Ads 468x60px

.

හිරගෙදරත් රජ ගෙදරත් එකය. එසේ නම්, කලබල වීමට දෙයක් ඇත්තේද නැත.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් විවේක සුවයෙන් සිටින අතර පින් අතේ වැඩ කරගෙන - කරගෙන යයි. ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි, ඔරලෝසු වැනි දේ පිනට දීමට කටයුතු යෙදූ ඒ මහතා දැන් බෝධි පූජා, අධිෂ්ඨාන පූජා වැනි දේ කරමින් රට පුරා ඇති පන්සල්වලට ද, දේවාලවලට ද යයි. 

ඒ අතර දේශන පවත්වයි. යහ පාලනයට අලුත් අර්ථ දෙයි. වරකාපොළ - දැදිගම ප්‍රදේශයට ගිය හිටපු ජනාධිපතිවරයා අධිෂ්ඨාන පූජාවෙන් පසු රැස්ව සිටි ජනතාව අමතමින් අපූරු කතාවක් කළේ ය. එය කාගේත් අවධානයට ලක්විය යුතු යැයි අපට සිතේ.

යහ පාලනය යනු පොලිසිය රට පාලනය කිරීම යැයි මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත. බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ සමෘද්ධි

ලාභින් දසදහසකට රුපියල් 2500/- බැගින් ලබා දුන් නිසා යැයි ද ඒ මහතා කියා ඇත. 

රජයක් කිසි කෙනකුගෙන් පළිගැනීම් නො කළ යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා කියා ඇත. මට හිර ගෙදරත්, රජ ගෙදරත් දෙක ම හුරු යැයි පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා තමාට තොටිල්ලක් අවශ්‍ය නැතැ’ යි ද කියා සිටියේ ය. එලෙස ම මේ කතාවල යථාර්ථය ජනතාව හොඳින් වටහා ගත යුතු යැයි ද අපට සිතේ.

බලයට පත්වන රජයක් නිලධාරීන්ගෙන් පළිගත යුතු නැත. එම ආදර්ශය හිටපු ජනාධිපතිවරයාම පෙන්වා දී ඇත. එතුමා සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගත්තේ නැත. ඒ මහතාට ජම්පරය ඇන්දුවේ ද නැත. 


කොටින්ම සරත් ෆොන්සේකා මහතා රට බේරාගත් වීරයකු ලෙස සලකා කටයුතු කරන්නට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ ය. හිටපු අගවිනිසුරුතුමිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙන් මහින්ද මහතා පළිගත්තේ නැත. එතුමියට බොරු චෝදනා එල්ල කළේ ද නැත. කොටින් ම නීතියට ඇඟිලි ගසන්නට මහින්ද රාජපක්ෂ මහතා ගියේ නැත.

එදා පොලිස් දෙපාර්තමේන්තුව අන්තිම ස්වාධීනය. විශේෂයෙන් හම්බන්තොට පොලිසිය ස්වාධීන ය. එහි සිට නීතිය අකුරට ම ඉටු කිරීමට බාධාවක් නො වී ය. හම්බන්තොට පොලිසියට නගරාධිපතිලා පැන්නේ නැත. 


නගරාධිපතිලා පොලිස් කූඩුවේ සිටි සැකකරුවන් මුදාගෙන ගියේ නැත. පොලිස් ස්ථානාධිපතිට කිසිම නගරාධිපතිවරයකු තර්ජනය කර ඇත්තේ ද නැත. එදා නීතිපතිවරයා ස්වාධීන ය. ඔහුට ජනාධිපතිවරයාගේ බලපෑම් තිබුණේ නැත. කොටින් ම යහ පාලනය තිබුණේ එදා ය. අද නොවේ ය.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතිශය අවංක කාර්යශූර දේශපාලකයෙකි. එතුමා දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් මහජන මුදල් නාස්ති කළේ නැත. ජනාධිපතිවරණ සමයේ ලිත් ලක්ෂ ගණනක් මුද්‍රණය කර ඇත්තේ මහජනයාගේ සුබසිද්ධිය සඳහා ය. 


ලිත් නැති ව මහජනයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නේ කෙසේ ද? නැකතට හඳ බලන්නේ කෙසේ ද? පරණ අවුරුද්දට නාන්නේ කෙසේ ද? ළිප මොලවන්නේ කෙසේ ද? හිසතෙල් ගාන්නේ කෙසේ ද? කොටින් ම හූනකු ඇඟට වැටුණු විට එහි සුබ-අසුබ තත්ත්වය බලාගත හැකි ලියැවිල්ලක් ගෙදරක තිබිය යුතු ය. බැසිල් මහත්තයා එම යුතුකම ඉටු කළේය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ ඇත්තේ රජයේ මුදල් ය. රජයේ මුදල් යනු මහජන මුදල් ය. මහජන මුදල් ලිත් මුද්‍රණය සඳහා යොදා ගැනීමේ කිසිදු වරදක් නැත. ජනාධිපතිවරණ සමයේ ලිත් කෝටි දෙකකුත් තවත් විසිදහසකුත් මුද්‍රණය කොට එක පුද්ගලයකුට එක බැගින් බෙදා දුන්නත්; එහි වරදක් නැත. ජනතාව නැකතට අනුව වැඩ කළ යුතු ය. රාහු කාලය දැනගෙන සිටිය යුතු ය. මේ යථාර්ථය බැසිල් රාජපක්ෂ මහතා දැනගෙන සිටියේ ය.

ගිය ආණ්ඩුව යටතේ පැවැති පරමාදර්ශී යහ පාලනය ජනතාව නැවත සිහිපත් කර ගත යුතු යැයි අපට සිතේ. එදා සුදු වෑන් තිබුණා ද? නැත. එදා මාධ්‍යවේදීන්ට පහර දුන්නා ද? නැත. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම්ට පහර දුන්නා ද? නැත. ඔහුගේ කකුල් කැඩුවා ද? නැත. එදා වෘත්තීය ජනමාධ්‍යවේදීන් රට හැර ගියා ද? නැත. 


කිසිවකු අතුරුදන් වූවා ද? නැත. එදා ජනමාධ්‍ය ආයතන ඉතා නිදහසේ කටයුතු කරගෙන ගියේ ය. අබමල් රේණුවක බලපෑමක් තිබුණේ නැත. රාජ්‍ය ආයතන ඉතා නිදහසේ ස්වාධීනව කටයුතු කරගෙන ගියේ ය. උසස්වීම් සඳහා කිසිදු දේශපාලන බලපෑමක් තිබුණේ නැත. නුසුදුසු පුද්ගලයන් නිලතලවලට පත් වූයේ ද නැත.

දැන් පවතින යහ පාලනය ඉතා භයානක යැයි මහින්ද රාජපක්ෂ මහතා කියයි. හිටපු මැති - ඇමැතිවරුන්ට චෝදනා එල්ල කළේ කවුද? ඔවුන් අත්අඩංගුවට ගත්තේ කවුද? පාර්ලිමේන්තුවේ කුඩුකාරයන් සිටිත් ද? එසේ සිටිත් නම්; ඔවුන් අත්අඩංගුවට ගැනීම කෙතරම් වරදක් ද? 


පාර්ලිමේන්තුවේ එතනෝල්කාරයන් සිටිත් ද? සිටිත් නම්; ඔවුන් අත්අඩංගුවට ගැනීම කෙතරම් වරදක් ද? පාර්ලිමේන්තුවේ දූෂිතයන් සිටිත් ද? එසේ සිටිත් නම්; ඔවුන් අත්අඩංගුවට ගැනීම කෙතරම් වරදක් ද? අපේ රටේ ප්‍රභූ පන්තියට නිදහසේ තම කටයුතු කරගෙන යෑමට ඉඩදිය යුතු ය. නීතිය තිබිය යුත්තේ පොඩි මිනිසුන් කරන වැරැදිවලට දඬුවම් දීම සඳහා ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක බලතල පාවිච්චි කළේ නැත. ඒ බලතල වැඩි කර ගත්තේ ද නැත. 18 වන ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ සම්මත කර ගත්තේ ද බලයට ඇති කෑදරකම නිසා නො ව; රටට ඇති ආදරය නිසා ය. එතුමා ඊළඟ ජනාධිපතිවරණයක් සඳහා තරග නො කරන බවක් ද කියා සිටී. එයට දැන් නීතියෙන් ඉඩක් ඇත්තේ ද නැත.


මහින්ද මහතා කියන පිළිවෙළට රාජපක්ෂලාට හිරගෙදරත් එකය. රජ ගෙදරත් එක ය. එසේ නම්; කලබල වීමට දෙයක් ඇත්තේ ද නැත.
 
Related Posts with Thumbnails