Ads 468x60px

.

කවදාවත් පරණ නොවන නිවුස් එකක්


කවදාවත් පරණ නොවන ප්‍රවෘත්ති අතර 'කුඩු'වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. 'කුඩු' කතා දිනෙන් දින අලුත් වෙමින් ඇසේ.

ඒ අතරට අත්පොළසන් දිය හැකි අපූරු අලුත් කතාවක්‌ කර තිබුණේ අමාත්‍ය රාජිත සේනාරත්නය. ඔහු පවසා තිබුණේ එතනෝල්, කුඩු, කැසිනෝ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක නොවීම ගැටලුවක්‌ බවය.

අපි රාජිත ඇමැතිවරයා තරම්ම "ඉක්‌මන්" කතා නොකියමු. එහෙත් ඇමැතිවරයා කියන මේ ගැටළුව ඉතසිතින්ම පිළිගනිමු.

පසුගිය සතියේ මුල් දින කිහිපයේ මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී රුපියල් කෝටි අටක්‌ පමණ වන හෙරොයින් කිලෝ අටකට අධික ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනිණි. එම සතිය අවසාන වනවිට හික්‌කඩුව

පිංකන්ද අක්‌කර 20 දී පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාරයකු අත්අඩංගුවට ගත්තේ කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 100 ක්‌ ළඟ තබාගැනීමේ වරදටය. 

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට කොළඹට ගෙන එමින් තිබූ ලක්‍ෂ 50 ක්‌ වටිනා හෙරොයින් තොගයක්‌ ද අත්අඩංගුවට ගත්තේ එම දිනවලමය. කුඩු ගෙන්වීමේ සහ බෙදාහැරීමේ අඩුවක්‌ ඇතැයි කියන නිලධාරීන්ගේ පවා මේ වන විට ඇඟ සලිත වී ඇතිවාට සැක නැත.

රටේ හිරගෙවල් වැඩි වශයෙන් පිරී ඇත්තේ නම ගිය කුඩු ජාවාරම් කාරයන්ගෙනි. එහෙත් ජාවාරම අඩුවන බවක්‌ පෙනෙන්නට නැත. දැන් අප හැමෝම දන්නා පරිදි කුඩු බිස්‌නස්‌ එක සුපිරි තත්ත්වයෙන්ම කෙරෙන්නේ සිපිරි ගෙයි සිටමය. එය රහසක්‌ නොවේ. 


මේ මහා කුඩු සමාගම්වල සභාපතිවරු, අධ්‍යක්‍ෂවරු සිටින්නේ සිපිරි ගෙදරය... මෙහෙයුම් නිලධාරීන් එළියේය. සංවිධායකයන් එක්‌ එක්‌ පළාත්වලය. වැඩේ අපූරුවට කෙරෙයි. දිනකට කුඩු ජාවාරම්කරුවන් දහදෙනා බැගින් අල්ලා ගත්තද කුඩු ජාවාරම නතර කිරීම පහසු නැත. 

කුඩු ග්‍රෑම් එකක්‌ ළඟ තබාගැනීම මරණීය දණ්‌ඩනය හිමි වන වරදකි. මරණීය දණ්‌ඩනය නියම වූවාට ක්‍රියාත්මක නොවීමේ අනුහසින් ජාවාරම් කරුවන් වැඩේ එතරම් සීරියස්‌ ලෙස හිතන්නේ නැත. (මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන කතාව වෙනකකි. අප කියන්නේ දඬුවම් නියම කිරීම ප්‍රමාණවත් නැති බවය.)

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි කුඩු (හෙරොයින්) නොඑසේනම් මත්ද්‍රව්‍ය ජාවාරම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුව තිබේ. එහෙත් ප්‍රායෝගිකව නම් එවැනි තත්ත්වයක්‌ පෙනෙන්නට නැත.

මේ වසර ආරම්භයේ සිට මේ වනතෙක්‌ හෙරොයින් කිලෝ විස්‌සකට ආසන්න ප්‍රමාණයක්‌ සහ සැකකරුවන් බොහෝ ප්‍රමාණයක්‌ ද අත්අඩංගුවට පත්ව ඇතැයි කියෑවේ. 


එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස්‌ ඒකක ගණනාවක්‌ ක්‍රියාත්මකය. බස්‌නාහිර පළාතේ පමණක්‌ එවැනි ඒකක 132 ක්‌ ක්‍රියාත්මකය. එතරම් ආරක්‍ෂක වැටකඩොලු තිබියදී පවා කුඩු වෙළෙන්දන්ගේ හිඟයක්‌ දක්‌නට නැත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වැට බඳින අවංක නිලධාරීන් සේම ජාවාරම් කරුවන්ගේ අතකොළු වූ නිලධාරීන් ද සිටින බව නැවත නැවතත් සඳහන් කිරීමට අවශ්‍ය නැත. ජාවාරම සරුවට කරගෙන යැම සඳහා අනේකවිධ උදව් උපකාර ලබාදෙන්නේ මෙවැනි 'කුඩු කෑ' රිළවුන්ය.

වෙලේ සුදාගේ කුඩු සමාගමෙහි නිත්‍ය සහ අනියම් සේවයේ යෙදී සිටි බොහෝ අය ගැන කතා ඇහෙන විට වැඩිදෙනකු සිතුවේ 'ඔක්‌කොම කෙළිකාරයෝ අසුවෙති' යනුවෙනි. 


වෙලේ සුදා, දේශපාලනඥයන් පොලිස්‌ නිලධාරීන් ඇතුළු නිළියන් ගැන ද කතාකර තිබූ වගක්‌ කියෑවුණු නමුදු මේ වනතෙක්‌ ඒ ගැන නිසි විමර්ශනයක්‌ සිදුවුණු වගක්‌ පෙනෙන්නට ද නැත. 

වෙලේ සුදාගේ නඩුවට අදාළ වෙන්නේ කුඩු ග්‍රෑම් 900 ක්‌ වැනි ප්‍රමාණයක්‌ ළඟ තබා ගත්තේ යෑයි කියන සිදුවීමක්‌ පමණි. කිලෝ දාහකට ආසන්න සුපිරි වෙළෙඳාමක්‌ කර තිබුණ ද නිවැරැදිව තොරතුරු සනාථ කරන්නට හැකියාවක්‌ නැත. කුඩු ජාවාරම්කරුවන්ගේ ස්‌වභාවය එබඳුය.

අප විශ්වාස කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නට සැලසුම් සාදන්නා සේම කුඩු ගෙන්වන මාර්ග වසා දැමීමට පියවර ද ගත යුතු බවය.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්‌සේ ගෙනවිත් මෙරටට ගොඩබාන හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමේ සිද්ධි දෙකක්‌ම වාර්තා වූයේ පසුගිය සතියේය. ජාවාරමේ මාර්ග සිතියම හකුළා දැමීම ආරම්භ කිරීම කළ යුත්තේ එතැනිණි. ඊට ජනතා සහායද නොමඳව ලැබෙන බව මාරවිල තෝඩුවාව ප්‍රදේශයේ ජනතාව ඔප්පු කර පෙන්වා දුන්හ.

දැන් ඉතිං සිදුවිය යුත්තේ රාජිත සේනාරත්න ඇමැතිවරයා කී ලෙස ක්‍රියාත්මක වීමේ අඩුව මගහරවා ගැනීමය.
 
Related Posts with Thumbnails