Ads 468x60px

.

ඇත්තම කියනවා නම් නිහාල් ගම්හේවා ජනපි‍්‍රය කළේ මමයි. ඔහු මට ණයගැතියි - රෝයි පීරිස්

මගේ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා...

ජාතික තරුණ සේවා සභාව හරහා රටට දායාද කෙරුණු සංගීතය, ගී පද රචනය සහ ගායනය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම කුසලතා සතු වූ ශිල්පීන් අතර රෝයි පීරිස් ද සිටී. රෝයි මේ දිනවල පසුවන්නේ තරමක ආවේගශීලී සිතුවිලි ඇතුවයි.

ඒ ඔහු ගායනා කළ නිහාල් ගම්හේවා විසින් තනු නිර්මාණය කර පද රචනය කළ “මා දෑසෙ වේදනා” සහ “රත්තරං ප්‍රාර්ථනා” ගීත නිහාල් විසින් දුරකථන සඳහා රිංගින්ටෝන් යොදන ව්‍යාපාරිකයෙකු හට විකිණීම හේතුවෙන් එම ගී ශිහාන් මිහිරංග සහ තීක්ෂණ අනුරාධ යන ගායකයින්ගේ හඬින් ගයා විකෘති කිරීම හේතුවෙනි. 


ඒ පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ නොයෙකුත් මතිමතාන්තර මතු වී ඇති හෙයින් කෙළින්ම සිය අදහස් උදහස් විවෘතව හෙළිදරව් කරන්නට රෝයිට අපි අවසර දෙමු.

”අද ගීත රීමික්ස් කරනවා කියලනේ ඔය ජාවාරම කරන්නේ. රීමික්ස් කරන්නේ රිංගින්ටෝන් සඳහායි. ව්‍යාපාරිකයින්ගේ තවත් කූට ව්‍යාපාරයක් තමයි ඔය රිංගින්ටෝන් දැමීම. ඇතැම් අවස්ථා වලදී සමහරු බැංකොක් ගුවන් සවාරි පවා ලබා දෙනවා. ඔය ව්‍යාපාරයට සම්බන්ධ වන අයට.

ඔය කූට ව්‍යාපාරිකයින් කලාකරුවන්ව රවටලා ඔවුන්ගේ නිර්මාණ සූරා කනවා. එපමණක්ම නෙමේ එම නිර්මාණ විකෘති කරනවා. මගේ ‘මා දෑසේ වේදනා” සහ ‘රත්තරන් ප්‍රාර්ථනා’ ගීත නිහාල් රිංගින්ටෝන් කාරයින්ට විකිණීමෙන් සිදුවෙලා තියෙන්නෙත් එයමයි.”

නිහාල් ගම්හේවා විකුණා ඇත්තේ ඔහුගේ බුද්ධිමය දේපළ නේද..?

”ප්‍රශ්නය වෙන්න ඕනේ ඒක නෙමේ. ‘නිහාල් මේවා විකුණන්නේ ඇයි’ කියන එකයි. නිහාල්ම ඒ පිළිබඳව (‘මා දෑසේ වේදනා’ ගීතය ෂෙහාන් මිහිරංග ගැයූ පසු) ගුවන් විදුලි නාළිකා සහ පුවත්පත් සඳහා කළ ප්‍රකාශ වලදී වරින්වර වෙනස් විවිධ කාරණා තමයි ඉදිරිපත් කර තියෙන්නේ.

මේ ගීත විකුණන්න හේතු වූ සාධාරණ එක් හේතුවක් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඔහුට බැරි වී තිබෙනවා. තමන් කළ වැරැද්ද වහගන්න මොනවා හෝ අසත්‍ය කරුණක් පැවසීම නිසා එක් එක් වතාවලදී එක් එක් හේතු ඔහු ප්‍රකාශ කරනවා.”

ඔහු කරනු ලබන එවැනි අසත්‍ය ප්‍රකාශ මොනවාද..?

”කිහිපයක්ම තියෙනවා. ‘මා දෑසේ වේදනා’ ගීතය ඔහු මට නොදුන් බවත් එය මා ඉල්ලා ගෙන ගායනා කළ බවත් පැවසීම එක් අසත්‍ය ප්‍රකාශනයක්. ඔහුගේ ඉල්ලීමටයි මා එය ගැයුවේ. 


තවත් අසත්‍ය ප්‍රකාශයක් තමයි යටපත් වී තිබුණු නිසා දුන්නා කීම. මේ රටේ හැම ගීත රසිකයෙක්ම දන්නවා මං හැම ගීත ප්‍රසංගයකදීම ‘මා දෑසෙ වේදනා’ ගීතය ගැයූ බව. කිසිදාක මේ ගීතය යටගිය ගීත අතරට එක්වුණේ නැහැ.

තවත් අමූලික බොරුවක් තමයි මා සතයක් වත් ඔහුට නොදුන් බවත්, ගීත පිනට දුන්නු බවත් පැවසීම. (“පිනට දුන්නා නම් ආයෙත් අරගෙන විකුණනවා ද..?” විමසමින්...) නිහාල් තරුණ සේවා සභාවේ කළ කාර්යභාරය අනුව වැටුපක් ඔහුට එදා තිබුණා. 


ඒ හැරෙන්න මා ගීත තැටි, පට සඳහා නැවත ගැයූ හැම වතාවකදීම ඔහුට ගෙවීම් කළා. ශිහාන්ට ගයන්න ‘මා දෑසෙ වේදනා’ රිංගින්ටෝන්කාරයාට විකුණන්න මාසෙකට පෙර පවා මා රිංගින්ටෝන් සඳහා ගයද්දී නිෂ්පාදක හරහා මම නිහාල්ට මුදල් ගෙව්වා.”

මා දෑසෙ වේදනා
ඔබෙ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා...!
(පද – නිහාල් ගම්හේවා)

ඔබ “මා දෑසෙ වේදනා” ගීතය ගායනා කර තිබූ රිද්මය පිළිබඳවත් නිහාල් ගම්හේවා සෑහීමට පත් නොවුණු වග සත්‍යය ද..?

”ඒ තවත් අසත්‍යයක්. ‘රෝයි ගීතය ගායනා කළ වේගය වැඩි නිසා ශිහාන්ට දුන්නා. ශිහාන් නම් එයට සාධාරණය කර තිබ්බා’ වගේ දේවල් ඔහු විශාරදයෙකු වශයෙන් පැවසීම මොනතරම් බොළඳ ද? බොරුව වහගන්න ගිහින් ඔහු දොඩවනවා නොවේ ද? 


ශිහාන් ගයන්න පෙර මා කී වරක් ඔය ගීතය ගායනා කර ඔහුට මුදල් ගෙවා තිබෙනවාද? ඒ එකම වතාවකදී වත් මා වේගවත් වැඩියි කියා ඔහු කිව්වා ද? සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කිසිදාක ඔහු මෙතෙක් ඒ බව නොකිව්වේ ඇයි? ඔහු කරන්නේ බොරුව. ඔහු කියන්නෙත් අමූලික බොරු.”

”ඔහු බොරු කරන්නේ සහ බොරු කියන්නේ ය” කියා සනාථ කරන්න ඔබට පුළුවන් ද..?

”පැහැදිලිව සනාථ කරන්න පුළුවන්. ඔහු බොරු කරන බව සංගීත දැනුමේදී මම අත්දැක තිබෙනවා. මං ඔහුට අභියෝග කරනවා ගීතයකට ස්වර සංච (කෝඩ්ස්) යොදන්න කියා. 


ඒ වගේම ඔහු බොරු කියන බව තවදුරටත් පැහැදිලිව සනාථ කරන්න පුළුවන් කරුණකුත් මම දැන් හෙළිදරව් කරන්නම්. ඒ මා ඔහුගේ ගෝල බාලයෙකු ලෙස සඳහන් කිරීමයි. මම තරුණ සේවා සභාවට ඇවිත් අවුරුදු එකහමාරකටත් පසුවයි නිහාල් ආවේ. කිසි ලෙසකින් මා ඔහුගේ ගෝල බාලයෙක් නෙමේ.”

අද ඔහොම කිව්වට ඉස්සර ඔබ ඔහුව හැඳින්වූවේ “නිහාල් සර්” යනුවෙන් නේද..?

”ඔව්, ඔහුගේ අනිකුත් ගෝල බලයෝ කී නිසා මමත් එහෙම කිව්වා තමයි. ඒත් කවදාවත් මට ඔහු සංගීතයවත්, ගායනයවත් ඉගැන්වූවේ නැහැ. මට උගන්වලා රක්ෂාව අරන් දුන්නා කියලත් ඔහු පවසා තිබෙනවා. 


ඒ සියල්ල අමූලික බොරු. මම ලබා තියෙන්නේ බටහිර සංගීත ඩිප්ලෝමාවයි. මම ඔහුගේ ශිෂ්‍යයෙකු වුණා නම් එහෙම වෙන්න බැහැනේ. ඇත්තම කියනවා නම් නිහාල් ගම්හේවා ජනපි‍්‍රය කළේ මමයි. ඔහු මට ණයගැතියි. එයයි සත්‍යය.”

රෝයි, ඔබ කතා කරන්නේ හොඳ සිහියෙන්ම ද. එය එලෙස වෙන්නේ කෙසේ ද..?

”මම හොඳ සිහි කල්පනාවෙන් තමයි මේ හැමදේම කියන්නේ. මේ කරුණු අනිවාර්යෙන්ම පළ කරන්න. මෙහෙමයි මම නිහාල් ගම්හේවාව ජනපි‍්‍රය කළේ. ඔහුගේ මුල්ම ගීත නිර්මාණය උගුර කඩාගෙන ලේ රහ වනතුරු ගායනා කරමින් ජනතාව අතරට ගෙන ගිහිල්ලා. එවිට ඔහු ආධුනිකයෙක්. ඔහු දන්නවා මමත් ගී පද රචකයෙක් සහ සංගීතඥයෙක් බව.

මගේ මුල්ම කැසට් පටයේ මා ලියා සංගීතවත් කළ ‘මා තනිවෙන්නම්’ – ‘ඒ නෞකාවේ’ – ‘රෑ දිවා දවයි මෙමා’ – ‘හිරු මිලින වී’ – ‘පොඩි කාලේ මා පෑ සුරතල් සිනා’ සහ ‘මා හා එදා ඇයි සිනාසුණේ’ ගී අතරට තමයි නිහාල්ගේ ගී පද රචනය (‘මා දෑසේ වේදනා’) යොදා ගත්තේ. 


ඉන්පසු තමයි ඔහුට හැම වරප්‍රසාදයක්ම ලැබුණේ. ඒ නිසයි ඔහු මට ණයගැති වන්නේ. ඉන්පසු ඔහු පි‍්‍රන්ස් උදය පි‍්‍රයන්ත සහ චන්දන ලියනආරච්චි වැනි ගායකයින්ගේ කැසට් පටවල ගීත 16 ම නිර්මාණ කළත් මගේ කැසට් පටයේ ඇතුළත් වූ එකම ගීතය තුළින් තමයි ඔහුට ඒ වරප්‍රසාද ලබා ගන්න මඟ විවර වුණේ.

ඒ හැමදේම අමතක කරලා, මගේ ගීත විකුණා කරගත්ත වැරැද්දෙන් සිදු වී ඇති ලැජ්ජාව වහගන්න නිහාල් දැන් අමූලික බොරු ඇද බාමින් ගන්නා හැම වෑයක්ම අසාර්ථක වන බවයි මගේ වැටහීම.”
 
Related Posts with Thumbnails