Ads 468x60px

.

රාජපක්‍ෂවරුන් සිටින තාක්‌කල් මට අගතියක්‌ නොවන බව විශ්වාසයි - ඇමැති මර්වින්

රාජපක්‍ෂවරුන් කෙරෙහි අතිවිශාල ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරනවා...

හදවතේ ගැඹුරම තැනින් රාජපක්‍ෂවරුන්ට ගෞරව කරන තමාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා රාජපක්‍ෂවරුන් සිටිනතාක්‌ කල් අසාධාරණයක්‌ වන්නේ නැතැයි කී කතාව විනය විරෝධී නම් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමකට යටත් වීමට තමා සූදානම් යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.

මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ඇමැතිවරයා
ගෙන් කළ විමසීමේදී එලෙස කියා සිටියේය.


රාජපක්‍ෂවරුන් සිටින තෙක්‌ තමාට අයහපතක්‌ වන්නේ නැතැයි මර්වින් සිල්වා කළ බව කියන ප්‍රකාශයක්‌ පිළිබඳව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව 29 වැනිදා රාත්‍රි ගත් තීරණය පිළිබඳ සිය ස්‌ථාවරය විමසූ විට ඇමැතිවරයා එලෙස කියා සිටියේය.

හම්බන්තොට බෙලිඅත්තේ උපන් තමා ඩී. ඒ. රාජපක්‍ෂ මහතාට මෙන්ම වත්මන් රාජපක්‍ෂ පවුලට අතිවිශාල ගෞරවයක්‌ දක්‌වන බවත් ආගම ධර්මය පවා විශ්වාසය මත රදාපවතිනවා සේ තමා රාජපක්‍ෂවරුන් කෙරෙහි ද අතිවිශාල ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරන බවත් ඔහු පැවසීය.

එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නැක්‌සලයිට්‌ චෝදනාව එල්ල කරමින් තමා අත්අඩංගුවට ගෙන සිරගත කළ බවත් දකුණු පළාතෙන් නැක්‌සලයිට්‌ චෝදනාවට ලක්‌ වූ එකම දේශපාලනඥයා වූයේ තමා බවත් ඇමැතිවරයා සිහි කළේය.

ඊට පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තිස්‌සමහාරාමයට තරග වදින අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණු භීෂණ සමයේදී තම සහෝදරයා, සහෝදරිය හා මස්‌සිනා ඝාතනයට ලක්‌ වූ බව සිහි කළ ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීමට එලෙස කැපකිරීම් කළ බව ද පැවසීය.

පක්‍ෂය වෙනුවෙන් හා දේශපාලනය වෙනුවෙන් එවැනි කැපකිරීම් කළ තමාට දේශපාලන වශයෙන්ම මෙන්ම පෞද්ගලිකව ද උදව් උපකාර කළ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂවරුන් සිටින තාක්‌ කල් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තිබෙන තාක්‌ කල් අගතියක්‌ වන්නේ නැතැයි අතිවිශාල විශ්වාසයක්‌ තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකරන සේවය කිසි ලෙසකින්වත් නතර නොකරන බවත් කැලණිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකවරයා ලෙස පක්‍ෂය රැකගනිමින් ජනතාවට දිගටම සේවය ඉටුකරන බවත් ඇමැතිවරයා
කියා සිටියේය.
 
Related Posts with Thumbnails