Ads 468x60px

.

අපේ විවාහයට දින නියම කරගෙන ඉවරයි - නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ පසුගිය කාලයේදී අපගේ කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නන් බවට පත් වෙලා සිටියා. ඔවුන් ගැන ආරංචි වුණු අලුත් ම තොරතුර තමයි ඔවුන් දෙදෙනා හෙට අනිද්දා ම විවාහ වෙන්න සූදානම් වන බව. 

නෙහරා කෙතරම් කාර්ය බහුල වුණත් ඇය මේ දිනවල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරන බවත් අපට දැනගන්න ලැබුණා. නෙහාරාගේ පෞද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතයේ අලුත් ම තොරතුරු දැනගන්න පසුගිය දිනෙක අප ඇය හමුවුණා.

ඉතින් නෙහාරා මොනවද අලුත් තොරතුරු?


හොඳින් ඉන්නව. මේ දවස්වල මම ‘අම්මාවරුනේ’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘දෙරණ’ නාළිකාවේ ‘ටී පාටි’ වැඩසටහන මෙහෙයවන්නත් දායක වෙනවා. ඒ වැඩත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ. ඒ වගේ ම මම මේ දවස්වල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරනවා. ඒකෙ ට්‍රේනින් වලටත් මේ දවස්වල යනවා. මම හරි ම ආශාවෙන් තමයි මේ මොන්ටිසෝරි පාඨමාලාව හදාරන්නෙ.

ඇයි කලාවෙන් ඈත්වෙලා මොන්ටිසෝරියක් දාන්න ද කල්පනාව?

නැහැ. එහෙම නෙමෙයි; මම කැමැතියි ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේ ම මගේ ජීවිතයට සුදුසුකම් වැඩි කරගන්න. සමහර විට කලා ක්ෂේත්‍රයෙන් ගිය දවසක මම මොන්ටිසෝරියක් දමාවි.

එන්න තියෙන ඔබේ නිර්මාණ?

මම රඟපෑ සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’ ටෙලිනාට්‍යය එන්න තියෙනවා.

මෙවර රයිගම් සම්මාන උලෙළේදීත් ජනප්‍රිය ම නිළියට හිමි සම්මානය ඔබ බලාපොරොත්තු වුණා ද?

මීට ඉස්සර සම්මාන උලෙළ හතරේදී ම ජනප්‍රිය ම නිළි සම්මානය ලැබුණේ මට. ඒ කිසිම අවස්ථාවක ඒක මට ලැබෙයි කියන බලාපොරොත්තුව තිබුණේ නැහැ. නමුත් වසර 4 කදීම මට එය ලැබුණා. මෙවරත් මම එය බලාපොරොත්තු වුණේ නෑ. මම සම්මාන උලෙළට සහභාගි වුණා. මෙවර ජනප්‍රියම නිළිය වුණේ ආශා එදිරිසිංහ. 


මම ආශාට හදවතින්ම සුබ පතනවා. ඒ වගේ ම සම්මාන හිමිවුණු අනෙකුත් සහෝදර ශිල්පී සියලු ම ‍ෙදනාට සුබපතනවා. එක දිගට එක් අයෙකුට එකම සම්මානයක් ලැබීමට වඩා වෙනත් අයට එය ලැබීම සුදුසුයි කියල මම හිතනවා. ඒ නිසා ආශා මෙවර ජනප්‍රිය ම නිළිය වීම ගැන මම සතුටු වෙනවා.

දක්ෂතම නිළියට හිමි සම්මානය ඔබට ලැබුණොත්?

ලැබුණොත් මම ගොඩක් සතුටු වේවි. ඒකට වාසනාව වගේ ම හොඳ හැකියාවකුත් තියෙන්න ඕන. මේ කිසිම සම්මානයක් ලබාගන්නව කියන ඉලක්කයක් මට නැහැ. මම හැම තිස්සෙම මගේ රංගනය උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා.

සිනමාව තුළ ඔබ දකින්න නැත්තෙ ඇයි?

ඔව් ඒක ඇත්ත. ඇත්තෙන් ම මට සිනමාවෙ වැඩිය ආරාධනා ලැබෙන්නේ නෑ. පසුගිය කාලෙ සිනමා නිර්මාණ 5 කට ආරාධනා ලැබුණා. නමුත් විවිධ හේතූන් මත ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. ගොඩක් දෙනෙක් හිතනව සිනමාව ප්‍රබලයි කියල. හැබැයි මම නම් හිතන්නෙ අද කාලෙ ප්‍රබලම රූපවාහිනිය.

අතිවිශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් රූපවාහිනිය නරඹනවා. නමුත් චිත්‍රපටයක් නරඹන්න යන්නෙ කී දෙනා ද? අද මිනිස්සුන්ට සිනමා ශාලාවකට යන්න වෙලාවක් නෑ. ඒ වගේ ම ඒකට වැය කරන්න තරම් මුදල් නෑ. ඒ නිසා සමාජයේ ප්‍රබල වෙලා තිබෙන මාධ්‍ය රූපවාහිනිය කියලයි මම හිතෙන්නේ. හැබැයි මම ගොඩක් ආශායි හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න.

දෙරණ නාළිකාවේ ‘ටී පාටි’ වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ඉතාම ආශාවෙන් තමයි ඒ වැඩසටහන කරන්නේ. මේ වැඩසටහනේ දී දක්ෂ ජනප්‍රිය. කලා ශිල්පීන් මට හමුවෙනවා. ඒක විශාල සතුටක්.

අද නළු නිළියන් ගොඩක් දෙනෙක් ටෙලිනාට්‍ය නිර්මාණය කරනවා. ඔබට බලාපොරොත්තුවක් නැතිද ඒ ගැන?

තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. කොහොමත් මම තනිවම එහෙම දෙයක් කරන්නේ නෑ. කළොත් කරන්නෙ මේනකත් එක්ක එකතු වෙලා. බලමු අනාගතයේදී ඒකට සුදුසු පරිසරයක් හැදේවිද කියලා.

මේනකගේත් ඔබේත් විවාහය ළඟදී සිදුවෙනවාද?

ඔව් අපි ඉතාම ළඟදී විවාහ වෙනවා. දැනටමත් ඒකට දිනයක් වෙන්කර ගෙනයි තියෙන්නේ. ඒත් දිනය දැන්ම කියන්න බැහැ. නමුත් ළඟදීම එය සිදුවේවි. පල්ලියේදී තමයි විවාහය සිදුවෙන්නේ.

ඔබේ ජීවිතයට ගැළපෙනම කෙනා දැන් ලැබුණා කියල ඔබ හිතනවද?

ඇත්තටම ඔව්. සීයට අනන්තයක් මම විශ්වාස කරනවා මේනක මට හොඳටම ගැළපෙනවා කියල.

මේනකත් ඔබත් එකට රඟපෑ යුතුයි කියල හිතනවද?

නැහැ. එහෙම නියමයක් නෑ. නමුත් මම නම් ආශායි අපි දෙන්නටම හැම තිස්සෙම එකට රඟපාන්න ලැබෙනවා නම්.

ඔබේ ජීවිතේ බලාපොරොත්තු ගොඩක් ඇති?

නැහැ. විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් මට නැහැ. දැන් මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේනකත් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම.
 
Related Posts with Thumbnails