Ads 468x60px

.

මිනිසෙකු අනතුරේ වැටුණු විට ඔහු එයින් බේරා ගන්නවා වෙනුවට එය වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ද කර මෝඩ චූන් ගැනීම....


ගිනි ගනිද්දී වීඩියෝ ගත කිරීම

හදිසි අනතුරක් දුටු විට කළයුත්තේ කුමක්දැයි ‍පොදු සමාජයේ ගැවසෙන කෙනකුට සුළු දැනුමක් හෝ තිබිම වැදගත්ය. අනතුරකට ලක්ව සිටින පුද්ගලයකු හෝ පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීමට යම් මැදිහත්වීමක් කළ හැකිනම් පළමුව ඒ සඳහා දායකවීම මිනිස්කමට අදාළ ගුණධර්මයකි. 


එහෙත් දැන් දැන් අසන්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අන්දමේ සිදුවීම්ය. මරදාන ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක බිම් මහ‍ලේ පිහිටි හෝටලයක ඇතිවූ ගින්නකින් තිදෙනකු මියගිය පුවතක්
වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙරය. 

ගෑස් නළයක් හානි වීමෙන් ඇතිවූ බව කී මෙම ගින්න එහි දෙවැනි මහල දක්වා ව්‍යාප්ත වීම නිසා එය නිවා දැමීමට ගිනි නිවන හමුදාවට පැය එකහමාරක් පමණ ගතවූ බවද කියැවිණ. 

ගින්න කොතරම් දරුණු වී තිබේද යන්න එයින් මනාව පැහැදිලි වේ. අවට සිටි පිරිස උනන්දු වූයේ නම් ගින්න මෙතරම් දුරට පැතිර යෑම වළක්වාගත හැකිව තිබුණා යැයි එම සිද්ධිය වූ ස්ථානයේදී අසන්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කර ඇත්තේ මෙසේය.

“ගින්න ඇතිවීමත් සමග ඒ අවට සිටි පිරිස් ගින්න නිවා දැමීමට මුල්තැන නොදී ජංගම දුරකථන ඔස්සේ එය වීඩියෝගත කරමින් සිට ඇති බව…” යනුවෙනි. හදිසි අනතුරකදී පළමුව කළ යුත්තේ කුමක්දැයි නොදන්නවා සේම ජංගම දුරකථනය පාවිච්චි කළ යුත්තේ කෙසේදැයි, කුමක් සඳහාදැයි පුළුල් අවබෝධයක්ද බොහෝදෙනාට ඇති බවක් නොපෙනේ. 


එය දැන් ඇතැමුන්ට වඳුරාට දැලි පිහිය හසුවූවා සේය. අවශ්‍ය පරිදි ගිනි නිවන හමුදාවට, ‍පොලිසියට හෝ වෙනත් එවැනි හදිසි ඇමැතුම් ස්ථානයකට එම පණිවිඩය දීමට එතැන සිටි අය තම ජංගම දුරකථනය භාවිත කිරීමට තරම් දැනුවත්ව සිටියේ නම් ඇතැම් විට ඒ මියගිය අයගේ පවා දිවි ගලවා ගැනීමට තිබිණ. 

අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රයෝජනය ගන්නවා වෙනුවට එහි ඇති තාක්ෂණික උපාංග ඉබාගාතේ පාවිච්චි කිරීම එදිනෙදා සමාජයේ ඕනෑ තරම් දැකිය හැකිය. ජංගම දුරකථනයෙන් ඡායාරූප හා වීඩියෝ දර්ශන ගැනීමට අවශ්‍ය හෝ සුදුසු හෝ අවස්ථා තෝරා බේරා ගැනීම ඒ ඒ පුද්ගලයන්ගේ දැනුම හා හැදියාව මත සිදුවන්නකි. 

එහෙත් මිනිසකු අනතුරේ වැටුණු විට ඔහු එයින් බේරාගැනීම සඳහා පුද්ගලයකුට ස්වභාවයෙන්ම දැනෙන පෙලඹවීම පවා දැන් මෙම තාක්ෂණික මෙවලම් විසින් ඩැහැගනු ලැබ තිබිම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

මීට සති කිහිපයකට පෙර රාගම දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරකදී ද මෙවැනිම තත්ත්වයක් අසන්නට ලැබිණ. දුම්රිය මාර්ගයට ඇදවැටුණු මව හා දියණිය බේරාගැනීමට ගොස් සිය දෙපා අහිමි කරගත් පුද්ගලයකු රෝහ‍ලේදී පවසා තිබුණේ අසල සිටියවුන් ඒ සඳහා උදව් නොකර සිද්ධිය ඡායාරූපගත කරමින් සිටි බවය. 


එබැවින් ජීවිතය පරදුවට තබා අනතුර ඉදිරියට ගිය ඒ උත්තම ගණයේ මිනිසාට අපගේ ප්‍රණාමය නිර්ලෝභීව පුද කළ යුතුය. අද අවිචාරවත් ලෙස ජංගම දුරකථනය භාවිත කිරීම රිය අනතුරු ඉහළ යෑමටද විශාල පිටිවහලක් වී ඇතැයි ‍පොලිස් රථවාහන අංශය කියයි. 

එමෙන්ම කන්වලට ‘ඇබ’ ගසාගත් අයට වටපිට ගැන වගේ වගක් නැති නිසා සිදුවන අනතුරු මෙන්ම දුම්රිය, බස්රිය, රෝහල, පන්සල ආදී ‍පොදු ස්ථානවලදී පවා අන් අයටද හිරිහැරයක් වන පරිදි තම පෞද්ගලිකත්වයද නිරාවරණය කරමින් ජංගම දුරකථනය අසංවරව ලෙස භාවිත කරන පුරුද්ද ද ඇතැම් අයට බෝවී තිබිම මහජනතාවට හිරිහැරයක් වී තිබේ. 

අනෙක් අතට අද මිනිසුන්ගේ වැඩකරන කාලයෙන් කිසියම් ප්‍රතිශතයක් ජංගම දුරකථනයට  නිකරුණේ වැයවීම නිසා මිනිසුන්ගේ වැඩකරන පැය ගණනද කෙටි වී ඇති බව නොරහසකි. මේ අනුව ජංගම දුරකථනයට අසීමිත ලෙස ඇබ්බැහි වීම බරපතළ සමාජ වින්නැහියක පෙරනිමිත්තක් බව හඳුනාගත යුතුය. 

එබැවින් ජංගම දුරකථනය ‍පොදු සමාජයේදී අවැඩදායක ලෙසට යොදා ගැනීමේ ප්‍රවණතාව ඉහළ යෑමේ අවදානම දැඩි විමසුමට ලක් කළ යුතු කරුණක් බව අපි පෙන්වා දෙමු.
 
Related Posts with Thumbnails