Ads 468x60px

.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආක්‍රමණය කළ ෆයිසාලියා ෆයිසාලිස්‌ ජීවීන්


මේ දිනවල ශ්‍රී ලංකාවේ බස්‌නාහිර සහ දකුණ අවට මුහුදේ දක්‌නට ලැබෙන ආගන්තුක සත්ව විශේෂයක්‌ නිසයි මේ කලබලය. අපි මේ සත්ව විශේෂය පිළිබදව වැඩිදුර දැන ගැනීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය (නාරා) ආයතනයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් සහ දේශිණී හේරත් මහත්මියගෙන් විමසවෙමු.

ඇත්තටම මේ සත්ව විශේෂය සත්ව ලෝකයේ නීඩාරියා (සීලෙන්ටරේටා) නමැති වංශයට අයත් සත්වයින් කොටසක්‌ ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ඔවුන්ගෙ සුවිශේෂී හැඩය නිසා පෘතුග්‍රීසි යුධ නැව යන අරුතින් "ෙෆචුගීස්‌ මෑන් ඕ වෝ" නමින්ද මොවුන් හඳුන්වනවා.

නමුත් මේ දිනවල දකුණු සහ බස්‌නාහිර මුහුදු තීරයේ බහුලව දක්‌නට ලැබෙන ෆයිසාලියා ජීවීන් බොහෝ දුරට
ජෙලිෆිෂ් සත්ව විශේෂයට
සමාන ජීවීන් විශේෂයකි. නමුත් ඔවුන් සත්ත්ව ජෙලිෆිෂ් (rue jellyfish) ලෙස සත්ත්ව විද්‍යාවේදී හඳුන්වනු නොලබයි. ලෝකයේ මෙම ෆයිසාලියා
ඝනයට අයත් විශේෂ දෙකක්‌ හඳුනාගෙන තිබෙනවා. එනම්,

01. Physalia physalis ෆයිසාලියා ෆයිසාලිස්‌

02.Physalia utriculus ෆයිසාලියා යුට්‌රිකියුලස්‌

මෙම විශේෂ දෙක අතුරෙන් ෆයිසාලියා ෆයිසාලිස්‌ යන විශේෂය තමයි මෙවර ලංකාව අවට මුහුදට පැමිණ ඇත්තේ. 2013 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විශේෂය වන්නේ ෆයිසාලියා යුට්‌රිකියුලස්‌ විශේෂයයි. 


මිනිස්‌ ආමාශයක හැඩයට සමාන හැඩයක්‌ තමයි මොවුන්ට තිබෙන්නේ. නමුත් මොවුන් ජෙලිෆිෂ් වගේ ජලයේ පිහිනා නොයන බවත් ඔවූන් සුළගේ දිශාව අනුව පාවීයන බවත් ඔවුන් ප්‍රකාශ කරති.

සාමාන්‍යයෙන්
ජෙලිෆිෂ් හෙවත් ලොඩියන් විශේෂ දහස්‌ ගණනක්‌ ලෝකය පුරා ව්‍යාප්ත වී පවතී. ජෙලිමය සිරුර නිසා ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකියි. කුඩයක්‌ සේ දිස්‌වන හිස කොටස සහ ග්‍රාහිකා සහිත පහල කොටසකින් මෙම ජීවීන් සමන්විත වේ. 

එම ග්‍රාහිකා මගින් ඔවුන් ජලයේ පිහිනා යැමත් ගොදුරු සොයා ගැනීමත් සිදුකරයි. ඇතැම් සතුන්ගේ ග්‍රාහිකා විෂ සහිතවේ.ජෙලිෆිෂ් සතුන් ලොවපුරා මුහුදේ ගැඹුරු නොගැඹුරු ඕනෑම ස්‌ථානයක ජීවත් වන අතර ඇතැම් විශේෂ මිරිදියේද ජීවත් වේ. 

මොවුන් වැඩි වශයෙන් රංචුවක්‌ ආකාරයට ජීවත් වේ. වාර්ෂිකව ඇතැම් කාලවලදී මොවුන්ගේ වැඩිවීමක්‌ දක්‌නට ලැබෙනවා. ජුනි ජූලි මාසවලදී ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමගම ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේද ජෙලිෆිෂ් විශේෂ සුලභව දැකිය හැකිය.

ලෝකයේ
ජෙලිෆිෂ් විශේෂ 3000 කට අධික ප්‍රමාණයක්‌ සිටන බව පර්යේෂකයෝ පවසති. ප්‍රමාණයෙන් මිලි මීටරයක සිට මීටර් දෙකක්‌ පමණ විශාල වර්ධනයක්‌ මෙම සතුන්ගේ දැකිය හැකිය.

වර්ධනය සහ බෝවීම සිදුවන ආකාරය
ජෙලිෆිෂ් ප්‍රජනනය වීම ආකාර දෙකකින් සිදුවේ. එනම්,

ලිංගික ප්‍රජනනය

අලිංගික ප්‍රජනනය

ලිංගික ප්‍රජනනයේදී මව් සතුන් බිත්තර දැමීමෙන් පසු සංසේචනයෙන් පිලව් අවස්‌ථාවට පත්වේ. මෙම පිලවා පෘෂ්ඨයක ඇලී සිටිමින් සිට ක්‍රමයෙන් බහු පාදික සත්වයකු බවට පත්වේ. ඉන්පසු සුහුඹුල් අවස්‌ථාව දක්‌වා වර්ධනය වේ. 


ඉන්පසු ජලයේ පිහිනා යැමට හැකි වැඩුනු ජෙලිෆිෂ් සතෙකු බවට පත්වේ. මොවුන්ගේ පිහිනායැම හඳුන්වන්නේ අරීය ප්‍රසාරණය යනුවෙනි. ශරීරයේ ඉහළින් ඇති කුඩය වැනි කොටස ඇකිලෙමින් දිග හරිමින් මොවුන් අපූරුවට ජලයේ පිහිනායයි.

මොවුන්ගේ ඇති විශේෂ ලක්‌ෂණය වන්නේ හොඳ ආහාර සහ ආලෝක තත්ත්වයන් යටතේ නොකඩවා බිත්තර දැමීමයි. එසේ බිත්තර දැමීමෙන් පසු මව් සත්වයා මියයැම සිදුවේ. වැඩුනු සතෙකුගේ ආයු කාලය මාස දෙකේ සිට හය දක්‌වා පමණ වන බව සොයාගෙන ඇති අතර, ඒ අනුව සුහුඹුලාට වඩා පිලවා වැඩිකාලයක්‌ ජීවත් වේ.

අලිංගික ප්‍රජනනයේදී කුඩා
ජෙලිෆිෂ් විශේෂ තම සිරුර දෙකට කැඩීමෙන් වර්ගයා බෝකර ගනියි.

මෙම
ජෙලිෆිෂ් සතුන් මාංශ භක්‍ෂක වන අතර ජලයේ පාවී එන සත්ත්ව ප්ලවාංග, කුඩා මසුන්, අනෙක්‌ ජෙලිෆිෂ් වර්ග, මත්ස්‍ය හා අනෙකුත් සත්ව බිත්තර, වෙනත් කුඩා ජීවීන් ආහාරය ලෙස ලබා ගනියි.

ජෙලිෆෂ් සතුන්ගේ ආර්ථික වැදගත්කම

සත්ත්ව ප්‍රොටීන ලබා ගැනීමට හැකි මුහුදු ආහාරයක්‌ ලෙස ඇතැම්
ජෙලිෆිෂ් වර්ග ප්‍රයෝජනයට ගනී.

ඇමරිකාව, චීනය, කොරියාව, ජපානය වැනි බොහෝ රටවල් මෙම
ජෙලිෆිෂ් ආහාරය සඳහා යොදාගනී. ලෝකයේ බොහෝ රටවල් මෙම මුහුදු ආහාරය කෙරෙහි නැඹුරුතාවක්‌ දැක්‌වීමට පටන්ටගෙන තිබේ. නමුත් ලෝකයේ සිටිනා 3000 ක්‌ පමණ ජෙලිෆිෂ් වර්ගවලින් ආහාරය සඳහා ලබාගන්නේ අතළොස්‌සක්‌ පමණි.

සමහර
ජෙලිෆිෂ් විශේෂ මාරාන්තික විෂ සහිත වේ.

ෆයිසාලියා විශේෂ සහ
ජෙලිෆිෂ් විශේෂවල සුවිශේෂතාජෙලිෆිෂ් තනි ජීවියෙකු වන අතර මේ දිනවල වෙරළට ආ විශේෂය බොහෝ දෙනකු එක්‌ව සිටිනා ඝණාවාසයකි. නමුත් මෙම සත්ව විශේෂ දෙකෙහිම බාහිර පෙනුම බොහෝදුරට සමාන ස්‌වරූපයක්‌ උසුලයි. 

එනම් මොවුන්ගේ සිරුරද ජෙලිෆිෂ් සත්ව විශේෂවල මෙන් ජෙලි ආකාර ස්‌වරූපයක්‌ උසුලයි. නමුත් මොවුන්ගේ සංචරන රටාව එකිනෙකට වෙනස්‌ වේ. ජෙලිෆිෂ් තම සිරුරේ හත්තක්‌, කූඩයක්‌ වැනි ඉහළ කොටස හකුලමින් දිග හරිමින් මුහුදු ජලයේ යම් ප්‍රමාණයක්‌ පිහිනා යයි. 

නමුත් සුළඟේ වේගය සහ දිශාව අනුව මොවුන්ගේ ගමන් දිශාව තීරණය වේ. ෆයිසාලියා විශේෂවල සත්වයන්ගේ චලනය මුහුදු ජලය මත සුළඟේ දිශාවට පාවී යැම පමණි.ජෙලිෆිෂ් තනි ජීවියෙක්‌ වන අතර ෆයිසාලියා ෆයිසාලිෂ් සතුන් එක්‌ව සිටිනා ඝණාවාසයකි. එනම් ජීවීන් රැසක්‌ එක්‌ව වාසය කරයි. මෙම ඝණාවාසයේ ඉහළින් ඇති ජෙලිමය වායුව පිරුන කොටස ඉපිල්ලා යන නමින් හඳුන්වන අතර ග්‍රාහිකා සහිත පහල කොටසේ බුහුබාවා නමැති ජීවීන් දහස්‌ ගණනින් ජීවත් වෙයි.

මෙම බුහුබාවාගේ ඇති අංශක කෝෂ්ඨ (දඟර ගැසුනු තුඩු) මගින් ගොදුරු අඩපණ කිරීම සඳහා විෂ එන්නත් කරයි. එසේ නොමැතිනම් ඝණාවාසය මුළුමණින්ම සිරුරේ ඇලී යයි. එවිට අධික වේදනාවක්‌ ඇතිවේ. එවිට අතින් එම සතුන් ඉවත් කිරීම සිදුකිරීමට උත්සාහ කිරීමේදී අතටද විදීම සිදුකරයි. එවිට එම සතුන් ඉවත් වුවද විෂ සහිත තුඩු සිරුරේ ඉතිරි වේ.

ඔබට මෙම ෆයිසාලියා සත්ව විශේෂය ස්‌පර්ශ වුවහොත් එය අතින් පිස නොදමන්න. රෙදි කැබැල්ලක්‌ ට්‌විටරයක්‌ වැනි යමකින් ප්‍රවේශමෙන් ඇද ඉවත්කරන්න. ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

මෙම ෆයිසාලියා සත්ව විශේෂය පිළිබද වැඩිදුර පර්යේෂණ කටයුතු නාරා ආයතනයේ සමුද්‍රජීව විද්‍යා පර්යේෂණ අංශය විසින් සිදුකරයි.

ඔබට මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් නාරා ආයතනයේ දුරකථන අංක 0112521000 0710101010 න් විමසන්න. 


ජෙලෆිෂ් අසාත්මිකතාවට වෙදකම් කරන ධීවර වෙද මහත්තයා

විෂ සහිත ජෙලිෆිෂ් උවදුර මේ වන විට කෙමෙන් පහව ගොස්‌ තිබේ. මාතර පොල්හේන මුහුදු වෙරළටද එම විෂ සහිත ජෙලිෆිෂ් ගොඩ ගැසීම නිසා එය තහනම් කලාපයක්‌ බවට පත් ප්‍රදේශයක්‌ වූයේ එම මුහුදු වෙරළේ ඇවිදීමෙන් සහ මුහුදේ නෑමෙන් වලකින ලෙස දැනුම් දෙමින් මාතර මහ දිසාපති තුමියගේ නියෝගය මත ශබ්ද විකාශන මාර්ගයෙන් පවා ප්‍රසිද්ධ දැනුම් දීමක්‌ සිදු කළ නිසාය.

ඒ අනුව මහජනයා වහ වහා මුහුදු වෙරළෙහි ගැවසීම ප්‍රතික්‍ෂේප කළ අතර සුළු පන්න ධිවරයන් මුහුදු වෙරළෙහි ගැවසීමට තිබූ අවදානම නිසාම තම දෛනික ධීවර කටයුතු වලින් පවා ඈත් වූහ.

එහෙත් ක්‍රමයෙන් අහිතකර ජෙලිෆිෂ් උවදුර පහව ගිය විට දැන් තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි පැවසීමට ඇතැම් විද්යුත් මාධ්‍ය එම උවදුරට පෙර දුන් ප්‍රචාරයට සාපේක්‍ෂ ප්‍රසිද්ධියක්‌ පසුව ලබාදීමට කටයුතු නොකිරීම නිසා ඇතැම් ප්‍රදේශවල මුහුදු සීමාවන් තවමත් ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත්වී තිබේ.

මේ හේතුව නිසා වෙරළට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන් හට යමක්‌ අළෙවිකොට හෝ යම් සේවාවක්‌ සපයා දෛනිකව දිවිය සරි කරගත් උදවිය ඉමහත් ආර්ථීක අපහසුතාවයකට පත්වු අතර එම තත්වයට මුහුණ දුන් ප්‍රදේශයක්‌ ලෙස පොල්හේන මුහුදු තීරයද පැහැදිළිවම හැදින්විය හැකිය.

පොල්හේන මුහුදු වෙරළේ කිමිදුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේද නියෑලෙන පී.ඩී. චමින්ද මහතා ජෙලිෆිෂ් උවදුර සහ එම හේතුවෙන් මුහුදු වෙරළ කලාපයන් ජනශූන්‍ය වීමෙන් සිදුවූ ආර්ථීක අපහසුතාවය විස්‌තර කළේ මෙසේය.

'...මේ
ජෙලිෆිෂ් වර්ගය හැම අවුරුද්දෙම ජුනි මාසෙ දිය අත ගොඩ දාන මේ කාලෙට එනවා. ඒ ජෙලිෆිෂ් සතෙක්‌ සාමාන්‍යයෙන් අතක ඇගිල්ලක්‌ විතර දිගයි. සතාගේ කෙලවරේ බබල් එකක්‌ වගේ මස්‌ වැදැල්ලක්‌ තියෙනවා. ඒ ළගම හීන් කෙන්දක්‌ වගේ කොටසක්‌ තියෙනවා. අන්න ඒ කෙන්ද ඇෙග් ගෑවුනාම හරිම විසයි. ඉස්‌සරනම් අපි ඒ විස ගෑවුනාම විනාකිරි එහෙමත් නැත්නම් සර්චිකල් ස්‌ප්‍රීට්‌ ගානවා.

තවත් ජෙලිෆිෂ් වර්ගයක්‌ ඉන්නවා හරියට ආප්පයක හැඩයට සමානයි. තවත් ජෙලිෆිෂ් වර්ගයක්‌ ඉන්නවා සාමාන්‍යයෙන් අඩියක්‌ අඩි එකහමාරක්‌ විතර ලොකුයි. ඒ වගේම මේ ජෙලිෆිෂ් ඇෙග් ගෑවිලා අසාත්මිකතාවයට පත් වුණාම ඒකට වෙදකම් කරන්න කෙනෙකුත් අපේ පොල්හේන ගමේම ඉන්නවා. ඒ නිසා මේ ජෙලිෆිෂ් වෙනදාට මේවගේ භයානක උවදුරක්‌ වුණේ නැහැ.

මේ වතාවේ මේ ජෙලිෆිෂ් ප්‍රශ්නයට ඉන් පීඩාවට පත් සංඛ්‍යාවට සාපේක්‍ෂව ඊට ලැබුණු ජනමාධ්‍යයේ පුළුල් අවධානය නිසාදෝ සුළු පන්න ධීවර කර්මාන්තයටත් මාතර පොල්හේන වැනි පබ්ලික්‌ බීච් කලාපවල ස්‌වයං රැකියා වලින් ජීවත් වන අයටත් බරපතළ ගැටලුවකට මුහුණ දෙන්න සිදුවුණා. 


මුහුදේ දිය නෑම තහනම වුණත් හැමතැනම සමාන විදියට නෙමෙයි නීතියත් ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තවමත් පොල්හේනට දේශීය සංචාරකයන් හරිහැටි එන්නේ නැහැ. ඒකෙන් අපටයි බඩේපාර වැදිලා තියෙන්නේ.

තැඹිලි ගෙඩියක්‌ බීම බෝතලයක්‌ විකුණ ගන්න රස්‌සාවෙ ඉදලා මහා පරිමාණ රෙස්‌ටුරන්ට්‌ පවත්වගෙන යන අයටත් මේ වෙරළ කලාප ජන ශූන්‍ය වීම බරපතළ විදියට බලපාලා තියෙනවා. ඒ නිසා අපි ජනමාධ්‍ය යෙන් ඉල්ලා සිටින්නේ දැන් ජෙලිෆිෂ් උවදුර පහව ගිහිල්ලය කියලා පුළුල් ප්‍රචාරයක්‌ ලබාදෙන ලෙසයි...

ඉන් පසුව අදහස්‌ දැක්‌වූ පොල්හේනේ එන්.පී. විමලසේන මහතා මෙසේ පැවැසීය.

.... මම රැකියාව හැටියට කරන්නේ පොල්හේන මුහුදේ නාන අයට නළ ජලය සපයන නාන කාමරේ ටෙන්ඩරය බාරව කටයුතු කිරීමයි. මාසෙට ටෙන්ඩර මුදල හැටියට රුපියල් අසූ පන්දාහක්‌ ගෙවන්න ඕනෑ. ඉතින් මේ ජෙලිෆිෂ් උවදුර නිසා මේ විදියට මුහුදු කලාප ජනයාගෙන් හිස්‌ වුණොත් ඇත්තටම මට ඒ මූලික ටෙන්ඩර මුදල වත් ගෙවා ගන්න විදියක්‌ නෑ... යනුවෙනි.

ඉන්පසු අපට හමු වූයේ පොල්හේන මුහුදු තීරයේ ධීවර ශිල්පියකු ලෙසද කටයුතු කරනා ඩබ්. පී. ශාන්ත කුමාර මහතාය.

ජෙලිෆිෂ් උවදුර සම්බන්ධයෙන් ශාන්ත කුමාර මහතා සහ ඔහුගේ බිරි`ද එච්. එම්. මාලා මහත්මිය අතිශය වැදගත් චරිත දෙකක්‌ වන්නේ ජෙලිෆිෂ් ගැන සාමාන්‍ය ජනයා මෙලොව හසරක්‌ නොදන්නා මීට වසර විසි පහක තිහක තරම් ඈත අතීතයේ සිට පොල්හේන මුහුදු වෙරළේ විනෝද වීමට පැමිණ ජෙලිෆිෂ් ස්‌පර්ශ වීමෙන් ආසාත්මික තාවයට පත්වූ අය නොමිලයේම සුවපත් කරමින් ඔවුන් යුවළ නිහඩ සේවයක්‌ සැපයූ නිසාය. මේ ඔවුන්ගේ අදහස්‌ය.

...මේ මගේ අතේ තියෙන්නේ ජෙලිෆිෂ් ගෑවිලා අසනීපවෙලා වෙදකම් කළාට පස්‌සේ මගේ බේත්වලින් සුව වෙලා යනකොට මට ස්‌තුති කරලා මගේ සේවය අගය කරලා ලියපු අදහස්‌ ඇතුළත් කොපි පොත් කීපයකුයි.

මේවගේ තවත් පොත් තොගයක්‌ම ගෙදර තියෙනවා. ඉන් කොටසක්‌ සුනාමියටත් ගහගෙන ගියා. ඉන් කියවෙන්නේ ජෙලිෆිෂ් ස්‌පර්ශ වීම කොතරම් සරල එකක්‌ද කියන එක වගේම එම ආසාත්මික තාවය සාමාන්‍ය ප්‍රතිකාර වලින් කෙතරම් සාර්ථකව මැඩපැවැත් වෙනවද කියන කාරණයයි.

ඒ වගේම අපි මේ වෙදකම් කරනවට සතයක්‌වත් මුදල් ගන්නේ නෑ.

අපි දැන් අවුරුදු විසි දෙකක්‌ විසි තුනක්‌ විතර තිස්‌සේ ජෙලිෆිෂ් ගෑවෙන අයට නොමිලේම වෙදකම් කරනවා. ඒ නිසා එදා මෙදා තුර පොල්හේන මුහුදු තීරයේ එකම විස ගඩු ගෑවිච්ච ලෙඩෙක්‌ වත් අපි මාතර ඉස්‌පිරිතාලෙට යවලා නෑ. ඒ වගේම ජෙලිෆිෂ් ගෑවුනා කියලා ඒ එකම කෙනෙක්‌ගේ වත් ඔය කියන විදියට හාට්‌ එක නැවතිලත් නෑ.

නමුත් ජෙලිෆිෂ් විස හරියට ශරීර ගත වුණොත් කිහිලි ඉකිලි ගැට ගැහෙනවා. නෑ කියන්නේ නෑ. අමාරු වෙනවා. නමුත් මම දැනුවත්ව මේ අවුරුදු තිහ හතළිහට ජෙලිෆිෂ් ගෑවිලා මේ පොල්හේනේ මුහුදෙන් එක මනුස්‌සයෙක්‌ වත් ඉස්‌පිරිතාලෙට ගෙනිහින් නෑ.

මේ විස ජෙලිෆෂ්ගේ ඇෙග් තරමක මස්‌ වැදැල්ලක්‌ තියෙනවා. එකෙත් නූල් වගේ දිගට ඇදෙන ආපහු හැකිලෙන මකුළු දැල් වගේ කොටසක්‌ තියෙනවා. අන්න ඒවා ගෑවුනු ගමන් හම පිච්චිලා වගේ ලප හැදෙනවා. ඒ වගේම මූදේ ඉන්නවා ගිනිමහ, ගොම්මහ කියලා ජෙලිෆිෂ් වර්ගයක්‌. ඒවා ගෑවුනාම නම් ගොඩාක්‌ම විසයි.

විදේශීය සංචාරකයනුත් මගේන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඒ අයත් මට ප්‍රශංසා කරලා මගේ සේවය අගය කරලා ලිපි ආදිය එවලා තියෙනවා.

ජෙලිෆිෂ් ගෑවුනු ලෙඩෙක්‌ ගෙනාවාම ඉස්‌සරවෙලාම මම පොඩි මැතිරිල්ලක්‌ කරනවා. මතුරලා ඉවර වුනාම මට ලෙඩාගේ තත්වය කියන්න පුළුවන්. මම මේ කරන බෙහෙත් සිංහල ආයුර්වේද ක්‍රමයට සමානයි. ඒ බෙහෙත් වට්‌ටෝරුව මගේ පවුලට යම් කෙනෙක්‌ හීනෙන් කියාපු බෙහෙතක්‌.

එක දවසක්‌ ගෙනාපු ලෙඩෙකුගේ ඉන වටේට ජෙලිෆිෂ් ගෑවිලා ඉන වටේම ඇගිල්ලක්‌ තරමට ඉදිමිලා තිබුණා. මම ඒ ලෙඩාවත් අපේ සුපුරුදු වෛද්‍ය ක්‍රම වලින් නිට්‌ටාවට සුවපත් කළා.

මම වෘත්තියෙන් ධීවරයෙක්‌ නමුත් වෙදකමෙන් සත පහක්‌ වත් මිනිසුන් ගෙන් ගන්නේ නෑ. මගේ ධීවර රැකියාවට අවුරුදු හතළිස්‌ පහක්‌ විතර වයසයි. ජෙලිෆිෂ් වෙදකමට බැහැලා අවුරුදු තිහක්‌ විතර වෙනවා.

ඒ නිසා අපි කියන්නේ කලින් අවුරුදු වලත් මෙච්චරම තදේට නැතත් ජෙලිෆිෂ් උවදුර තිබුණා. නමුත් දැන් ඒකේ ස්‌වභාවයත් ස්‌වභාව ධර්මයෙන්ම වෙනස්‌ වෙලා තියෙනවා.

මේ දවස්‌වල සුළු පන්න ධීවර කර්මාන්තෙත් ජෙලිෆිෂ් උවදුර නිසාම අඩාල වෙච්ච නිසා මේ දවස්‌ වල අපට අග හිගයි. ජීවත් වෙන්න අමාරුයි. මගක්‌ නෑ. පොල්හේන පබ්ලික්‌ බීච් එකේ ටියුබ් කාරයෝ මහ මුහුදේ පිහිනීමට හුලං පිරවූ ටියුබ් සපයන්නන්) පවුල් පහක්‌ විතර ඉන්නවා. පොල්හේන වැල්ලෙම කඩ නමයක්‌ තියෙනවා තවත් කඩ කීපයක්‌ එලියේ තියෙනවා.

ඒ සේරම දෙනාගේ බිස්‌නස්‌ මේ දවස්‌ වල අඩාලයි මේ ජෙලිෆිෂ් වසංගතය නිසා... ඒ අදහස්‌ දැක්‌වූයේ තමා දන්නා යම් ශාස්‌ත්‍රයකින් නොමිලේම ජනතාවට සේවයක්‌ද සිදුකරනා නිහ`ඩ සමාජ සේවක ධීවර ශිල්පියකුගේ හඩය. අප එම හඩ ඉහලින්ම ඔසවා තැබීමට ධීවර ප්‍රජාවගේ නාමයෙන් කටයුතු කළෙමු.

බලධාරීන් මෙහිදී ඉතා සංවේදීව ක්‍රියා කළ යුත්තේ ලහි ලහියේ බෝඩ් ලෑලි ගසා ප්‍රචාරක වැඩ සටහන් ක්‍රියාවේ යොදවා ජනතාව සමාජයෙන් පළවා හැරීම ඉතා සුළු දෙයක්‌ වන නමුදු නැවත එය පෙර තිබූ යථා තත්වයට පත්කිරීම තරමක්‌ අසීරු කරුණක්‌ බව විවිධ ව්‍යසන වලදී අප අත් දැක තිබෙනා නිසාය.
 
Related Posts with Thumbnails