Ads 468x60px

.

ජනපතිවරණය මුල්කොට වෙඩිතබා - ගිනිතබා ගන්නා බව කී ‍ජ්‍යෙතිර්වේදීන්


මෙවර ජනාධිපතිවරණයත් සමග දේශපාලනයනට අමතරව ‍පොදු ජන සමාජයේ කතා බහකට ලක්වූ තවත් විශේෂ මාතෘකාවක් තිබිණ. එනම් ‍ජ්‍යොතිෂයයි. 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරණය 2015 ජනවාරිය තෙක් වසර දෙකක් මෙපිටට ඇද ගෙන එන්නට පදනම් වූ ප්‍රබල නිශ්චිත දේශපාලනික හේතුවක් ඉදිරිපත් වූයේ නැත. 

එබැවින් මෙම ජනපතිවරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය අනුව ඔහුගේ රාජකීය ‍ජ්‍යොතීර්වේදියා වන සුමනදාස අබේගුණවර්ධන විසින් සකසා දුන් සුබ කල දසාවක් තුළ පැවැත්වුණු බව රට පුරා ප්‍රචලිත විය. එහෙත් එමගින්  සිදුවූයේ කුමක්ද? 

2016 වසර තෙක් තව වසර දෙකක් කිසිදු අපල උපද්‍රවයකින් තොරව සුවසේ තම පදවියේ රැඳී සිටීමට වාසනා මහිමයක්  තිබූ රාජපක්ෂ
ජනාධිපතිවරයාට ඉතා ඛිෙදනීය ලෙස පසුගිය ජනවාරි 09 දා අකාලයේ ශ්‍රී ලංකාවේ මුල් පුරවැසි භූමිකාව හැර ගෙදර යාමට සිදුවීමය. 

කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති හුදු මනඃකල්පිත සිද්ධාන්ත මත ස්ථාපිත වූ ‍ජ්‍යොතිෂ්‍යයෙන් අනාවැකි කිව නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එහෙත් මෙරට ජනතාවගේ ජීවන උපකාරක ශාස්ත්‍රයක් වශයෙන් සියවස් කිහිපයක් අතීතයට දිව යන  ඉතිහාසයක් ‍ජ්‍යොතිෂ්‍යය සතු ය. 

නමුදු දැනට දශක කිහිපයක සිට එම ක්ෂේත්‍රයේ නියුතුව සිටි සාම්ප්‍රදායික ‍ජ්‍යොතිර්වේදියාගේ භූමිකාව මේ වන විට බොහෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් කුණු කාණු පල්ලට හෙළා තිබේ. ඒ ‍ජ්‍යොතීර්වේදීන්ගේ නාමයෙන් තම මාධ්‍ය තුළට රිංගා ගත් කපටි ජාවාරම්කරුවන් තම මාධ්‍ය තුළින් මුල්කොට ජනකාන්ත සුපිරි තරු බවට පත් කිරීමෙනි. 

ඒ අනුව අද වන විට මාධ්‍ය ඔස්සේ ‍ජ්‍යොතිෂ්‍යය මගින් අනාවැකි කීම ශාස්ත්‍රයකට වඩා ‘මරු කියැවීමක්’ දක්වා දුරදිග ගොස් ඇති බවක් ද අපට දැකගත හැකිව තිබේ.

මෙවර ජනාධිපතිවරණයෙන්  මහින්ද රාජපක්ෂ මහතා ඒකාන්තයෙන් නැවත මෙරට ජනාධිපති බවට පත්වන බවත් එසේ නොවුණහොත් තමන් සිරුරට ගිනි තබා ගන්නා බවත් මාපලගම විමලරතන නම් ‍ජ්‍යොතීර් වේදියකු මාධ්‍යයක් මගින් ‘මරු කියැවූ‘ අයුරු අප කාටත් හොඳින් මතකය. 

මේ අතර ආධ්‍යාත්මවේදී යන නාමයෙන් පෙනී සිටිමින් මාධ්‍ය මගින් දුර්මත වපුරන චන්ද්‍රසිරි බණ්ඩාර  නමැත්තකු ‘සිරස’ රූපවාහිනියේ සටන වැඩසටහන ඔස්සේ පවසා සිටියේ මෙවර ජනාධිපතිවරයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්නොවුවහොත් තමන් වෙඩි තබා ගන්නා බව ය. එයද ‍ජ්‍යොතිර් අනාවැකියකටත් වඩා ළංවනුයේ මරු කියැවීමකටය. මක් නිසාදයත් ‍ජ්‍යොතිෂ අනාවැකි යනු කිසිවිටකත් හැඟීම් අවේග බහුල ප්‍රකාශ නොවන නිසාය.  

ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ‍ජ්‍යොතිෂයේ නාමයෙන් ‍ජ්‍යොතිර්වේදීන් ගේ අදහස් ලෙසින් ප්‍රචාරය වූ මෙවන් ඔල්මාද කතා නිසා ‍ජ්‍යොතිෂය නම් වූ පැරණි ශාස්ත්‍රය කුණු කාණු පල්ලට ඇද වැටෙන බව එම ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවීණයෝ කියති. 

ඒ කෙසේ හෝ ‍ජ්‍යොතිර්වේදයෙන් අනාවැකි කීමක් මුල් කොට ගත් රසවත් අත්දැකීමක් මා සතුය. එය මෙලෙස මරු කියවන ‍ජ්‍යොතිර්වේදීන්ට මතක සිටින පාඩමක් කරගත යුතුය.

ඒ සිදුවීම මෙලෙසිනි. 

දෙදහස් දෙක වසරේ එක්තරා දිනයෙක මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයෙන් ඇරයුමක් ලැබිණ. ඒ විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති සහ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්තවිමල හිමිපාණන් වෙතිනි. 

එම විහාරයේ පැවැති දහම් හමුවකදී “නූතන ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ මිථ්‍යා විශ්වාස” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීම එම ඇරැයුමේ නිමිත්ත විය. 

මා එහි යන විට විශ්ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ විහාරස්ථානය සම්බන්ධ වෙනත් දායක කාරකාදීන්ගෙන් සමන්විත සියයක පමණ පිරිසක් එහි රැස්ව සිටියහ. 

ශ්‍රී ලාංකීය බෞද්ධ ජන සමාජයේ මිථ්‍යා විශ්වාස පිළිබඳ විස්තර කරමින් එම දෙසුම පවත්වාගෙන යන අතරේ අලි ජංජාලයකට පටලැවෙන්්නට මට සිදුවිය. ඒ බුද්ධකාලීන භාරතීය ‍ජ්‍යොතිෂය හුදු නැකත් ශාස්ත්‍රයක් ලෙස මිස අනාවැකි කීමේ ශාස්ත්‍රයක් වශයෙන් වර්ධනය වී නොතිබූ බවක් කියන්නට යාමෙනි. 

ඒ කියුම අසා බලවත් නොසන්සුන් බවට පිරිසේ සිටි පුද්ගලයකු අතපය වීසිකරමින් කෑ ගසන්නට වූයේ මා බුදු දහම වැනසීමට ක්‍රියා කරන දේවදත්තයෙකු බව අඟවමිනි. වාග් ප්‍රහාරය සංසිඳුවීම පිණිස මැදිහත්වීමට පූජ්‍ය ශාන්තවිමල හිමියන්ට සිදුවිය. 

එම තැනැත්තා මඳකට නිහඬ කළ උන්වහන්සේ ද ප්‍රකාශ කොට සිටියේ අටුවා සියල්ල සමග මුළු ත්‍රිපිටකයම පරීක්ෂා කළ ද බුද්ධකාලීන ‍ජ්‍යොතිෂය අනාවැකි කීමක් ලෙසට යොදා ගත් බවට එකම සාක්ෂියක්වත් සොයාගත නොහැකි බව ය. එමෙන්ම මවෙත එල්ල වූ එම ආරෝව සිදුහත් කුමරුන්ට නම් තබන දිනයේ කොණ්ඩඤ්ඤ බමුණා කී අනාවැකිය පදනම් වූවකි. 

මා දෙසුමේදී හෙළි කළ ලෙසම එය පළ කළ කුමරාගේ දේහ ලක්ෂණ බලා අනාවැකියක් මිස කුමරුන්ගේ හඳහන බලා කී දෙයක් නොවන බව ද ශාන්තවිමල හිමියෝ ද අවධාරණය කළහ.

කෙසේ හෝ කලින් කතිකා කරගත් අන්දමට මෙම දෙසුමින් පසුව මම මගේ සමීපතම මිතුරකු හමුවීම පිණිස විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨය වෙත ගියෙමි. ඒ මිතුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භාෂා ශාස්ත්‍ර විද්වතකු, සාහිත්‍ය විශාරදයකු සේම විශිෂ්ට ගණයේ මානව විද්‍යාඥයකු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යකුව සිටි විභාවි විජය ශ්‍රී වර්ධනයන් ය.

විභාවි දැනුම් දී තිබූ අන්දමට මා ඔහු සොයා ගියේ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති කාර්යාලය ඉදිරියේ වූ ආචාර්ය මණ්ඩලයේ ‍පොදු කාමරය වෙතය.

‘ඔන්න මිථ්‍යා දෘෂ්ටිකයෙක් එනවා’ මා එම කාමරයට පිවිසි සැනින් විභාවි තමන් සමග සිටි සෙසු පිරිසට මා හඳුන්වා දුන්නේ එම සෝපාසාත්මක හැඳින්වුමෙනි.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය විද්වතුන් සේ සැලකෙන පේරාදෙණිය සරසවියේ මහැදුරු කිහිප පළක් ඒ වන විට මේ ‍පොදු කාමරයේ කෙළවරක කිසියම් කතාබහක යෙදෙමින් හිඳිනු ද ඒ අතරේ මට පෙනිණ. 

ඔවුන් අතර සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පී.ඩී. ප්‍රේමසිරි සහ දර්ශන අංශයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි යන විද්වත්හු වූහ.

කෙසේ හෝ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයේ පැවැති මගේ දෙසුම පිළිබඳව විභාවි විසින් කරුණු විමසනු ලදුව මම එහිදී මට මුහුණ දීමට සිදුවූ අලකලංචිය පිළිබඳව ඔහුට කියා සිටියෙමි. කෙසේ හෝ ඒ අද්දර සිට අපගේ මෙම කතාබහට කනින් කොණින් සවන් දුන් තරුණ කථිකාචාර්යවරියක පුවත්පත්වල පළවන ලග්න පලාඵල සම්බන්ධ යම් විස්තරයක් කළාය. 

මගේ මතකයට අනුව ඇය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියකි. අපගේ මේ කතාබහ සිදුවෙමින් යන අතර අද්දර මේසයක් වටා සිදුවෙමින් තිබූ මහාචාර්යවරුන්ගේ කතිකාවද හමාර වෙමින් තිබිණ.

‘ලග්න අනුව පලාපල කියන එක ‍ජ්‍යොතිර්වේදයේ සිද්ධාන්තවලට මුළුමනින්ම පටහැනියි; කේන්ද්‍රයේ එන ලග්නයේ විදිහට අනාවැකි කියන්න බෑ කියන එක ‍ජ්‍යොතිර්වේදයේ මූලික අදියරේදීම කියැවෙනවා’ එහිදී මම කීවෙමි.

“ලග්න අනුව විතරක් ‍නෙවෙයි කේන්දර අනුවත් අනාවැකි කියන්න බැහැ; ඒකත් ‍ජ්‍යොතිර්වේදයේ මූලික ඉගැන්වීම්වලට විරුද්ධයි“ එසැනින් කිසිවකු පවසනු ඇසිණ. එබැවින් මම හනික එදෙස බැලිමි. ඒ මහාචාර්ය ගුණපාල ධර්මසිරි ය. ඔහුගේ එම කීම ඇසුණු මට ‘දෙලෝ රත් විය’. 

නිසැක ලෙසම ඔහු මවෙත දමා ගසන්නේ බරපතළ උපහාසාත්මක වදන් පෙළකිනි. මීට මඳ වේලාවකට පෙර විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයේදී මගේ ඉහමතට කඩා වැටෙන්නට ගිය මරාලයේදී මා බේරා ගන්නට ශාන්තවිමල හිමියන් වහා ඉදිරිපත් විය. 

එහෙත් මෙවර මෙම විදග්ධ මහාචාර්යවරයා වෙතින් මා හට එල්ල වන උපහාසාත්මක අභියෝගය ඊට වඩා අතිශයින් බරපතළය. එහෙත් මෙහිදී ශාන්තවිමල හිමියන් මෙන් විභාවි ඉදිරිපත් නොවනු ඇත. 

තම පුළුල් ජීවිත පරිඥානය සහ විෂයානු බද්ධ දැනුම් අවබෝධයන් පරාසයට අමතරව සැහැල්ලු විනෝදකාමීත්වයක් ද හිමි රසවතකු වූ විභාවි තම සරසවි ආචාර්ය ප්‍රජාව පිනවීමේ ‘බයිට් එකක්’ ලෙස මා යොදා ගැනීමේ පැහැදිලි අවදානමක් තිබේ.

‘‍ජ්‍යොතිර්වේදය අනන්ත අපරිමාණ විශ්වයේ තියන ග්‍රහ තරු මේ පෘථිවි තලය හා සම්බන්ධවීම ගැන කියැවෙන දාර්ශනික පදනමකින් යුක්ත විද්‍යා ශාස්ත්‍ර ජාලයක්; පෘථිවිය කිව්වම මිනිස්සු විතරක් ‍නෙවෙයි; ගහ කොළ, සතා සීපාවා ආදී වශයෙන් මිහිතලයේ තියෙන ජීවී අජීවී හැම දෙයක්ම පෘථිවිය කියන සංයුතියට ඇතුළත් වෙනවා; පුද්ගලයා කියන්නේ ඒ සංයුතියෙන් එක අංශු මාත්‍රයක් විතරයි;” මහාචාර්යවරයා එසේ පවසනු මම සැලෙන හදින් යුතුව අසා සිටියෙමි.

“ඒ අනුව අනන්ත අපරිමාණ විශ්වයෙන් පෘථිවිය වෙත එල්ල වෙන ග්‍රහ දෘෂ්ටින් එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් හුදු; කේවල බලපෑමක් කරනවා නම් කරන්නේ අංශු මාත්‍රික විදිහට විතරයි; ඒ අනුව යම් පුද්ගලයෙකුගේ උපන් වෙලාව, ස්ථානය මත පදනම්ව සකස් වෙන කේන්ද්‍රය ඒ පුද්ගලයාගේ හුදෙක් ජීවන පලාපල විස්තරයක් විදිහට සලකන්න ප්‍රමාණික හැකියාවක් ‍ජ්‍යොතිර්වේදය තුළම නෑ” හෙතෙම කීය.

‘ඒ මොකද සර්’ ඒ සමග එහි සිටි කිසිවෙක් ඇසීය.

“මම කිව්වනේ විශ්වයෙන් ග්‍රහ බලපෑම් එල්ල වෙන්නේ පෘථිවි සංයුතියටම කියලා; දේශාංශ අක්ෂාංශ ආදී වශයෙන් ඒ සංයුතියට සීමා පැමිණෙන්න පුළුවන්; ඒ කියන්නේ යමකු උපදින දිනය, වෙලාව, එළිය, ස්ථානය මුල්කරගෙන ජන්ම පත්‍රයක් සකස් වුණත් ඒක මූලික වශයෙන් ඒ පුද්ගලයාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, විවාහ වුණාට පස්සේ බිරිඳ, දරුවන් මේ හැමෝගෙම ග්‍රහචාරයන් එක්ක තුලනාත්මකව සම්බන්ධ වෙනවා; 

ඒ වගේම තමන් ජීවත් වෙන භූගෝලීය දේශගුණික, සමාජ ආර්ථික, සංස්කෘතික මේ හැම දෙයක්මත් එකිනෙකට සම්බන්ධ වෙනවා. කෙටි උදාහරණයක් ගත්තොත් රාජ යෝගයක් එක්ක මෙලොව එළිය දකින පුද්ගලයා වටා ඒකරාශී වෙන මේ වගේ තුලනාත්මක පසුබිම් කරුණු මුල්කරගෙන ඒ පුද්ගලයාට රටක, පළාතක, ගමක හරි නායකත්වයක් හම්බුවෙන්නත් පුළුවන්; එහෙම නැත්නම් පුද්ගලයාට අනික් හැමෝටම යටත්වම යාචක ජීවිතයක් අත්වෙන්නත් පුළුවන්” මහාචාර්යවරයා කීය. 

‘එතකොට සර් කාගේ හරි කේන්ද්‍රයක් බලලා ඒ පුද්ගලයාගේ ජීවන පලාපල හරියට කියන්න බැරිද?’ එහි සිටි කිසිවෙක් මහාචාර්යවරයාගෙන් ඇසීය.

‘කියන්න බැරිකමක් නෑ; ඒත් එක සාක්කියක් විතරක් අහලා නඩුවක සාධාරණ විනිශ්චයක් දෙනවටත් වඩා සිය දහස් ගුණයක අවදානමක් තියන වැඩක්” ‍ජ්‍යොතිර්වේදයෙන් කේන්ද්‍ර බලන එක මානව ශාස්ත්‍රයක් හැටියට වර්ධනය වුණේ හුදෙක් මානව අවශ්‍යතා මතම තමයි. 

නමුත් මිනිසා පුරාණ ‍ජ්‍යොතිෂය යොදා ගත්තේ සමස්ත විශ්වයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමේ ශාස්ත්‍රයක් විදිහට, මහාචාර්යවරයා කීයේ ඒ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබූ මගේ හෘද ස්පන්දන වේගය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරමිනි.

මගේ පැමිණීම මුල්කොට විභාවි විසින් එදින සන්ධ්‍යාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය අධ්‍යයන පීඨ සමාජ ශාලාවේදී උණුසුම් සංග්‍රහයක් ද සංවිධානය කොට තිබිණ. මේ සඳහා අප දෙදෙනාගේම මිතුරකු වූ පේරාදෙණිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය සුගත් විජයවර්ධන, විභාවි සේවය කළ සිංහල අධ්‍යයනාංශයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ලක්ෂ්මන් නුගපිටිය සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ. 

සංග්‍රහය මදින් මද උණුසුම් වෙමින් පැවැතිණ. එහෙත් ඒ අතරිනුදු එදින දහව‍ලේ අසන්නට ලැබුණු මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ස්වරය මගේ මනැස තුළ නින්නාද දෙන්නට විය. එබැවින් මම ඒ පිළිබඳව නැවතත් විභාවිගෙන් අසා සිටියෙමි.

“‍ප්‍රොෆෙසර් ගුණපාල ධර්මසිරි කියන්නේ පෙරදිග ආධ්‍යාත්මික සංකල්ප ගැන ප්‍රාමාණික දැනුමක් තියන පඩිවරයෙක්; අපේ හුඟක් ෙදෙවඥයෝ කේන්දර බලන්න ඉගෙන ගන්නේ ‍ජ්‍යොතිර්වේදය ගැන ෙසෙද්ධාන්තික වශයෙන් ඉගෙන ගත්තෙත් නැතුවනේ; 

ඒත් ‍ජ්‍යොතීර්වේදය, ආයුර්වේදය කියන විෂයන් ගැන සර් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරලා තියනවා. ‍ජ්‍යොතිර්වේදය ගැන සර්ගේ මට්ටමේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරපු අය තවත් අපේ රටේ ඉන්නවද කියලත් සැකයි“ විභාවි කීය.
‘එතකොට ‍ප්‍රොෆෙසර් කේන්දර එහෙමත් බලනවද?’ ඔහුගේ එම ප්‍රකාශය හමුවේ එසැනින් මම මුවට නැංවුණු වදන් පෙළක් එලෙසින්ම පිට කළෙමි. එවිට ඊට පිළිතුරක් දෙනු වෙනුවට විභාවි මහ හඬ නගා සිනාසුණි. 

‘යකෝ උඹට මතක නැද්ද සර් කිව්වා ‍ජ්‍යොතීර්වේදයට අනුව වුණත් කේන්දර බලන එක වැඩක් නෑ කියලා; ඉතින් උඹ හිතුවද සර්ටත් උඹට වගේ මොකක් හරි ඔළුවේ අමාරුවක් තියනවා කියලා’

කෙසේ හෝ මගේ සොඳුරු හිතවතා තම සිරුරේ කලක් සැඟවී තිබූ රෝගයක් උත්සන්න වීමෙන් ඉන් සිව්වසරකට පසුව එනම් 2006 ඔක්තෝබර් හතර වනදා සඳහටම මෙලොව හැර ගියේ ඔහුගේ දයාබර බිරිඳ, පුතුන් දෙදෙනා සෙසු ඥාතීන් සමග මා වැනි තවත් සහෘදයන් රැසකගේ දෙනෙත්වලට උණු කඳුළු නංවමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් අටකි.
 
Related Posts with Thumbnails