Ads 468x60px

.

රජයේ ආදායම් භාර නිලධාරියා සුරාසල් වසනවා කී විට ඔලුවේ අතගසා ගැනීම...


2020 වනතුරුත් රට දුවන්නේ අරක්‌කු වලින්ද?

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (09 දා) ප්‍රකාශයට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 

එහිදී කළ දේශනයේදී ජනාධිපතිවරයා කීවේ, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වෙනුවෙන් සුරාසල් දින තුනක්‌ වසා දැමීමට තීරණය කළ පසු රජයේ ආදායම් භාර නිලධාරියා ඔළුවේ අත ගසාගත් බවය.

රජයේ ආදායම් භාර නිලධාරියා ඔලුවේ අත ගසාගෙන විස්‌සෝප වූයේ හවසට හීන් අඩියක්‌ නොගසා දින තුනක්‌ ගත කරන්නේ කොහොමද

යන්න කල්පනා වී නොවන බව කිව යුතුය. 

ආදායම් භාර නිලධාරිතුමාට හීන් දාඩිය දමා ඇත්තේ ජාතික ආදායම සකස්‌ කර ගැනීමේදී සුරාසල් ආදායම අහිමිවීමේ බරපතළකම කල්පනාව ට ආ නිසාය. කෙසේ හෝ මේ තත්ත්වය කොතරම් බරපතළ ද යන්න සනාථ කරමින් දින තුනක්‌ වසා දැමීමට තීරණය කළ සුරාසල් එක්‌ දිනක්‌ පමණක්‌ වසා දමන්නට රජය තීරණය කර තිබිණි.

ජනාධිපතිවරයා සිය කතාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ 2020 වර්ෂය වන විට සුරාබදු ආදායම් නොමැතිව රජයේ ආදායම් සකස්‌ කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

හවසට අඩියක්‌ පුඩියක්‌ ගසා තැන තැන වැටී සෙම වමනය ගංඟා පා කරන බෙබේලා ගැනත් එක වීදුරුවක්‌ ගසා බෝතලයක වෙරි පෙන්වා අඹු දරුවන්ට 'යක්‍ෂාගමනය' ටීටර් පෙන්වන කනමදයන් ගැනත් දැන් අපට අනුකම්පා කරන්නට සිතේ. පහුගිය අවුරුදු ගාණක්‌ම රජයේ ආදායම් සකස්‌ කරගන්නට මහඟු දායකත්වයක්‌ ඉටුකර ඇත්තේ මේ උදවිය නොවේද? 


මත්වතුර නවතා දමන්නට යුද්ධයක පැටලී සිටින බොහෝ රාජ්‍ය නොවන සංවිධාන පමණක්‌ නොව මතට තිත වැනි ආණ්‌ඩුවක සංකල්ප පවා, අපට පෙනෙන්නේ මේ යහපත් ව්‍යායාමයට එරෙහිව ගොඩනැගුණු බලවේග ලෙසය. 

රජයේ ආර්ථිකය බිඳ දමන්නට කැසකවන මෙවැනි පටු පරමාර්ථ 2020 වර්ෂය වන තෙක්‌ මුදුන්පමුණුවා ගැනීමට ඉඩ නොදීම ගැන අපි වත්මන් පාලනාධිකාරියට ස්‌තුතිවන්ත විය යුතුය.

සුරාසල් යනු ඕනෑ කබ්බෙකුට හිටි ගමන් ආරම්භ කළ හැකි ව්‍යාපාර නොවේ. කවුරුන් හෝ අමාරුවෙන් මුදල් සොයාගෙන ටවුමක රෙදි කඩයක්‌ ආරම්භ කළ විට හැමෝටම රෙදි කඩ ආරම්භ කරන ක්‍රමයටම තැබෑරුම් ආරම්භ කළ නොහැකිය. 


වර්තමානයේ සුරාසලක්‌ ආරම්භ කිරීම යනු දේශපාලන හයියක මහඟු ඵලයකි. ඕනෑම නොදන්නා ගමකට නගරයකට ගොස්‌ නිවසක්‌ පුද්ගලයෙක්‌ සොයා ගන්නට බැරි පුද්ගලයකුට වුව "බාර්" එකක්‌ ඇති තැනක්‌ සොයා ගන්නට ගත වන්නේ නිමේෂයකි. 

තත්ත්වය එබඳුය. මත් ද්‍රව්‍ය නිවාරණ මාසයෙත් මේ සුරාසල් ඉහළ ආදායම් වාර්තා තබන බවට සැක නැත. මොනවද ඔට්‌ටු?

මේ සියල්ල නීත්‍යානුකූල "බාර්" ය. රට පුරා ඇති "හොර පොට්‌" ද බහුලය. බාර් එක වසා ඇත්නම් හොර පොට්‌ එකේ බඩු ෂුවර්ය. මේ ආදායම රටේ ජාතික ආදායම සකස්‌ කරගැනීමට කොයිතරම් අනුකූලතාවක්‌ දක්‌වනවා දැයි නොදනිමු.

මත් ද්‍රව්‍ය නිවාරණ මාසය පුරාම නොව ජීවිත කාලය පුරාම මතින් නිවී සැනසෙන්නට ඕනෑ තරම් "බඩු" රට පුරාම ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. බෝතලයේ සිට කුඩු, පෙති දක්‌වාත් අවශ්‍ය නම් පාසල් ආසන්න යේ කඩචෝරු කඩවල "ටොෆි" වශයෙන් විකිණීමට ද "මත් බඩු" තිබේ. මේවායේ ලාබ රජයේ ආදායම් සකස්‌ කරගැනීමට "වක්‍රව" හෝ ලැබෙනවා දැයි නොදනිමු.

රජයේ ආදායම් භාර නිලධාරියා සුරාසල් වසනවා කී විට ඔලුවේ අතගසා ගැනීමත්, මෙපමණ කල් රටේ ආර්ථිකය දුවමින් ඇත්තේ අරක්‌කුවල හයියෙන් බවත් කීම අපට හාස්‍යයට නොව දුකට කාරණයකි. 


එන කොයි ආණ්‌ඩුවේ උදවිය වුණත් රටේ නිසි ආර්ථික කළමනාකරණය ක්‌ නැතැයි කියමින් අනෙක්‌ අයට දොස්‌ පවරනවා මිස සැබෑ ප්‍රශ්නයට විසඳුම් සොයා නැති බව පෙනේ. රටේ නිෂ්පාදන ආර්ථිකයක්‌ ගැන හිතන්නට මෙච්චර කල් ගත්තේ ඇයි? 2020 වනතුරුත් රට දුවන්නේ අරක්‌කු වලින්ද?
 
Related Posts with Thumbnails