Ads 468x60px

.

විශ්‍රාම ගිය මහින්දට ලැබෙන වරප්‍රසාද


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජන්ද සටනේ පරාජය භාර ගනිමින් අවසානයේ ස්වේච්ඡාවෙන්ම අරලියගහ මැදුරෙන් නික්ම ගියේය. ඔහුගේ නික්මයාම කාටත් බොහෝ සංවේදී අවස්ථාවක් විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ මීට පෙර බලයේ සිටි කිසිදු ජනපතිවරයකු පරාජය වී ජනපති පුටුවෙන් බැස නොගිය බැවිනි.

77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට පෙර විධායක ජනාධිපති ධුරය දැරිය හැකිව තිබුණේ දෙවරක් පමණි. මෙම නිසා ජනපති ධුරය දැරූ ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග හා චන්ද්‍රිකා
බණ්ඩාරනායක ජනපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු යළිඳු වරක් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ නැත. කෙසේ නමුදු මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය 18 වැනි සංශෝධනයෙන් ජනපතිවරණයට තරඟ කළ හැකි වාර ගණනකට පනවා තිබූ සීමාව ඉවත් කළේය. 

තෙවැනි වතාවටත් ඉදිරිපත් වුවද ඔහුට ජනපති ධුරයට පත්වීමට වරම් නොලැබුණි. එනමුත් ඔහුට ඊළඟ ජනපතිවරණයකට ඉදිරිපත්වීමට පෙර පාර්ලිමේන්තුවට යාමට නම් දැනට තිබෙන ව්‍යවස්ථාවේ හැටියට කිසිදු බාධාවක් නැත. අවශ්‍ය නම් හිටපු ජනපතිවරයාට හෙට වුවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වීමට කියා එම පුරප්පාඩුවට පත්විය හැකිය.

කෙසේ නමුදු ජනපති සටනින් පැරදුනද ඔහු හැඳින්වෙන්නේ විශ්‍රාමික ජනපතිවරයෙකු ලෙසටයි. මීට පෙර එවැනි විශ්‍රාමික ජනපතිවරු තිදෙනෙක් සිටියහ. ඔවුහු ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායකය.

සිය ධුර කාලය අවසන් වී විශ්‍රාම ගන්නා ජනාධිපතිවරයෙකුට තම ජීවිත කාලය පුරාම පෙර දැරූ රාජ්‍ය නායකත්වයේ අභිමානය රැකෙන පරිදි විශ්‍රාම කාලය ගත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ සලසා තිබේ.

ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වරප්‍රසාද හිමි වන්නේය. තම අභිමතය පරිදි නිල නිවසක් ලබා ගැනීමට හෝ පෞද්ගලික නිවසක් භාවිත කිරීමට විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුට හැකිය. 

කැබිනට් අමාත්‍යවරයෙකුට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතුය. නමුත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට ඇති තර්ජනවල ස්වභාවය අනුව ආරක්ෂාව අඩු - වැඩි විය හැකිය. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ විශ්‍රාමික දීමනාවකි. වාර්තමානයේ එම දීමනාව රුපියල් අනූහත් දහස් පන්සීයකි.තවද නිල කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් ද හිමි වේ. 

නිල රථ හා ආරක්ෂක රථ හිමි අතර ඉන්ධන දීමනාවටද හිමිකම් කියනු ලැබේ. නිල රථය ලෙස හිමි වන්නේ වෙඩි නොවදින රථයකි. විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට සිය නිල කාලයේදී මෙන් ගමන් යාම සඳහා හෙලිකොප්ටර් ලැබෙන්නේ නැත. 

ඇයට හෝ ඔහුට හෙලිකොප්ටරයක් අවශ්‍ය නම් ඒ සඳහා ගුවන් හමුදාවට මුදල් ගෙවිය යුතුය. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශ සංචාරයකට ආරාධනා ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දීමනාද විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමිය.

රාජ්‍ය උත්සව අවස්ථාවක අසුන් පැනවීමේදී එම වකවානුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අසුන් පනවනු ලැබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ 35 වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරද්දී හෝ විශ්‍රාම ලැබූ පසු ඔහු හෝ ඇය මිය ගියේ නම් වැන්දඹුවට විශ්‍රාම දීමනාවෙන් තුනෙන් දෙකක් සහ කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙසේ විධි විධාන පනවා ඇත්තේ විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුගේ අභිමානය ආරක්ෂා කිරීමටය.

කෙසේ නමුදු ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කීවේ තමා විශ්‍රාම ගිය දිනයක මැදමුලන නිවසට ගොස් විශ්‍රාම සුව විඳීමට තමා මනාප බවය. ‍

එනමුත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් විශ්‍රාම දිවිය ගත කිරීමට අත්තනගල්‍ලේ හොරගොල්ල වලව්වට නොගියාය. ඒ ආරක්ෂක හේතුන් මතය. ඇය සිය නිල නිවස ලෙස තෝරා ගත්තේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි නිවසකි. 

ඇයට ‍පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව ආරක්ෂක නිලධාරීන් දෙසීයක ආරක්ෂාවක් ලබා දී තිබිණි. ඒ පිරිසට ඇය ධුරය දැරූ කාලයේ සේවයේ සිටි විශ්වාසවන්ත නිලධාරීන් පිරිසක් අයත් වූහ.

මේ ආකාරයෙන්ම ආරක්ෂාවක් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන හා ඩී.බි.විජේතුංග ජනාධිපතිවරු විශ්‍රාම ගිය අවස්ථාවේ ලැබිණි. නමුත් පසුකාලීනව ඔවුහු තම ආරක්ෂාව නිලධාරීන් සුළු පිරිසකට සීමා කර ගත්හ. ජේ.ආර්. ජයවර්ධන මහතා රජයේ නිල නිවසක් ලබා නොගත්තේය. ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ බ්‍රිමාර් මැදුරේය. ජනපති ධුරය දැරූ කාලයේත් ඔහු පදිංචිවී සිටියේ රජගෙදර නොව බ්‍රිමාර් නිවසේය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මිය ගිය පසු ඔහුගේ කාර්යාලය සහ කාර්ය මණ්ඩලය අහෝසි විය. නමුත් ජයවර්ධන ආර්යාවට නිල රථයක් සහ ආරක්ෂාව ලබා දුනි. ජනාධිපතිවරයෙකු මිය ගිය විට වැන්දඹු වූ තැනැත්තියට කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර අන් සියලු වරප්‍රසාද හිමිය. ඝාතනයට ලක්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියටද නිල නිවසත් ලබා දුන්නේය. ඇයට නිල රථ හා ආරක්ෂාවද හිමි විය.

ඩී.බි.විජේතුංග මහතාගේ නිල නිවස සහ කාර්යාලය පිහිටා තිබුණේ කොළඹ 05 පැජට් පාරේය. එම කාර්යාලයේ විසි දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවය කළේය. එහෙත් විජේතුංග ජනාධිපතිවරයා මෙම නිවසේ පදිංචි වී නොසිටියේය. ඔහු පදිංචිව සිටියේ තම ගම වූ පිළිමතලාවේ මහ ගෙදරය.

හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාල දෙපාර්තමේන්තුවකට සමානය. කිසිදු අමාත්‍යාංශයක් මගින් පාලනය නොවන මෙම කාර්යාල සඳහා අවශ්‍ය මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලින් වෙන් කරයි. ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරි වසර තුළ කෙරෙන වියදම් එම කාර්යාලය මගින් ඇස්තමේන්තුගත කළ යුතුය.

මේ වන විට මෙරට විශ්‍රාමික ජනාධිපතිවරු දෙදෙනෙකු සිටිති. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වේද යන්න පිළිබඳ කතා කිරීමට තවමත් කල් වැඩිය. නමුත් ඔහුගේ නම ලංකා ඉතිහාසයට එකතු වී හමාරය. ඒ තිස් වසරක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙසය. 

එමෙන්ම ඔහු පරාජය පිළිගෙන මහත්මයෙකු සේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජනපති පුටුවෙන් බැස නික්ම ගියේය. එය ඔහු එතරම් පහසුවෙන් කළාවි යැයි බොහෝදෙනෙක් විශ්වාස කළේ නැත. නමුත් අවසානයේදී ඔහු නිශ්ශබ්දවම නික්ම ගියේය. ඒ ජය හා පරාජය ලෝක සනාථන ධර්මතාවක් බව හැමදෙනාට යළිදු වරක් සිහිපත් කරමිනි.
 
Related Posts with Thumbnails