Ads 468x60px

.

ගැහැනියක දුටු සැනින් මිනිසා සල්ලාල නරියෙක්‌ බවට පත් වන්නේ ඇයි.?


ගත වූ දිනය (මැයි 1 වැනිදා) දේශපාලන දිනයකි. හෙට (3) ආගමික දිනයකි. මේ දෙදින ගැනම මෙනෙහි කිරීම සඳහා අපට ලැබී තිබෙන හොඳම දවස අද ය. මේ දින දෙක පිළිබඳ අත්දැකීම මතක ඇති කාලයේ සිටම අප තුළ තිබේ. මැයි දිනයේ පරමාර්ථය ලෞකික සුවය ය. 

ජීවත්වන මනුෂ්‍යයා හූරා කෑමට ලක්‌ නොකර අයිතිවාසිකම් ලබා ගනු පිණිස ආරෝපණය කිරීම මැයි දිනයේ අරමුණ ය. භූමිය, ශ්‍රමය,
ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක පොදු අයිතියට පත් කිරීමට ශ්‍රමිකයා සංවිධානය කිරීම එම දවසේ අරමුණ ය. 

මනුෂ්‍යයා පන්සිල්, අටසිල්, දසසිල් යනාදිය රැකීමට යොමු කර ලෝකෝත්තර සුවය සාක්‍ෂාත් කර ගැනීමට පෙළඹවීම වෙසක්‌ දිනයේ පරමාර්ථය ය. මේ අනුව මැයි දිනයත්, වෙසක්‌ දිනයත් යන දෙකම පරමාර්ථ ගවේෂණය සඳහා යොමු වී තිබේ. 

එකක පරමාර්ථය මෙලොවට වැඩ කර ගැනීම ය. අනෙකෙහි පරමාර්ථය පරලොවට වැඩ කර ගැනීම ය. මේ දෙකෙන් වඩා වැදගත් කුමක්‌ ද? එය පාඨකයා විසින් තම නැණ පමණින් විසදාගත යුතු ගැටලුවකි. 

මෙලොව වැඩ පිණිස වන පරමාර්ථ ගවේෂණයෙන් මේ සංසාර සාගරයේ උපනූපන් ජාතිවල හමුවන හැම මැයි දිනයකටම සහභාගි විය හැකි ය. 

මැයි දිනවලට බස්‌වල නැග සටන් පාඨ කියමින්, කසිප්පු ගසමින්, බයිට්‌ කමින්, දේශපාලන පක්‍ෂ වලින් නොමිලයේ ලැබුණ ටී ෂර්ට්‌ සහ කැප් පළඳිමින් අවශ්‍යතාවය මත රජයේ දේපළ සහ පුද්ගලික දේපළවලට පහර දෙමින් පාරවල් දිගේ ගමන් කළ හැකිය. 

තවත් මදිනම් පොලිසියෙන් අම්බානක ගුටි කා හිරේ විලංගුවේ ලැඟීමට ද හැකිය. විටින් විට අපා ගත වීමට ද හැකි ය.

එහෙත් පන්සිල්, අටසිල්, දසසිල් යනාදිය රකිමින් කරන පරමාර්ථ ගවේෂණය ඊට වඩා ඉඳුරාම වෙනස්‌ ය. මෙහිදී මැයි දින රැස්‌වීම් නැත. කසිප්පු ද නැත. යූඑන්පී හෝ ශ්‍රී ලංකා ටී ෂර්ට්‌ ද නැත. ගුටි කෙළි ද නැත. ගෙදර යන ගමන් රජයේ සහ පෞද්ගලික දේපළවලට පහර දීමක්‌ ද නැත.


ලෝකෝත්තර පරමාර්ථ ගවේෂණය යටතේ යන ගමන ඉතා හෙමින් ඉතා සැහැල්ලුවෙන් යන ඉතා සාමකාමී ගමනකි. ඒ ගමන හරියට ගියොත් සංසාර ගමන කිසිදු උපද්‍රවයකින් තොරව කෙළවර කර ගත හැකි ය. ඒ කෙළවරදී අමා මහ නිවන් සම්පත් සාක්‍ෂාත් කර ගැනීමට ද හැකි ය.

මිනිසා තවමත් සිටින්නේ ශිෂ්ටාචාරය පටන් ගත් තැනමය. හැඟීම් වලින් මෙන්ම ක්‍රියාවෙන් ද ඔහු තවමත් ඉපැරැණි ගෝත්‍රික මිනිසාම ය. ඔහු තවමත් සතුන් මරාගෙන කයි. ස්‌ත්‍රීන් දූෂණය කරයි. 


බල පොරයේදී ඉතා නීච සහ පහත් අන්දමින් හැසිරෙයි. මිනිසා යනු ගෝත්‍ර සමූහක්‌ ලෙස ජීවිතය පටන් ගත් සතෙකි. ඔහු සමාජයේ ඉදිරියට ආවේ ගෝත්‍ර වශයෙන් මිනී මරා ගැනීමෙනි. මියගිය සතුරාගේ මළ සිරුර අනුභව කිරීමෙනි. ඔහුගේ මේ ගෝත්‍රික ලක්‍ෂණ අදටත් එසේමය. 

ඒවා මැයි දිනයේදී මතු වේ. දේශපාලන රැස්‌වීම්වලදී මතු වේ. මැතිවරණයේදී මතු වේ. වැඩි දුර යන්නේ මොකටද? මත්පැනක්‌ දුටු සැනින් ඔහු ගෝත්‍රික වනචරයෙක්‌ වන්නේය. ගැහැනියක දුටු සැනින් ඔහු සල්ලාල නරියෙක්‌ බවට පත් වන්නේ ය.

ලෝකෝත්තර පරමාර්ථ ගවේෂණයේදී මුලින්ම සිදුවන්නේ මනුෂ්‍යයා ගේ ගෝත්‍රික තිරිසන්කම ක්‍රමයෙන් අඩුවී ගෙන ගොස්‌ අතුරුදන් වීමය. එතැන් පටන් තමන්ගේ මෙන්ම අනුන්ගේ ද ජීවිත පහසු කිරීමට මිනිසාට පුළුවන. හෙට වැනි වෙසක්‌ දිනයක උතුම් පරමාර්ථ ගවේෂණයට යොමු වෙමු. සංසාර ගමන කෙටි කර ගනිමු. ඒ ගැන සිතන්නට තිබෙන හොඳම දිනය හෙට ය.
 
Related Posts with Thumbnails