින හතර තුළ මා ගැන විවිධ කතා පැතිරුණා. වසර එකොළහක් යෙදී සිටි මගේ රැකියාව මට අහිමි වුණා. ඒ රැකියාවට මම හරිම ආදරෙයි.  සිනමාවෙන්, ටෙලි නාට්‍යවලින් ඉවත් වෙලා බොහෝම වගකීමෙන්, පූර්ණ කාලීනවයි මම රැකියාවේ යෙදුණේ.

මේ සිද්ධියේදී ඔබේ රංගන ජීවිතයේ මොන හිතවතුන්ද ඔබට කතා කරලා ශෝකය පළ කළේ
මාරියෝ ජයතුංග, සනෝජා බිබි‍ලේ, අනෝජා වීරසිංහ, ජයන්ත කැටගොඩ, කමල් අද්දරආරච්චි, කැලුම් විජේසූරිය, වැනි හිතවතුන් හිතවතියන් ඇතුළු තවත් අය කතා කළා.

ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ කුමක්ද?

මේ චෝදනාව මම දැන ගත්තේ කාර්යාලයෙ සිටියදී. ඒ මොහොතෙම මම දෙවියන් වහන්සේට මගේ ජීවිතය භාර කළා. මාව මේ චෝදනාවෙන් බේරා දෙන්න කියලා යාඥා කළා. 

සියයට සියයක් මම අහිංසකයි. ඒ යාඥවේ ප්‍රතිඵල  ලැබුණා දින තුනක් යද්දී. මම සම්පූර්ණයෙන් නිර්දෝෂියි කියලා ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මුළු රටටම ප්‍රකාශ කළා. එතුමා ජනමාධ්‍යයටත් ප්‍රකාශයක් නිකුත් කළා. ඒකට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා.  මම දෙවියන්ට දැන් යාඥා කරන්නේ මම ආදරය කරපු මගේ රැකියාව යළි ලබා දෙන්න කියලයි.

ඔබ මොන දේවස්ථානයටද ගියේ?
මම යන්නේ ශාන්ත මයිකල් දේවස්ථානයට. එය තිබෙන්නේ කොළඹ 03. ‍පොල්වත්තේ.

මේ වගේ සිද්ධි අසන ජනතාව ඔබලා වැනි ප්‍රසිද්ධ අය දිහා බලන්නේ සැකයෙන්. ඔබලාගේ නම කැත වෙනවා මෙවැනි සිද්ධිවලදී. ඔබ කොහොමද යළිත් ඔබේ නම හදා ගන්නේ?
පොලිසියෙන්, ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ප්‍රකාශ වුණා මම මෙයට සම්බන්ධ නැහැ කියලා. විද්‍යුත් සහ ඇතැම් මුද්‍රිත මාධ්‍යයන් මගේ නිර්දෝෂි බව අනාවරණය කළා. ඉතින් මම හිතනවා මගේ  ආදරණීය ප්‍රේක්ෂකයන් විශ්වාස කරනවා මගේ නිර්දෝෂී බව. 

බොහෝ දෙනා කල්පනා කළා මම මේ වගේ දෙයකට  පැටලැවේවිද කියලා. නමුත් අද කා‍ලේ මේ වගේ චෝදනා ඕනෑම කෙනෙකුට එන්න පුළුවනි. මගේ ප්‍රේක්ෂකයින් හරිම  බුද්ධිමත්.

අවසානයේ ඇන්ජලා සෙනෙවිරත්න මෙම සිද්ධියට සම්බන්ධ නැතැයි වගකිව යුතු අංශ ප්‍රකාශ කරන විට සියල්ල සිදු වී හමාරය. ඇන්ජිලා රැකියාව කරමින් සිටි තානාපති කාර්යාලයේ රැකියාවද ඇයට අහිමි විය. චෝදනා එල්ල වී සැක කටයුතු තැනැත්තියක් වශයෙන් ඇගේ නම දරුණු මඩ පහරකට ලක්විය.

මෙම අවස්ථාවේදී ඇන්ජලා සෙනෙවිරත්නගෙන් සිද්ධිය පිළිබඳ සත්‍ය තතත්වය විමසා සිටින්නට රටේ සියලුම ජනමාධ්‍ය දැරුවේ සුළුපටු උත්සාහයක් නොවේ. එහෙත් ජනමාධ්‍ය  එකකින් හෝ දෙකකින් ඇගේ ප්‍රකාශ රටට හෙළිදරව් කළ නමුත් මෙම අවස්ථාවේදී ස්වකීය ආරක්ෂාව පිණිස ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවක් පෙනේ. 

ඒ නිහඬ බව නිසා සත්‍ය යටගොස් කටකතා වේගයෙන් පැතිරී ගියේය. මෙබඳු අවස්ථාවක නිර්දෝෂි කවුරුත් ආරක්ෂා කරන්නට  ඉදිරියට පැමිණෙන ජනමාධ්‍ය අමතක කර දැමීම විශාල පාඩුවකි. ඒ පාඩුව මකා ගන්නට ඇන්ජලා සෙනෙවිරත්නට තව සෑහෙන කාලයක් ගතවනු ඇත.
 
Related Posts with Thumbnails