Ads 468x60px

.

ප්‍රසූතියකදී අම්මාත් දරුවාත් බේරාගත් වෛද්‍ය වරයෙකුට, ඒ අම්මා දූෂණය කරන්න ඉඩ දෙනවද..?


එදා ප්‍රභාකාරන්ගේ මීනීමරු ත්‍රස්‌තවාදී නඩය මාවිල්ආරු සොරොව්ව වසා දමා දහස්‌ සංඛ්‍යාත ගොවි ජනතාව පීඩාවට පත් කරනු තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන ඒ අහිංසක ජනතාව වෙනුවෙන් සිය දිවි පරදුවට තබා පා ගමනින් මාවිල් ආරුව කරා වඩින්නට මුල් පියවර තැබුවේ පූජ්‍ය අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේය. 

උන්වහන්සේගේ ඒ අභීත ප්‍රවේශය යුදහමුදා චිත්ත ධෛර්යයට ලබා දුන් ජවසම්පන්න බව තුළ ඒකාරාශී වූයේ "බොඩි ආමර්" සියයක ශක්‌තියයි. තිස්‌ වසරක යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයේ ජය සංකේතය බවට කහ චීවරය පත් වුයේ එලෙසින්ය.

වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. යුද බිය තුරන් විය. එහෙත් 2010 ජනපතිවරණයෙන් ඉනික්‌බිතිව ගෙවී ගිය සිව් වසර පුරාම මෙරට රජ කළේ මර බියයි.

මෑතකදී මහාචාර්ය සරත් විඡේසූරිය මහතා ප්‍රකාශ කළ පරිදි, දරු ප්‍රසූතියකදී ජීවිතයත් මරණයත් අතර සටනකින් අම්මාත් දරුවාත් බේරාගත් අති දක්‍ෂ වෛද්‍යවරයකුට, ඊට හිලව් වශයෙන් සිත් සේ ඒ

මාතාව දූෂණය කිරීමේ වරය ඉල්ලා සිටිය හැකිද? 

එහෙත් සැබැවින්ම ගෙවී ගිය සිව් වසරක කාලය පුරාවට රට කළ ඇත්තෝ කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේම මේ දෙයම කරනු ජනතාව ගල් ගැසී බලා සිටියේය.

සුදු වෑන්වලට බියේ මාධ්‍යකරුවෝ, තම තමා විසින්ම ඇති කරගත් ස්‌වයං වාරණයන්ට යටත්ව මාධ්‍යකරණයේ නිරත වූහ. උඩුගං බලා පිහිනූ ලසන්ත වික්‍රමතුංගලාට සිදු වූයේ අධි ආරක්‍ෂිත මුර කපොලු සීමා තුළදීම දිවංගත වීමටය.

ඇඩ්ඩ්‍රස්‌ නැතිවන පරිදි මාධ්‍ය ආයතන ගිනිබත් කරනු ලැබීය. සියල්ලෝම පාදයක්‌ පසුපසට ගෙන පෑන, පින්සලය හා කැමරාව හසුරුවන්ට වූහ.

මෙකී අවිචාර සමයේදී මුළු ලෝකයටම කෑ ගසා පැවසිය හැකි සුපිරි ගණයේ මාධ්‍ය නිදහසක්‌ අපට තිබුණේය. ඒ කැමති ඕනෑම අයුරකින් ඕනෑම ආකාරයකින් රටේ පාලකයාව වර්ණනා කිරීමේ මාධ්‍ය නිදහසය.

එහෙත් කිසිවකු නොසිතූ නොපැතූ මොහොත කළු වලාවක දිස්‌ වූ විදුලි රේඛාවක්‌ සේ මෛත්‍රී ආගමනයක්‌ සිදු වුණේය. මෙහිදී ද එදා මාවිල්ආරු සටනට ජීවය දුන්, ශක්‌තිය දුන් "කහ සිවුර" මර බියේ ජීවත් වු ජනතාවට ශාන්තිය උදා කිරීම දෛවෝපගතය. 


අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත පූජ්‍ය අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේලා කුඩහපොල සුමංගල හිමි අපගේ මතකයට ගෙන එමින් ජන බලය ඒකාරාශි කිරීමේ සටන අරැඹුයේ රටේ සියලුම මධ්‍යම මතධාරීන් විශ්මයෙන් ගල් ගැසී බලා සිටියදීය.

එතැන් පටන් සිදු වු "වෙනස" මේ රට නිදහසින් පසු ජීවත් වූ කිසිදු ශ්‍රී ලාංකිකයකුට අත්දැකීමට නොලැබුණ විශ්මිත දේශපාලන බල පෙරැළියක ඇරැඹුමය.

පෙරදා රෑත් රටේ මහ ඇත්තෝ සමග ආප්ප කෑ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුදා 2015 ජනපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙසින් ජනතාවගේ මනාපය ඉල්ලා සිටීමෙන් ඇති වූ මහා දේශපාලන කම්පනය, කම්පන තරංග මාලා රටපුරා විසිරුවා හරිමින් අති දැවැන්ත දේශපාලන ප්‍රතිරූප කුඩු පට්‌ටම් කරමින් සතර දිග්භාගය සිසාරා විහිදී පැතිරී ගියේ මහා දේශපාලන සුනාමියක්‌ සේය. 


අවසානයේදී ලක්‍ෂ 62 ක ජනතා මනාපයෙන් මෛත්‍රී ආගමනය ඉෂ්ටසිද්ධ වූයේය. තමා මෙතෙක්‌ කල් මහත් වූ අභිරුචියෙන් හැඳගෙන සිටියේ සීතාම්බර පට සළුවක්‌ය කියා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වටහා ගන්නා විට පෙරහැර ගිහිල්ලාය. 

පුරා සිව්වසරක්‌ තිස්‌සේ අසීමිත ලෙස වර්ණනා කරමින් සීතාම්බර පට සළුව ගෙතූ, වියමන් කළ මැති ඇමැතිවරු, සියලු ආකාර දේශපාලන කේවට්‌ටයෝ, ස්‌තෝත්‍රකරුවෝ වන්දි භට්‌ටයෝ සහ නැකැත්කරුවෝ මේ වන විට මහ රජාණන් අතහැර නිරුවතින් මහ මග දිවූ ආකිමිඩිස්‌ සිහිගන්වමින් යහපාලනය ඕනෑ කියමින් පිස්‌සු කෙළින අරුමය මෛත්‍රී යුගයේ දින සීයේ න්‍යාය පත්‍රයට අලුතින් එකතු වු අංගයක්‌ බවට අද දවසේදී පත්වෙමින් තිබේ.

මේ සියලු රංගනයන් දෙස "රටකට ඕනෑ අපමණ අගයක්‌ යෑයි අධිෂ්ඨාන පූර්වකව හංසයා ඉදිරියේ පසුගිය ජනවාරි 8 දා ඡන්දය සලකුණු කළ ලක්‍ෂ 62 ක්‌ වූ ජනතාව උපේක්‍ෂා සහගතව බලා සිටී.

මේ ගෙවී යන සෑම දවසක්‌ම රටේ මහජතාවට ගෙනදී ඇත්තේ ඉහළම වටිනාකමක්‌ය. ජනපතිවරණයට නාම යෝජනා කැඳවීමට පෙර සිටම රටේ මුළු මහත් ජනතාව උදෑසන පිබිදුන සැණින් විමසා බලන්නේ පැන්නේ මොකාද කියාය. 


විටෙක පැන්න එකාගේ මවුපියන් සිහි කරමින්ද, තවත් විටෙක විසිල් ගසමින්ද මාසයක්‌ පුරාවටම ආතල් ගත් ඇතැමෙක්‌, මෛත්‍රී යුගය උදා වී මේ ගෙවී යන සෑම දිනයකම උදෑසන අවදි වූ සැණින් පුවත්පත් මුල්පිටු දෙස කුතුහලයෙන් යුතුව නෙත් යොමා බලන්නේ, අහු වුණේ මොනවාද? කියාය.

ඒ තරමටම මේ ගෙවී යන සෑම දිනෙකම " හොර බඩු" අහුවේය. ඇතැම් ඒවා රාජකීය බඩුය. තවත් ඒවා ගහපු ගමන් නාගසලං වෙන වයඹින් ගෙනා බඩුය. ඒ අතර පාවෙන ගබඩාද තිබිණ.

මෛත්‍රී ආගමනයේ උණුසුම නිවී යන්නටත් පෙර අපේ පොලිසියේ ඇත්තෝ පාකිස්‌තානයේ සිට මෙරටට කුදලාගෙන ආවේ වෙලේ සුදාය. සැබැවින්ම යහපාලනයක්‌ ඉල්ලා සිටි ජනතාවට වෙලේ සුදා අයිසිං කේක්‌ කෑල්ලක්‌ කොට දුන්නේ අපේ පොලිසියේ දක්‍ෂයෝය.

දැන් කළ යුත්තේ වෙලේ සුදාගේ කට උත්තර අනුව නම් කියෑවෙන දේශපාලු මගෝඩිස්‌ලාගේ සුදු පිරුවට ගලවා උන් සියලු දෙනාටම තරාතිරම නොබලා ජම්පරය ඇන්දවීමයි.

එදා වර්ෂ 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ සැණින් කිසිම වග විභාගයකින් තොරව කළ මුල්ම රාජකාරිය වූයේ තමන්ට එරෙහිව තරග කොට ලක්‍ෂ 47 ක්‌ ජනතා ඡන්දය දිනාගත් වීර යුද සෙන්පති සරත් ෆොන්සේකා මහතා ඔහුගේම හමුදාව ලවා කුදලාගෙන හුස්‌ම ගැනීමට පවා අපහසු කාමරයක සිරකර දැමීමය. 


මේ යුද වීරයාට, අහස පොළොව නුහුලන නහුතයකුත් එකක්‌ අභූත චෝදනා ගොතන්ට පටන් ගත්තේ, එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව රටේ ජනතාවට තවමත් මතක තිබේ.

එහෙත් යහපාලනයක්‌ රටේ ඇති කරන්නට දිව්රා පොරොන්දු වු චරිතවත් රාජ්‍ය පාලකයෙකුගෙන් එබඳු සැහැසි ක්‍රියා අපි කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවෙමු. 


එහෙත් මේ සෑම දූෂිතයකුටම එරෙහිව අපක්‍ෂපාතීව, ස්‌වාධීනව නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වෙනු දැකීම මෛත්‍රී පාලනය තුළ රටේ යුක්‌තිගරුක, නීතිගරුක සෑම පුරවැසියකුගේම එකම බලාපොරොත්තුවයි. 

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ජනතා අපේක්‍ෂාවන් මල්ඵල ගැන්වීමට ක්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

කවදත් මිස්‌ටර් ක්‌ලීන් යනුවෙන් හැඳින්වූ රනිල් වික්‍රමසිංහ මහතා එ. ජා. ප. නායකයාය. යහපාලනයකට ප්‍රතිඥා දී ජනහිත දිනාගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී. ල. නි. ප යේ සභාපතිවරයාය. 


මොනම අයුරකින් හෝ වංචා දූෂණවලට සහභාගි නොවූ, ප්‍රඥාවන්ත මිනිසුන් තෝරා බේරාගෙන එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව ඔවුන්ට ලබාදීමට මේ දෙදෙනාම කටයුතු කරනු දැකීම මුළු රටේම බලාපොරොත්තුවය. 

හැටේ දශකයේදී මෙන්, 70 දශකයේදී මෙන් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රේෂ්ඨ විශිෂ්ට ජනතා පුත්‍රයන්ගෙන් සමන්විත වූ ජාතික රාජ්‍ය සභාවක්‌ එවිට රටට ලැබේ.

ඒ කාලයේ මෙන්ම උසස්‌ පෙළ හදාරන අනාගත පරපුරට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා කියවා සිය ප්‍රඥාවේ නිම්වළලු පුළුල් කර ගැනීමේ වාසනාව උදා කර දිය යුතුය. එවිට සැමුවෙල් ඇනස්‌ලි සහ බර්ට්‌ මහතා සිටින විකට රංග ශාලාවක්‌ බවට මේ උත්තරීතර පාර්ලිමේන්තුව පත්වන්නේ නැත.

පාර්ලිමේන්තු විවාද ජනතාවගේ බුද්ධිය පෝෂණය කරනු ඇත. රටේ ඉහළම තැනින් පැතිරෙන මේ විනයගරුක බවේ, සීලාචාරකමේ සුවඳට මුළු රටම වශීකර ගත හැකිය. ඊට කදිම පූර්වාදර්ශයක්‌ නව රජයේ මුල්ම පාර්ලිමේන්තුව රැස්‌ වූ පසුගිය 20 දා අපට දැක ගත හැකි වීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේම විපක්‍ෂනායක නිමල් සිරිපාල මහතාගේ දේශන ආශ්වාදජනකය.

ඒ සියල්ලටම වඩා අලුත් ආණ්‌ඩුවේ මංගල පාර්ලිමේන්තුවේ මුල්ම රැස්‌වීමට ආවා නොආවා සේ ඉතා සන්සුන්ව සපැමිණ සන්සුන් ඉරියව්වේම හිඳ ශාන්ත යතිවරයකුසේ ඉන් නික්‌ම ගිය හයවන විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප සියල්ලන්ටම පෙන්වූ ආදර්ශයයි.

මහින්ද රාජපක්‍ෂ යුගයේ නම් කෝටි ගණනක මහජන මුදලක්‌ පැය කීපයකින් කාබාසිනියා කර දමන මහා සංදර්ශනයක්‌ වීමට බෙහෙවින්ම ඉඩ තිබූ ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයාගේ මංගල පාර්ලිමේන්තු ප්‍රවිශිෂ්ටය සහ අසුන් ගැනීම, පොලොන්නරුවේ ගොවිගෙදරින් ආ මෛත්‍රීපාල සිරිසේන නම් ගොවි පුතා ජනතාවාදී අර්ථකථනයක්‌ ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේ එසේය.

මෙම සටහන අවසාන කිරීමට ලියුම්කරු තෝරා ගන්නේ මෙදින පාර්ලිමේන්තු මංගල සභාවාරයේදී කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ කතාවෙන් කොටසක්‌ය.

මහින්ද රාජපක්‍ෂ තවත් ජනාධිපතිවරයෙක්‌ නොවෙයි. ගෝඨාභය රාජපක්‍ෂලා ජීවිත කැපකිරීමෙන් රටට අභයදානය දුන්නා. කරුණාකර ඔවුන්ට අවමන් කරන්න එපා.

අවමන් කිරීමට සහ චරිත ඝාතනය කරන්නේ කෙසේද කියා මේ රටේ ජනතාවට අති විශිෂ්ට පාඩමක්‌ සෑම ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවක්‌ ගානේ යමින් කියාදුන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට මේ දිනවල ඕනෑ තරම් විවේකය ඇති නිසා ඉඳහිට හෝ අන්තර්ජාලයේ සැරිසරන්නේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා අරභයා තමා විසින් කළ කී දෑ සිහි බුද්ධියෙන් යුතුව බලා සිටින්නේ නම් (නිසැකවම ඒ කළ යුත්තේ මුවහත් පිහියක්‌ හෝ කඩුවක්‌ ළඟපාතක නැත්තේ නම් පමණක්‌ය) මන්ද මේවා දකින වීරවංශයන්ට, වීරයකු සේ "හරාකිරි" කර ගැනීමට සිතක්‌ පහළවීමට හොඳටෝම ඉඩ ඇති නිසාය.

- ජයන්ත විඡේසිංහ
 
Related Posts with Thumbnails