Ads 468x60px

.

වෙබ් අඩවි හරහා සිදුවන ලිංගික උත්තේජක ජාවාරම...

හෝටලයක සිටියදී හදිසියේ රෝගාතුර වූ ප්‍රකට දේශපාලනඥයෙක් මීට කලකට ඉහතදී මියගියේය.

ඔහුගේ මරණය පිළිබඳ වෛද්‍ය නිගමනය වූයේ එය සිදු වී ඇත්තේ ස්වාභාවික හේතුවකින් බවය. 

දිවි ගමනේ සැඳෑ සමය පසු කරමින් හුන් එම දේශපාලනඥයා මියගියේ ස්වාභාවික හේතුවකින් වුවත් ඔහුගේ රුධිර පීඩනය එකවරම වැඩි වූයේ ඇයි දැයි කරළියට ආවේ නැත. 

එනමුත් එකල පැතිරී ගිය කතාව වූයේ ඔහුගේ රුධිර පීඩනය එකවර වැඩිවූයේ ඔහු ලිංගික උත්තේජන ඖෂධයක් භාවිතා කිරීම නිසා බවය. දේශපාලනඥයාගේ පෙර රෝගී තත්ත්වය මෙන්ම වයස හේතුවෙන්
ඔහුට ලිංගික උත්තේජන ඖෂධය ඔරොත්තු නොදුන් බැවින් ඔහුට  මරණය අත් වූ බව එකල කියවිණි.

දස වසරකට පමණ ඉහතදී වූ මේ සිද්ධිය අපගේ මතකයට නැගුණේ ලිංගික උත්තේජන ඖෂධ පිළිබඳ කර ඇති නවතම හෙළිදරව්ව හේතුවෙනි. ඒ හෙළිදරව්වේ පසුබිම් කතාව මෙසේය.


අන්තර්ජාතික ‍පොලීසිය විසින් ලොව පුරා රටවල් 100ක පමණ ව්‍යාපාරික කටයුතු කරන ඖෂධ සමාගම් නියෝජිතවරුන් ඉකුත් 12,13,14 යන තෙදින තුළ ප්‍රංශයට  කැඳවා තිබුණි.


ඒ මේ වන විට අන්තර්ජාලය හරහා කෙරෙමින් පවතින  ඖෂධ ජාවාරමක තොරතුරු හෙළි කිරීමටය. කෙසේ නමුදු නීතියේ හැටියට නම් වෛද්‍ය නිර්දේශවලින් තොරව රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම්ය.


ඊට ප්‍රධාන හේතුව වන්නේ වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ භාවිතය ජීවිත අවදානමකට හේතුවන නිසාය. වෛද්‍ය නිර්දේශවලින් තොරව බොහෝ පිරිසක් ඖෂධවලට යොමුවන්නේ ලිංගික උත්තේජනයන් මෙන්ම මත්වීමට බව වෛද්‍යවරු පෙන්වා දෙති.

අන්තර්ජාලය භාවිතා කරමින් මේ වන විට බොහෝ පිරිසක් ලිංගික උත්තේජනයන් දෙන ඖෂධ හා මත්ගතිය ඇතිකරවන ඖෂධ ඇනවුම් කිරීමට විශාල වශයෙන් පෙළඹී තිබෙන බව අන්තර්ජාතික ‍පොලීසිය ප්‍රංශයේ පැවැති වැඩමුළුවේදී ඖෂධ සමාගම්වලට පෙන්වා දී ඇත.


ලෝකයේ දියුණු රටවල ජයටම කෙරීගෙන යන මෙම ජාවාරම මගින් ඖෂධ ජාවාරම්කරුවන් විශාල වශයෙන් මුදල් උපයමින් තිබෙන බවද අන්තර්ජාතික ‍පොලීසිය හෙළිදරව් කර ගෙන තිබේ.


මෙම ජාවාරම හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැනීමට බොහෝ පිරිසක් පෙළඹීම බරපතළ තත්ත්වයක් බවත් එයින් විවිධ සංකූලතා  ඇතිවීම වැළැක්විය නොහැකි බවත් මෙම සමුළුවේ දී සිය අදහස් දක්වමින් ඇමෙරිකානු, එංගලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශය ආදී රටවල ඖෂධ විශේෂඥවරුන් පවසා තිබේ. 


මේ ඖෂධ ජාවාරම් කරන වබේ අඩවි විශාල සංඛ්‍යාවක් බටහිර රටවල මේ වන විටත් තහනම් කර ඇති මුත් එසේ තහනම් කරන වබේ අඩවි වෙනුවට නැවතත් අලුතින් නව වබේ අඩවි විවෘත කරන බව අන්තර්ජාතික  ‍පොලීසිය මෙහිදී හෙළි  කර ඇත.

මෙසේ නැවත නැවත විවෘත වන නව වබේ අඩවි තහනම් කිරීමට සියලුම රටවල් අවදියෙන් සිටිය යුතු බවට ජාත්‍යන්තර ‍පොලීසිය පවසා  ඇත්තේ ලිංගික උත්තේජන ඖෂධ සඳහා මත්ද්‍රව්‍යවලට මෙන් ලොව පුරා ජනතාව ඇබ්බැහි වෙමින් සිටින බැවිනි.


වෛද්‍ය විශේෂඥවරුන් මෙම සමුළුව අමතමින් මෙහි තවත් භයානක පැත්තක් හෙළිදරව් කර තිබේ. ලිංගික උත්තේජනයක් ඇතිකරන ඖෂධ ලබාගත යුත්තේ අධි රුධිර පීඩනයන් නොමැති මෙන්ම ශරීරයේ යම් යම් රෝගී තත්ත්වයන් නොමැති පුද්ගලයින්ය. 


එහෙත් මෙසේ වෛද්‍ය නිර්දේශයකින් තොරව  රුධිර පීඩනය මෙන් විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් අන්තර්ජාලයෙන් ඖෂධ ඇනවුම්කර ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්වීමේ සම්භාවිතාව බොහෝ වැඩිය.මෙම ඖෂධ භාවිතයෙන් රුධිර පීඩනය වඩාත් වැඩි වී එය හෘදයාබාධයක් එසේත් නොමැති නම් මොළයට විශාල හානියක් ඇතිකරන තත්ත්වයන් මත එම පුද්ගලයාව සදාකාලිව එක්තැන් වීමට හෝ මියයාමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව තුළද මෙවැනි සිදුවීම් මීට කලකට පෙර වාර්තා වූ බැවින් වෛද්‍ය නිර්දේශවලින් තොරව එවැනි ඖෂධ අලෙවිය තහනම් කෙරුනි.
එමෙන්ම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ලංකාවේ තරුණ පුද්ගලයන් එම මත්ද්‍රව්‍ය නොලැබි යාම හේතුවෙන් මත්වීමට විවිධ ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට පෙළඹී ඇති බව පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය. 


එසේ මත්වීමට අධි මාත්‍රාවෙන් ඖෂධ ගත් පුද්ගලයෝ කීප දෙනෙක් ඉකුත් කාලයේ දී මියගියහ. එහෙත් ඔවුන් මියගියේ අන්තර්ජාලය හරහා ඖෂධ ඇනවුම් කර භාවිතා කිරීමෙන් නොව ඖෂධහල් වලින් හොර පාරෙන් මිලදී ගෙන ඖෂධ භාවිතා කිරීමෙනි.

ඖෂධ පමණක් නොව රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන විවිධ ආ‍ලේපන වර්ගද මත් වීම සඳහා භාවිතා කිරීමට තරුණයන් පෙළඹී තිබේ.
නීති විරෝධී අන්දමින් නිෂ්පාදනය කරන මෙම ද්‍රව්‍ය තුළ බැරලෝහයන් වන ආසනික්, කැඩ්මියම්, රසදිය විශාල අනුපාතයන්ගෙන් අඩංගු කර නිෂ්පාදනය කර තිබෙන බව රසායනාගාර පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.


මේවා දිගු කාලයක් භාවිතා කිරීමෙන් ස්නායු පද්ධතියට බරපතළ හානි පැමිණෙන අතරම සමට වකුගඩුවලට, අක්මාවට, හෘදයට හා මොළයට විශාල බලපෑමක්  එල්ල කිරීමටද සමත්ව තිබෙන බවත් එය බොහෝ විට පිළිකා තත්ත්වයක් විය හැකි බවත් සොයාගෙන තිබේ.


විශේෂයෙන්ම රූපලාවන්‍ය සඳහා සමේ ආ‍ලේප කරන ක්‍රීම් වර්ග බොහෝමයක් තුළ රසදිය  විශාල අනුපාතයන්ගෙන් අඩංගු කර තිබිම මගින් සමේ කළු පැහැ ගති ඇතිකරවන මෙලනින් නමැති වර්ණකය නිෂ්පාදනය කරවීම ඇනහිටවයි. 


මේ හේතුවෙන් සමේ සුදු පැහැයක් ඇතිවේ. වෙළෙඳ‍පොළේ අලෙවි වන ක්‍රීම් වර්ග සමේ (විශේෂයෙන් මුහුණේ) ආ‍ලේප කිරීම මගින් සම සුදු පැහැයක් ගනුයේ මෙලනින් නිෂ්පාදනය අඩාල කර ඇති නිසාය.

මෙලනින් වර්ණකය සම ආරක්ෂා කරන ආරක්ෂිත ඇසුරුමක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම ආරක්ෂිත උපක්‍රමය නොමැති වීමෙන් පාර ජම්බුල කිරණ එක එල්‍ලේ සමට පතිත වී සම තුළ පිළිකා තත්ත්වයන් වැනි භයානක රෝගාබාධ ඇතිකරවන බවද පෙන්වා දේ.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මෙසේ පැවැසීය.


“රට හැම තැනම ව්‍යාජ අන්දමින් විවිධ ඖෂධ වර්ග, ආ‍ලේපන වර්ග අලෙවි වෙනවා. ඒ විතරක් ‍නෙවෙයි නිෂ්පාදනයත් වෙනවා. අපි මේ වන විට වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධනිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ  ජනතාවගේම යහපත වෙනුවෙනි. 


ඒත් කෙතරම් නීති රීති දැම්මත් ව්‍යාජ ලෙස මේවා අලෙවි කරන බව අපට දැනගන්නට ලැබෙනවා. මත්වීම සඳහා විවිධ ඖෂධ භාවිතා කරලා රෝගී තත්ත්වයට පත් වෙලා රෝහල් ගත වුණාට පසුව කරන පරීක්ෂණවලින් තමයි තහවුරු වන්නේ මේ පුද්ගලයා අසවල් ඖෂධය පානය කරලා රෝගී වුණා කියලා. 

ඒ හෝඩුවාව හරහා තමයි අපි ‍පොලීසියත් එක්ක ගිහිල්ලා එම ඖෂධය අලෙවි කළ ඖෂධ අලෙවි  කරන ස්ථාන වටලන්නේ. ඒත් එක්කම මේ සඳහා අපට මහජනතාවගෙන් විශාල වශයෙන් තොරතුරු ලැබෙනවා. 

පසුගිය දිනවල කිසිම සනීපාරක්ෂක පහසුකමක් නොමැති ස්ථානවල ව්‍යාජ ලෙස සුවඳ විලවුන් නිෂ්පාදනය කළ, තත්ත්වයෙන් බාල ඖෂධ ව්‍යාජ ලෙස ගෙන්වා ඇසුරුම් කළ, කල් ඉකුත් වූ ඖෂධවල ‍ලේබලය වෙනස් කර  අලෙවි කිරීමට සූදානම් කළ ස්ථාන බොහෝමයක් වටලා එම පුද්ලගයන්ව නීතිය ඉදිරියට පමුණුවන්න කටයුතු කළා. 

අපි දිගින් දිගටම මෙවැනි වැටලීම් කරනවා. ඒ නිසා දැන් මෙම ඖෂධ ව්‍යාපාරිකයන් අන්තර්ජාලයට යොමු වෙලා එමගින් ඖෂධ හා ආ‍ලේපන ඇනවුම් කිරීමට පෙළඹෙන්න ඉඩ තිබෙනවා. මගේ විශ්වාසය දැනටමත් අන්තර්ජාලය භාවිතා කරමින් මෙම ව්‍යාජ වෙළෙඳාමේ පිරිසක් යෙදෙනවා ඇති කියලයි. 

කොහොම නමුත් අපි ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් පිරිසකට විශේෂ පුහුණුවක් දෙන්න අදහස් කරලා තියෙනවා. ඒ පුහුණුව හරහා මෙවැනි වබේ අඩවි හඳුනා ගැනීමට කටයුතු කරනවා. එසේ හඳුනාගත් පසුව ඒවා වහාම තහනම් කිරීමට කටයුතු කරන්න ජාතික ඖෂධ අධිකාරිය ‍පොලීසිය සමග එකතු වී කටයුතු කරනවා.

විශේෂයෙන්ම අන්තර්ජාලය පරිහරණය කරන්නේ පාසල් ළමුන් හා තරුණ පිරිස. ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් කෙරෙහි වැඩි  අවධානයක් යොමු කරන්න කියලා.” හෙතෙම කීවේය.


ශ්‍රියානි විජේසිංහ
 
Related Posts with Thumbnails