Ads 468x60px

.

පිය පුතු දෙපළක් එක්ව අහිංසක මවකගේ සහ දරු දෙදෙනකුගේ ඝාතනයේ ඇත්ත කතාව...

පෙම් පළහිලව්වක් මත පෙම්වතා ඇතුළු මිතුරන් කිහිපදෙනෙකු සමග එක්ව දියණියක්  තම මවුපියන් ඝාතනය කිරීමක් මඩකළපුවෙන්ද, අසම්මත ලිංගික සම්බන්ධයක් මත අඹු සැමි යුවළක් ඝාතනය කිරීමක් පුල්මුඩෙන්ද, පෙම් පළහිලව්වක් මත වෛද්‍ය ශිෂ්‍යයෙකු මොරටුව විශ්ව විද්‍යාල සිසුවියක වූ තම පෙම්වතියට විෂ ශරීරගතකර ඝාතනය කිරීමක්ද ඇතුළු ඇඟ කිලි‍පොලා යන අපරාධ රැසක් පසුගිය සති කිහිපය තුළ අප ඔබ වෙත ගෙන ආවා.

මෙම කෲර මිනිස් ඝාතන ගොන්නට අලුතින්ම එක්වන්නේ ත්‍රිත්ව ඝාතනයකි. මෙම වසරේ දැනට සිදුවී ඇති ම්‍ලේච්ඡතම මෙන්ම බිහිසුණුම සමූහ මිනිස් ඝාතනය මෙය යයි පැවසුවද වරදක් නැත. හිස් කඳින් වෙන් වන්නට කපා ඒ සමූහ ඝාතනයන්  කර තිබුණේ සිත් පිත් නැති මෘගයන් ලෙසිනි. 

ශ්‍රියානි පුෂ්පලතා නම්වූ  තිස්නව වියැති මවත්, ඇගේ නව හැවිරිදි පසිදු සම්පත් නම් පුතාත්, හත් හැවිරිදි සත්සරා දිල්හාණි නම් වූ දියණියත් එසේ  මරා දමා තිබුණේ නිවසේ නිදි යහන මතදීමය.

කරන්දෙණිය, නාමිණීගොඩ, අක්කර 24 ප්‍රදේශයේ සිදුවූ මේ බිහිසුණු සමූහ මිනිස් ඝාතනය ‍පොලිසියට වාර්තා වන්නේ ඉකුත් 28 වෙනිදාය. නමුත් ඒ වනවිටත් ඔවුන් මරා දින කිහිපයක්
ගතවී තිබූ බව අනාවරණය වී ඇත. ‍පොලිසිය පවසන ආකාරයට මළ සිරුරු මුලින්ම දැක ඇත්තේ ලිලියට්ය. ඇය මේ අයගේ ඥාතිවරියකද වේ. ඇය පදිංචිව සිටින්නේද අක්කර විසි හතරේය.

“දවස් කිහිපයක් තිස්සේ මේ අය දකින්න හිටියේ නැහැ. ඒ නිසාම ටිකක් ඒ ගැන විපරම් කළා. එතකොට තමයි ගේ පැත්තෙන් මිනී කුණු ගඳක් දැනුණේ. දවස් කිහිපයක්ම රෑට ලයිට් පත්තු නොවුණ නිසා මම හිතුවේ මේ අය කොහේ හරි නෑදෑ ගෙදරක යන්න ඇතැයි කියලයි. 

ගේ පැත්තෙන් ආපු ගඳ බල්ලෙක් වත් මැරිලදැයි කියල හිතුණා. ගෙට ගියේ ඒ ගැන බලන්නයි. ඇඳ උඩ ඔවුන් මරල දාල තියෙනව දැක්කේ එතකොටයි.’ ඒ සමගම  මුළු ගමක්ම එතැනට දිව එන්නේ යටිගිරියෙන් ඈ කෑ මොර දෙන්නට වූ නිසාය.

සිද්ධිය ගැන සොයන්නට මුලින්ම එහි එන්නේ කරන්දෙණිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි , අපරාධ අංශයභාර ස්ථානාධීපති උප ‍පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස් , අසේල ඇතුළු කණ්ඩායමකි.

මේ නිවසේ පුෂ්පලතා ජීවත්වූයේ දරු දෙදෙනා සමග තනිවමය. ඒ ඇගේ සැමියා ඇය අතහැර වෙනත් කාන්තාවක් සමග දීග කන්නට ගොස් ඇති බැවිණි. ඒ  අද ඊයේ නොව.  ඇගේ දියණිය උපන් දවස්වලමය. ඒ අවුරුදු හතකට පමණ පෙරය. එදා සිට ඇය දරුවන් දෙදෙනා  හදාවඩා ගනිමින් කරදඬු උස්මහත් කරනු ලැබුවේ කුරුදු තැලීමෙන් හම්බ කරගත් ආදායමෙනි.

කාටත් අතනොපා, කයිකතන්දරයක්වත් නොඅසා දරුවන් සමග ජීවත්වූ ඇයවත් දරුවන් දෙදෙනාත් මරා දැමීම ගැන මුළු ගමම ඒ වන විට සිටියේ මහත් කම්පාවෙනි.  ඒ අය එක එල්‍ලේ මෙම ත්‍රිත්ව ඝාතනය කරන්නට ඇතැයි සැක කරන්නට වූයේ පුෂ්පලතාගේ සැමියාය. ඇය ඔහුගෙන් දික්කසාද වන්නට සූදානමින් සිටීම හේතුවෙන් ඔහු එම ඝාතනය කරන්නට ඇතැයි ගම්වැසියන් අතර දැඩිව කතාබහ වන්නට ගත්තේය.

දඩබ්බරයෙකු වූ පුෂ්පලතාගේ සැමියා ඊට පෙර ගමේ පුද්ගලයෙකු මරා දමන්නට තැත් කිරීමක් සම්බන්ධයෙන්ද ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණු බැවින් ‍පොලිසියද ගම් වැසියන් අතර පැතිර යන කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට අමතක නොකළේය. 

කාන්තාවක් සමග බිබි‍ලේ පදිංචිව සිටින ඔහු ඉකුත් සිංහල අවුරුද්දේ කරන්දෙණියේත් ඌරගස්මන්හන්දියේත්  ගැවසී ඇතැයි තොරතුරු පොලිසියට ලැබෙන්නේ එහිදීය. පුෂ්පලතා ඔහුගෙන් දික්කසාද වන්නට තීරණය කරන්නේද මේ කාලය තුළදීමය. 

ඇතැම් විට ඇය සිය සැමියාට දික්කසාදය ගැන කී විට ඉන් උරණවී ඔහු මෙම ඝාතනය කරන්නට ඇති බවට සැකයක්ද මෙහිදී ‍පොලිසියට උපන්නේ ය. ඒ වෙන කිසිවෙකු මෙම ඝාතනයන් කළ බවට සැකකරන්නට තරම් හේතුවක් ‍පොලිසියට සොයාගන්නට නොහැකි වූ බැවිණි.

පුෂ්පලතාගේ සැමියා සොයා ‍පොලිස් මෙහෙයුමක් දියත්වන්නේ ඒත් සමගිණි. ඒ වන විට ඔහු සිටියේ බිබි‍ලේය. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් බිබිල බලා ගමන් ගන්නා විට කරන්දෙණිය ‍පොලිසියේ ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පන්නන්නට ගත්තේ මෙම ත්‍රිත්ව ඝාතනයත් සමග සැඟවුණු ජීවිතයක් ගතකරන්නට ගත් පිය පුතු යුවළක් පසුපසය. 

පුෂ්පලතාගේ නිවසේ සිට ඔවුන් පදිංචි නිවසට දුර මීටර් 500 ක් වත් නැති වූවත් ඔවුන් මළ ගෙදරට පවා නාවේ මුළු ගමක්ම මළ ගෙදර වෙනුවෙන් වෙහෙස වෙද්දීය. අඩුම තරමේ මේ නිවසේ රාත්‍රිකාලයේ විදුලි බල්බයක් වත් මේ දිනවල දල්වා නොතිබුණේ ඒ සැකය වඩාත් තීව්‍ර කරමිණි.  

විමර්ශකයන්  සැකයට භාජනය වූ පිය පුතු දෙදෙනා පසු පස ලුහුබඳින්නට ගත්තේ ‍පොලිස් අධිකාරී අතුල වීරසිංහ සහ සහකාර ‍පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන්ගේ උපදෙස්ද ඇතිවය.

මෙම පියපුතු දෙදෙනාගෙන් විසි හතර හැවිරිදි පුතා ඒ වනවිට සිටින්නේ මාතර ගොසිනි. ඒ කුරුඳු තලන්නටය. කරන්දෙණියෙන් පිටත කිසි දිනක කුරුඳු තලන්නට ගොස් නැති ඔහු මාතර යාමද සැකයට තුඩු දුන්නේය.  ඔහු ගමේ ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි. 

කාන්තාවන්ට ලොල්කමක්ද ඔහුට තිබුණේය. ඒ නිසාම  බිරිඳ ඔහු අතරහැර දමා වෙනතක් බලාගෙන සිටියාය. ඔහුගේ දරුවාව පවා බලා ගත්තේ ඔහුගේ මවය. නමුත් ඇයද සිටියේ සැමියා අතහැරය. ඒ වෙනත් අයෙකු සමග රත්නපුරයේ ජීවත් වෙමිනි. ඒ අනුව පිය පුතු දෙදෙනා කරන්දෙණියේ ජීවත්වූයේ ගැහැනුන් නොමැතිවය.

ප්‍රශ්න කරන්නට මුලින්ම ‍පොලිස් භාරයට ගන්නේ මාතර සිටි පුතාවය.
‍පොලිසිය  ඔහු කොටුකරගන්නේද තමන් ‍පොලිසියෙන් බව ඔහුටද නොදැනෙන්නටය. ඔහුගෙන් ප්‍රශ්නකරන්නට වූයේද එසේමය.

‍පොලිසියේ ප්‍රශ්න කිරීම් වඩාත් දැඩි වන්නට වූයේ ඔහු ඒ ත්‍රිත්ව ඝාතනය ගැන යමක් දන්නා බව එම ප්‍රශ්න කිරීම්වලදී පෙනී යන්නට වූ බැවිනි.
පුෂ්පලතාගේ සැමියා වෙත එල්ල වූ ත්‍රිත්ව ඝාතන සැකය  හුදෙක් සැකයක් බවට පමණක් පත්වෙමින් ඒ ඝාතන අභිරහස තවදුරටත් අභිරහසක් නොවන්නේ එහිදීය. ඒ ඔහු සියල්ල වමාරන්නට ගන්නා බැවිණි.

ඊට අනුව ඒ ත්‍රිත්ව ඝාතනය කරනු ලබන්නේ මේ පියපුතු දෙදෙනා විසිනි. ඊට මුල්වන්නේ මේ දෙදෙනා වරින් වර පුෂ්පලතා සමග අනියම් ඇසුරකට කළ ආරාධනාව ඇය විසින් ප්‍රතීක්‍ෂේප කරනු ලැබිමය. බිරින්දෑවරුන් නැති ඔවුන් දෙදෙනා ඇය සමග සම්බන්ධ වන්නට උත්සාහ ගත්තේ බිරිඳගෙන් ඉටුකරගන්නට ඇති අවශ්‍යතාව සපුරාගන්නට මිස අඹුවක් ලෙස ඇයව තබා ගන්නට නොවේ. ඇය මොවුන්ගේ ඒ ආරාධනාවට ප්‍රතිචාර දක්වා ඇත්තේ ලුණු ඇඹුල් ඇතිවය. ඒ නිසා ඔවුන් ඇය කෙරෙහි සිට ඇත්තේ දැඩි වෛරයකිනි.

ඒ වෛරය මේ දෙදෙනා පිරිමසා ගන්නේ ඉකුත් 24 වෙනිදා ගමේ පැවැති මගුලකට ගොස් හොදහැටි සප්පායම් වී නිවසට යමින් සිටියදී ඇති වූ සිතුවිල්ලකට අනුවය.

“තාත්ත මට කිව්වා ගෙදරට ගිහින් කැත්ත අරන් වරෙන් කියල. මේ ගෑනි හිටියොත් අපිට කරදරයක්. මේකි අපිට අවලාද කරනවා. කුණුහරුපෙන් බණිනව කියල. ඒ නිසා මම කුරුඳු කපන කැති දෙකම ගෙනාව. ගෙදර වහලත් බිත්තියත් අතර ඇති හිඩැසෙන් කාමරයට රිංගුවා. 

තුන්දෙනාම හිටියේ තද නින්දේ. කළුවර නිසා හරියට කිසිම දෙයක් පෙනුනේ නැති නිසා ලයිට් දැම්ම. ඒ එක්කම ගෑනි ඇහැරුණා. කෑගහන්න හදනකොටම කැත්තෙන් බෙල්ලට කෙටුවා.’ හිස් කඳින් වෙන්වන සේ පුෂ්පලතාත්, අහිංසක දරු දෙදෙනාත් මැරූ ආකාරය ඔහු පියවරෙන් පියවර විස්තර කළ අන්දම පුවත්පතක ලියන්නට බැරි තරමට බිහිසුණුය. ජුගුප්සාජනකය.

පුත්‍රයා විසින් කරන ලද මෙම අනාවරණයට  අනුව ඔහුගේ පියාවද පොලිසිය අත්අඩංගුවට ගත්තේය ඒ එම ත්‍රිත්ව ඝාතනයට යොදා ගත් කුරුඳු කපන කැති දෙකද සමගිනි.

මේ වෛරයට මුල් වී ඇත්තේ සැකකාර පියා කාලයක් පුෂ්පලතා සමග අනියම් ඇසුරක් පවත්වා පසුව ඇය ඔහුව අතහැරීමකි. ඊට මුල්වන්නේ කුරුඳු කපන්නට ඇඹිලිපිටියේ සිට කරන්දෙණියට පැමිණි අයෙකු සමග ඇය පෙමින් වෙලීමයි. 

නමුත් ඒ පෙමට වැඩි කාලයක් ආයුෂ තිබි නැත. ඒ ඔහු අභිරහස් ලෙස  ඝාතනය වන බැවිනි. ඒ ඝාතන සැකයද එල්ලවී තිබුණේ මේ සැකකාර පියා වෙතය. එහෙත් සාක්ෂී නොමැති කමින් ඔහු ඒ චෝදනා වලින්  නිදහස් විය. ඒ 1998 වසරේදීය.

තම පෙම්වතාව මරා දැමුවේ මෙම පුද්ගලයා විසින් යැයි විශ්වාස කළ  බැවින් පුෂ්පලතාගෙන් ඔහුට කිසිවිටකත් සමාවක් නොවීය. අනියම් ඇසුරක් පතා එන සෑම විටකම බැන වැදී ඇය ඔහුව පන්නා ගත්තේ එබැවිනි. දරුවන් දෙදෙනාගේත්, ඇගේත් කෲර ඝාතනවලට මුල්වන්නේ ඒත් සමගම ඇය කෙරෙහි ඇතිවන වෛරය බව විමර්ශකයන්ට අවසානයේදී පැහැදිලි විය.

ෆේස්බුක් පෙම විශ්වවිද්‍යාල පෙම්වතා ඔහුම සෑදූ සයනයිඩ් වලින් ඉවරවු අභිරහස... 
අවුරුදු 20ක අනියම් සම්බන්ධය නිසා මව පුතා සහ දියණිය එකම දා එකම තැන අවසන් ගමන් ගිය හැටි
 
Related Posts with Thumbnails