Ads 468x60px

.

විනිසුරුවරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ...

නොබෝදා පැවති රගර් තරගයක් අතරතුර විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිතව දැනුම් දීමත් සමග රගර් විනිසුරුවරුන්ගේ ජීවිතවලට යම් අනතුරක් මතුවී ඇතැයි වාර්තා වේ. 

මැයි 5 වැනිදා ශ‍්‍රී ලංකා රගර් ෆුට්බෝල් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් ක‍්‍රීඩා සමාජය සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියෙහි නාවික හමුදාව සහ පොලීසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදුවී ඇත.

නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවුක පිලට ලබාගන්නට තිබූ ජයග‍්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති රෝහිත රාජපක්ෂ අදාළ තරග විනිසුරුවාට පහර දී ඇත. 


පහරකෑමට ලක්වී ඇත්තේ දක්ෂ විනිසුරුවකු වන දිමිත‍්‍ර ගුණසේකර මහතාය. කෙසේ වෙතත් අනෙක් විනිසුරුවන් මැදිහත් වී දිමිත‍්‍රි මහතා බේරා නොගන්නට ඔහු දරුණු ලෙස පහරකෑමට ලක්වන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

නරඹන්නන් දහස් ගණනක් අතර සිදුවූ මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උනන්දු වී ඇති නාවික හමුදා කණ්ඩායමේ නායක ජනපති දෙටුපුත් යෝෂිත රාජපක්ෂ ඒ මොහොතේදීම රෝහිත රාජපක්ෂට කම්මුල් පහරක් දී කැඳවාගෙන ගොස් ඇත. 


කෙසේ වෙතත් පහර කෑ විනිසුරු නියෝජනය කර ඇති අනෙක් විනිසුරන් එතැන් සිට ඉතිරි තරග විනිශ්චය කිරීමෙන් ඉවත් වී ඇත. මෙහිදී නැවතත් යෝෂිත රාජපක්ෂ මැදිහත් වී මෙය දිගින් දිගට ගෙන යායුතු තරම් ප‍්‍රශ්නයක් නොවන බැවින් ඉතිරි තරගවල විනිශ්චය කටයුතු කරන්නැයි ඉල්ලා ඇතැයි පැවසේ.

රෝහිත රාජපක්ෂගේ හැසිරීම තරගකරුවකුට නුසුදුසු වන බවත් විනිසුරුවකුට ශාරීරික හානි සිදුකිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී බැවින් අඩුම තරමින් ඔහු පැමිණ විනිසුරුගෙන් සමාව ගන්නේ නම් සලකා බලන බව තරග විනිශ්චයේ යෙදෙන විනිසුරන් දැනුම්දී ඇතත් රෝහිත රාජපක්ෂ සමාව ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. එහෙත් විවිධ බලපෑම් මත අවසානයේ පැයකට පමණ පසුව විනිසුරුවරුන්ට විනිශ්චයට බැසීමට සිදුවී ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් කොට සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් රගර් විනිසුරුවරුන්ගේ සංගමය ශ‍්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

ඒ පිළිබඳ රගර් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ඔවිල් ප‍්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ‘මෙවැනි සිද්ධි ඉදිරියට නොවීමට තරාතිරම නොබලා පියවර ගතයුතු බවත් එය එසේ නොවූව හොත් රගර් විනිසුරන් ඉදිරි තරගවලට එක්කර ගැනීමේදී විශ්වාසයක් තැබිය නොහැකි බවත්ය.

මේ පිළිබඳ රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගෙන් විමසූ කල ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන බවත් සතියක් පමණ වනවිට එහි ප‍්‍රතිඵල නිකුත් කළ හැකි බවත්ය.

රාජපක්ෂ පුතුන්ගේ පාසල් රගර් පුහුණුකරු වූ අසංග සෙනෙවිරත්න මහතා මේ තරම් දුර ක‍්‍රීඩා හා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ පැමිණ ඇත්තේ රාජපක්ෂවරුන්ගේ සහයෙන් බැවින් කිසිදු පරීක්ෂණයක් සිදුවෙතැයි සිතීමත් ගැටලූ සහගත බව රගර් අභ්‍යන්තර ආරංචි මාර්ගවල අදහසය.


- ටිරාන් කුමාර බංගගමආරච්චි
 
Related Posts with Thumbnails