Ads 468x60px

.

ලංකාව තවදුරටත් ඒ පැත්තටත් මේ පැත්තටත් නැති දේශපාලන පතෝල මැස්‌සක්‌ විය යුතුද?


රාජකීය දෛවඥයා මොනවා කීවත්, බැසිල් රාජපක්‍ෂ මොනවා හිතුවත් පසුගිය අවුරුද්දේ අවසාන කොටස වන විට ලංකාවේ ඡන්දදායකයන් ගෙන් හැට දෙලක්‍ෂයකට රාජපක්‍ෂ ආණ්‌ඩුව එපා වී තිබිණි. 

ජනතාවගේ එම නාඩිය හොඳින් තේරුම් ගත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප.ය කඩාගෙන එළියට බැස්‌ස අතර එ.ජා.ප.ය සමඟ එකතු වී ජනාධිපතිවරණය ජය ගත්තේ ය. ඔහු ලද ඡන්ද ප්‍රමාණය හැට
දෙලක්‍ෂයකි. මහින්ද රාජපක්‍ෂ ලද ඡන්ද ප්‍රමාණය පනස්‌ අට ලක්‍ෂයකි.

මෛත්‍රී ජනාධිපතිවරණයට එන්නේ දින 100 ක පොරොන්දුවක්‌ අතේ තබාගෙන ය. අලුත් ජනාධිපතිතුමා දිවුරුම් දෙන දවසේ පටන් ඉදිරියට ගත කරන දින 100 තුළ බඩු මිල අඩු කිරීම සහ ජනාධිපති බලතල කප්පාදු කිරීම එම පොරොන්දුව තුළ තිබෙන කාරණා බොහොමයකින් දෙකක්‌ ය.

ඒ දෙකම හැකි පමණින් මේ වන විට ඉටුකර තිබේ. එදා මෛත්‍රී අත තිබූ පොරොන්දු මාලාවේ වැදගත්ම පොරොන්දුව වන්නේ දින සියය නිමාවට පත් වූ ගමන්ම මහ ඡන්දයකට යැමය. මිනිසුන් ඡන්දය දුන්නේ එම පොරොන්දුවටත් එක්‌ක ය. 

අද දින සියයේ කෑලිත් නැත. දින 100 ට අදාළ වැදගත්ම පොරොන්දුව වන ආණ්‌ඩුව විසුරුවා හැර මහ ඡන්දයකට යැමක්‌ සිදුවෙලාත් නැත.

දින 100 අවසන් වීමෙන් පසු ඡන්දයකට යන බව ජනාධිපතිවරයා පොරොන්දුවක්‌ ලෙස ජනතාවට ඉදිරිපත් කරන ලද්දේ නම්, එම පොරොන්දුව කඩකර තිබෙන ආණ්‌ඩුව දිගටම පවත්වාගෙන යැම, ජනවරමක්‌ නැති නීත්‍යනුකූල නොවන තත්ත්වයක්‌ බව දැනට තර්ක කරනු ලැබේ. මෙහි තේරුම දැනට තිබෙන ආණ්‌ඩුව අවලංගු බව ය. 


ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර වහා ඡන්දයකට යන ලෙස එ.ජා.ප.ය ඉල්ලයි. එ.ජා.ප.ය පමණක්‌ නොව ශ්‍රීලනිපයත්, දෙමළ පක්‍ෂත්, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත්, විමල් වීරවංශත්, දිනේෂ් ගුණවර්ධන ත් තව බොහෝ දෙනාත් එම ඉල්ලීම තරයේම කරති. 

එහෙත් ජාතික හෙළ උරුමය එයට විරුද්ධ ය. මෛත්‍රී ජනාධිපතිතුමාගේ ළඟම හිතවතකු වන රාජිත සේනාරත්න කැබිනට්‌ ප්‍රකාශකතුමා ද නිතරම කියන්නේ 20 වන සංශෝධනය සිදුකිරීමෙන් පසු පමණක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය.

ජනාධිපති පදවියට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවන ලද ආණ්‌ඩුවට ජාතික ආණ්‌ඩුව යෑයි කියන ලදී. රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් මෛත්‍රී සමඟ එළියට බැස්‌ස පළමුවන පිරිසට මෙහි ඇමැති තනතුරු ස්‌වල්පයක්‌ ලැබුණේ ය. 


එහෙත් මේ ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ නොව සුළුතර ආණ්‌ඩුවක්‌ බව කීම වඩාත් යෝග්‍ය ය. මේ ජාතික ආණ්‌ඩුව ස්‌වල්ප වාතයක්‌ පමණක්‌ම නොවේ. සුවිශාල අවුලකි. තීරණ ගැනීමේ සිට තීරණ ක්‍රියාත්මක කිරීම දක්‌වා සියලු දේ අවුලකි. එබැවින් රටකට ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ අවශ්‍ය ය. 

ඒ සඳහා වහා පැවැත්වෙන ඡන්දයක්‌ අවශ්‍ය ය. ඡන්දයකට යැමට පාර්ලිමේන්තුව විසුරුවීම අවශ්‍ය ය. දින 100 න් පසු රට පාලනය කිරීමට මේ ආණ්‌ඩුවට ජනවරමක්‌ නැති බව වැඩි දෙනා කියති නම් විකල්පය පාර්ලිමේන්තුව විසුරුවීම ය. 

ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ නැති රටක්‌ ළඟින්වත් ආයෝජකයෝ නොයති. ශ්‍රී ලංකාව තවදුරටත් ඒ පැත්තටත් මේ පැත්තටත් නැති දේශපාලන පතෝල මැස්‌සක්‌ විය යුතුද?
 
Related Posts with Thumbnails