Ads 468x60px

.

දියණියන් දෙදෙනා ගඟට වීසි කළ තාත්තාත් ඒ ගඟටම පැන දිවි පුදයි...

"ගඟට පනින්නට අපි 
ආවත් පමා වුණා නම් 
ළමයින් මිනීමරු 
කිඹුලන්ට බිලි 
වෙනවා"

තම සිඟිති දියණියන් දෙදෙනා මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ පියාගේ සිරුර ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් ඊයේ (25 වැනිදා) සවස සොයා ගෙන තිබෙනවා.

චන්දන සමන් ද සිල්වා නමැති පියා දියණියන් දෙදෙනා නිල්වලා ගඟට දමා පසුව ඔහු ද සිය දිවි හානිකර ගැනීමට ගඟට පනින ආකාරය නගරවාසීන් දැක ඇති බව පොලිසිය පවස
නවා.


පවුල් ප්‍රශ්නයක්‌ දුරදිග යැම නිසා කෝපයට පත් වූ මෙම පුද්ගලයා තම සිඟිති දියණියන් දෙදෙනා පෙරේදා (24 වැනිදා) පෙරවරුවේ නිල්වලා
ගඟට දැමූ අතර හමුදා සෙබළු සිව්දෙනකු එම දැරියන් බේරා ගත්හ.

දිවි ගලවා ගත් සිඟිති දැරියන් දෙදෙනා මේ වන විට සුවය ලබා තම මවගේ රැකවරණය මත සිටින බව පොලිසිය පවසයි. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර ළමා හා කාන්තා අංශයේ ස්‌ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.



"පෙරේදා දහවල් 11.30 ට පමණ අපි මාතර නිල්වලා ගඟේ පාලම ළඟ කෑම්ප් එකේ සිටියදී පාලම පැත්තෙන් මිනිස්‌සු කෑගසන සද්දයක්‌ ඇහුණා. ඒ වෙලාවේදී අපි හතරදෙනෙක්‌ පාලම ළඟට ගිහින් බලද්දී, එතැන සිටි මිනිස්‌සු කිව්වා කවුදො කෙනෙක්‌ ළමයින් දෙදෙනෙක්‌ව ගඟට වීසි කළා කියලා. එවිට අපි ගඟ දිහාව බැලුවාම අපි දැක්‌කා පුංචි ළමයින් දෙදෙනෙක්‌ ගඟේ පාවෙමින් ඉන්නවා. 

මේ වෙලාවේ අපි හිතුවා පොඩි දෙන්නා බේරාගන්න ඕනෑ කියලා, අපිත් ගඟට පැන්නා. තව ටිකක්‌ පමා වුණා නම් මේ පුංචි දෙන්නාව කිඹුල්ලු කනවා" යෑයි පියකු විසින් මාතර නිල්වලා ගඟට වීසිකරන ලදුව ඉන්පසුව ගඟට පැන ඒ ළමයින්ගේ දිවි බේරාගත් වීරෝදාර හමුදා සෙබළුන් වන මාතර ගැමුණු හේවා කඳවුරේ ලාන්ස්‌ කෝප්‍රල් මානගේ, සාමාන්‍ය සෙබළ කේ. පුෂ්පකුමාර, ඒ. ද සිල්වා සහ කේ. එල්. සී. මදුසංක ඊයේ පැවසූහ.

මෙම වීරෝදාර සෙබළුන් හතරදෙනාට යුද හමුදා උපහාර පිරිනැමීමට යුද හමුදාවේ දයා රත්නායක මහතා තීරණය කර ඇත.

ඊයේ එම හමුදා පිරිස මෙසේ ද කීහ.

"මාතර නිල්වලා ගඟේ හරියට කිඹුල්ලු ඉන්නවා. උන් මිනී කන කිඹුල්ලු. අපි ගඟට පනින්නට තව ටිකක්‌ පමා වුණා නම් මේ පුංචි බබාලා දෙන්නාම කිඹුල්ලුන්ට බිලි වෙනවා. අනිත් එක ළමයින්ව ගඟට විසිකරලා තිබුණෙත් ටිකක්‌ ඈතට වෙන්න. ඒ නිසා අපිට සෑහෙන දුරක්‌ පීනලා යන්නත් සිදුවුණා."

"කොහොම හරි අපි තීරණය කළා, අපේ ජීවිත පරදුවට තබා ගඟට පැනලා මේ දෙදෙනා බේරාගන්න ඕනෑ කියලා. එහෙම හිතලා තමයි අපි හතරදෙනා එක්‌කෙනා පසුපස එක්‌කෙනා ගඟට පැන්නේ. ළමයින්ගේ වාසනාවට අපිට පුළුවන් වුණා ඒ ජීවිත බේරාගන්නට"

මෙම පුංචි දරුවන් ගඟට වීසි කළ බව කියන ඔවුන්ගේ පියා ද ඊයේ නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවත් ගං ඉවුරේ තිබුණු සපත්තු කුට්‌ටමක්‌ දැක ඒ පිළිබඳව සැක සිතී ගඟට පැන පරීක්‍ෂා කිරීමේදී දරුවන් දෙදෙනාගේ පියාගේ මළ සිරුර හමුවී ඇති බවත් අප වෙත වාර්තා වුණා. ඉන්පසුව එතැනට පැමිණි ඒ පුද්ගලයාගේ ඥතීන් විසින් ඔහුගේ මළ සිරුර හඳුනාගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය භාරයට ගෙන සිටි දැරියන් දෙදෙනාගේ මව පොලිසියට පවසා ඇත්තේ එදින දහවල් තම සැමියා පුංචි ළමයින් දෙදෙනා ද රැගෙන "මං පොලිසි යනවා" කියා ගෙදරින් පිටවී ගිය බවයි.

තමාගේ දරුවන් කිසිම විටක පරිවාස භාරයට නොදෙන බවත් කෙසේ හෝ තමා ළමයින් පෝෂණය කරන බවත් එම කාන්තාව පැවසුවාය.
 
Related Posts with Thumbnails