Ads 468x60px

.

කොටකෙතන ගෑනු මරන සැබෑ මිනීමරුවෝ කවුද?


කොටකෙතන ගම හරියට විසාලා මහනුවරක් මෙනි.  ඇඳිරි වැටෙනවාත් සමග අමු සොහොනක් බඳුය.  එහි රජයන්නේ භීතිය පමණි. රත්නපුරයේ කහවත්තේ  කොටකෙතන ගමට මේ භීතිය පැමිණ දැන් වසර ගණනාව ක්  ගත වී ගොසිනි. 

එදා මෙදාතුර කොටකෙතන භීතිය නැති කිරීමට ආ ‍පොලීසියේ මහ කෙරුමා වූයේ වාස් ගුණවර්ධනය.  එකල ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි වරයෙකි. ඇතැම් මාධ්‍ය විසින් ඔහු පුම්බනු  ලැබුවේ  අපරාධවල  සුලමුල සොයා ගත හැකි ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂකයෙකු ලෙසිනි.

කොටකෙතන කාන්තා ඝාතන වැල මැඩලීමට කොටකෙතනට ආ වාස් ගුණවර්ධන කහවත්ත මධ්‍ය මහා විදුහ‍ලේ දී ගම්මු ඇමතුවේය. 


කොටකෙතන භීෂණය නතර කිරීමට තමන්ට නොහැකි  වුවහොත් තම ‍පොලිස්  කබාය ගලවා කොටකෙතන වත්තේ රබර් ගසකට අන්ද වන බව ඔහු කීවේය. කොටකෙතන සිද්ධීන් හේතුවෙන් නිල කබාය ගැල
වීමට පෙර සැබැවින්ම වාස් ගුණවර්ධනගේ නිල කබාය ගැලවී ගියේය. ඒ ඔහුට එල්ල වී තිබෙන ඝාතන චෝදනාවක් නිසාය.

කොටකෙතන ගම්මුන්ද කියන්නේ වාස් ගුණවර්ධන ගමට ඇවිත් කළේද තරුණයන් බිය ගන්වා ඔවුන්ට පහර දී මිනීමැරීමේ චෝදනා භාර ගන්නා ලෙස කීම පමණක් බවය. එසේ නොමැතිව සැබෑ මිනීමරුවන්ට එරෙහිව සාක්ෂි සොයා ඔවුන්ට එරෙහිව  අධිකරණයෙන් දඬුවම් කිරීමට පොලීසිය ට ඕනෑ වූයේ නැත. 


ඒ ඉකුත්  කාලයේ ‍පොලීසිය නඩු විසඳා ගැනීමට උසාවි වෙනුවට සැකකරුවන් සමග ආයුධ පෙන්වන්නට ගිය බැවිනි. එවැනි සිද්ධින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නාට්‍යානුසාරයෙන් මාධ්‍යයට කීවේය. පොලීසියේ එවැනි පිටපත්වලට උසාවියෙන්ද අනුමැතිය ලැබුණේ පොලීසිය සැකකරුවන්ට වෙඩි තබා  මරා දැමීම සාධාරණීයකරණය කරමිනි.

එනමුත්  කොටකෙතනට තවමත් සාධාරණය ඉටු වී නැත. ගම්මු තවමත් සිටින්නේ මරණ බියෙනි. ගැහැනු දරුවන්, තරුණියන්, මව්වරුන් පමණක් නොව  වයසක කාන්තාවන්ද භීතියෙන් තැතිගෙන සිටින්නේ තමා කුමන මොහොතක හෝ දූෂණය වී යතැයි සැකයෙනි. කොට කෙතනට යළිදු වරක් භීතිය රැගෙන ආවේ  ගිය සතියේ ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුවත්  සමගය.


කහවත්ත, කොටකෙතනනදී 2012 වසරේ දී  වූ  දවෛනි ද්විත්ව  ඝාතන සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන්  තිදෙනා වසර 3ක නඩු විභාගයකින්  පසු කොළඹ මහාධිකරණය මගින් නිදොස්  කොට නිදහස් කිරීම එයට හේතුවය.


දවෛනි වරට කහවත්ත කොටකෙතන දී ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි එම්.ඒ. පුෂ්පකුමාරි හා ඇගේ  මව වන වයි. ප්‍රේමවතී මහත්මියයි. ඝාතනය කිරීමෙන් පසු  ඔවුන් විසූ නිවස තුළටම දමා නිවස පිටින්ම ගිනි බත්  කර තිබූ මෙම ද්විත්ව ඝාතනය මුල් අවධියේ අබිරහසක් වී තිබුණි.


එහෙත් කොළඹ අපරාධ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තු නිලධාරීන්ගේ දීර්ඝ පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එල්.එච්. මිථිල ලොකුගම්හේවා, එල්.එම්. නාමල්, එස්.එම්. නුෂාන් හා ආචාරිගේ සිරිපාල යන සිව්දෙනා අත්අඩංගුවට පත්වූයේ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි.


මීට පෙර කහවත්තේදී වූ  කාන්තා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ  සොහොයුරෙකු ද වන මිථිල ලොකුගම්හේවා ඇතුළු පිරිස අවස්ථා කිහිපයකදී පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණ හමුවටද රැගෙන එනු ලැබිය. ඉන්පසු වැඩිදුර නඩු විභාගය, කොළඹ මහධිකරණය හමුවේ පැවැත්විණි.


කහවත්ත දෙවන ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනාගෙන් ආචාරිගේ සිරිපාල නමැත්තා රජයේ සාක්ෂිකරුවෙකු බවට පත් කෙරුණි. අනෙක් විත්තිකරුවන් වෙනුවෙන් චෝදනා ගොනු කෙරිණි. පැමිණිලි පාර්ශ්වය වන කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳ පරවේෂණීය සාක්ෂි රැසක් මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා රැසක්ද කොළඹ මහාධිකරණය වෙත යොමු කරනු ලැබිය.


කෙසේ වෙතත් ඉකුත් මැයි මස 27 වෙනි දින කොළඹ මහාධිකරණය මෙම ද්විත්ව ඝාතන සිද්ධි පිළිබඳව අවසන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ කහවත්ත කොටකෙතන දෙවන ද්විත්ව ඝාතන සිද්ධියේ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්  කරමිනි. 


පැමිණිලි පාර්ශ්වය මගින් ඉදිරිපත්  කළ සාක්ෂි කිසිවකින් විත්තිකරුවන්  මෙම ඝාතනය කළ බවට ඔප්පු කරගත නොහැකි වී තිබුණි. රජයේ සාක්ෂිකරුවා බවට පත්වූ ආචාරිගේ සිරිපාල ඉදිරිපත්  කළ සාක්ෂිද පරස්පර  විරෝධීම විය.  එම විත්තිකරුවන් නිදහස් වීම ගැන තර්කයක් නැත.  මක්නිසාදයත් විත්තිකරුවන්  වරදකරුවන් වන්නේ නීතිය ඉදිරියේ දිග හැරෙන සාක්ෂි සහ කෙස් පැළෙන තර්ක වලිනි.

නමුත් ජනතාවට තිබෙන  ප්‍රශ්නය වන්නේ එම විත්තිකරුවන් ඝාතනයට සම්බන්ධ නැත්නම්  කොටකෙතනේ ගෑනු මැරුවේ කවුද යනුවෙනි. 


දශක තුනක්  පුරා සැඟවී සිටි ප්‍රභාකරන් ඝාතනය කර යුද්ධය අවසන් කිරීමට හැකි නම් කුඩා ගමක වන ඝාතන වැල නතර කිරීමට ආරක්ෂක අංශ අසමත් වී ඇත්තේ කුමන කාරණාවක් නිසාදැයි  ගම්මු ප්‍රශ්න කරති. 

එහිදී ඔවුන්ගේ ඇඟිල්ල ප්‍රබල දේශපාලනඥයකු වෙතටද යොමුව තිබේ. ගම්මුන්ගේ ඒ සැකයට බොහෝ සාධාරණ හේතු ඇත. 

ඔවුන් පවසන්නේ කුඩු ජාවාරමක් හෙළි වෙතැයි බියෙන් මෙම ඝාතන ඇරඹි බවය. වාස් ගුණවර්ධන කහවත්තට පැමිණ කළේ දේශපාලනඥයා ගේ ඕනෑ එපාකම් මත මෙම ඝාතන වැ‍ලේ සාක්ෂිකරුවන් අතුරුදන් කිරීම බව ඔවුහු පවසති.

එසේ නැතිව ‍පොලීසිය හරි ආකාරයෙන් පරීක්ෂණ අරඹා සැබෑ ඝාතකයන් අල්ලා  ගෙන උසාවියට ඉදිරිපත් කළේ නම් මෙවැනි දෙයක් නොවන බව කොටකෙතනේ ගම්මු කියති. ගිය සතියේ ඔවුන් පාරට බැස ඉල්ලුවේ තම ගමට සාධාරණය ඉටු කරන ලෙසය. මේ සිද්ධිය දෙස බැලුවහොත් පොලිස් දෙපාර්තමේන්තුවද මේ වසර හත අට තිස්සේ කහවත්තේ නීතිය හා සාමය වෙනුවෙන් නොකළ දෙයක් නැත තරම්ය.


‍පොලිස් නිලධාරීන්, ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ‍පොලිස් බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදාව, හමුදා බුද්ධි අංශ, සිවිල් ආරක්ෂක බළකාය, සිවිල් ආරක්ෂක කමිටු ආදී සෑම අංශයටම  අයත් නිලධාරීන්  විශාල පිරිසක් ඉකුත් කාලයේ කොටකෙතනට පැමිණියහ. ඇතැම්  කණ්ඩායම් කඳවුරුලා කොටකෙතනේ පදිංචි වූහ.


ශ්‍රී ලංකා ‍පොලීසියේ නම ගිය නිලධාරීන් ලෙස සලකන නි. ‍පොලිස්පති පූජිත් ජයසුන්දර, නි. ‍පොලිස්පති වාස් ගුණවර්ධන ආදීහු කොටකෙතනට පැමිණ පුරසාරම් දෙඩූහ. ජනතාවද අත්‍පොලසන් දෙමින් එම දේශනවලට දිවා රාත්‍රී දෙකෙහිම සවන් දුන්හ.


 එහෙත් සිදුවෙමින් පවතින්නේ අනෙකකි. කොටකෙතන කාන්තා ඝාතන සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ. ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවට  පමුණුවනු ලබන සැකකරුවන් සාක්ෂි ඔප්පු කරගැනීමට නොහැකිව නිදහස් වෙමින් සිටී. වරින් වර සිදුවන උද්ඝෝෂණ, විරෝධතා පෙළපාළි  හේතුවෙන් කහවත්ත අවට ජනතාවගේ ජන ජීවිත අර්බුදයකට ලක්වෙමින් තිබේ.


රජයේ මුදල් හා දේපළ රුපියල් කෝටි ගණන් වැය කොට කොටකෙතන ඝාතන සිද්ධීන් පිළිබඳව විවිධ ආයතන හා නිලධාරී කණ්ඩායම් දැනට වසර හත අටක් තිස්සේ සිදුකරන පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වන්නේ මන්ද, විශාල පෙරළියක් කරමින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ටික දිනකින් නිදොස් කොට නිදහස් වී යළි කහවත්තට පැමිණෙද්දී කහවත්තේ සැබෑ ඝාතකයින් කවුරුන්ද යන ගැටලුවලට පිළිතුරු නොමැතිව ජනතාව විපිලිසරව ගල්ගැසී බලා සිටී.


රටේ දේශපාලන බලය මාරු වී ගියද තනතුරු තානාන්තර වෙනස් වුවද කහවත්ත කොටකෙතනට ලබා ඇති ග්‍රහචාරය නම් මාරු වී ගිය ඡායාවකුදු නැති තරම්ය.


- බුද්ධික රත්නකුමාර
 
Related Posts with Thumbnails