Ads 468x60px

.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නැහැ කියලා ඔවුන් නිතර නිතර කිව්වා - දිමුතු ආටිගල

මගේ අත්වලටයි, කකුල්වලටයි මාංචු දාලා තිබුණේ...
මම වාහන අංකය දැක්කේ 2801 වගේ....

පසුගිය 06 වැනිදා පැහැරගත් දිමුතු මෙනවිය අද (10) උදෑසන එම පක්‍ෂයේ මූලස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභික උදුල් පේ‍්‍රමරත්න මහතා පැවසීය.

තමා පැහැරගත් උදවිය ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් නොවන බව තමාට ඒත්තු ගන්වන්නට බලවත් උත්සාහයක නිරත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික දිමුතු ආටිගල මෙනවිය පවසයි. එසේ වුවද ඔවුන් ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් බවට තමාට හැඟුණු බව ඇය පෙන්වා දුන්නාය.




කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන යනු ලැබීමෙන් පසුව අද (10) උදෑසන නිදහස් කිරීමෙන් අනතුරුව මාදිවෙල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දිමුතු ආටිගල මෙනවිය සිය අත්දැකීම මෙසේ මාධ්‍යවේදීන් හමුවේ විස්තර කළාය. එහිදී ඇය මෙසේද සඳහන් කළාය.


‘‘පසුගිය හය වැනිදා සවස 6.00ට විතර පක්ෂයේ වැඩක් අවසන් වෙලා බස් එකෙන් බැහැලා ගොඩගම ගෙදරට යමින් සිටියදී සුදු වෑන් එකකින් ආපු පිරිසක් මාව වෑන් එකට දා ගත්තා. මගේ ඇස් බැන්දා. වෑන් එකේ හය දෙනෙක් විතර හිටියා. ආයුධ තිබුණා. 

ආරක්ෂක අංශවලට සම්බන්ධ අය කියා සැක කරනවා. ගොඩක් දුර වාහනයෙන් රැගෙන ගියා. ඊට පස්සේ නිවසක උඩ තට්ටුවකට ගෙන ගියා. එතන කඳවුරක් හෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ තැනක් විදියටයි මට හැඟුණේ.


පැය දෙකක් විතර මගෙන් ප‍්‍රශ්න කළා. දිගටම ප‍්‍රශ්න කළේ ඇස් බැඳලා. ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර ලේකම්වරිය ලෙසයි මගෙන් ප‍්‍රශ්න කළේ. අපට තිබෙන ජාත්‍යන්තර සබඳතා පිළිබඳව දිගටම ප‍්‍රශ්න කළා. මගේ බැංකු පොත් අරගෙන ඒවා ගැන ප‍්‍රශ්න කළා. 

සල්ලි එන්නේ කොහෙන්ද කියලා ප‍්‍රශ්න කළා. අපේ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක් තිබෙනවාද කියලා දිගටම ඇහුවා. දිගටම මගේ අත්වලටයි, කකුල්වලටයි මාංචු දාලා තිබුණේ. ලලිත් සහ කුගන් ගැන ඇහුවා. ඔවුන් එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධද කියලා ඇහුවා. මම කිව්වා කිසිසේත්ම නැහැ කියලා.


ඊට පසුවදා උදේ 5.30ට විතර - කුරුල්ලන්ගේ හඬින් මම දැන ගත්තා එළිවෙමින් තිබෙන බව - නැවතත් ප‍්‍රශ්න කළා. ඒ වෙලාවේ එතන කුමාර් ගුණරත්නම් සහෝදරයාත් හිටියා. ඔහුගේ කටහඬින් මම හඳුනා ගත්තා. ඊළඟට ඔවුන් කිව්වා, කුමාර් සහෝදරයා එතන ඉන්නවා කියලා. ඔහුගෙන් සහ මගෙන් මාරුවෙන් මාරුවට ප‍්‍රශ්න කළා. 

මගෙන් ප‍්‍රශ්නයක් අහනවා, ඊළඟට ඔහුගෙන් අහනවා. 09 වැනිදා සමුළුව ගැන ඇහුවා. අපි නැතිව සමුළුව අසාර්ථක වේවිද කියලා ඇහුවා. සමුළුවේ පත්වන නිලධාරී මණ්ඩලය ගැන ඇහුවා. නායකයා කවුද, මධ්‍යම කරක සභාව කවුද, දේශපාලන මණ්ඩලය කවුද කියලා ඇහුවා. පැය දෙකක් විතර ප‍්‍රශ්න කළා. ඊට පස්සේ නැවත කාමරයට දැම්මා.


පසුවදා වාහනයක දාලා වෙනත් තැනකට ගෙන ගියා. ඒත් ගෙන ගියේ ඇස් බැඳලා, මංචු දාලා. මම හිතන්නේ ඒ වාහනේ කුමාර් සහෝදරයාත් හිටියා. ඔවුන් කතා කරන විදියෙන් මට ඒ බව තේරුණා. ඒ ගෙන ගියේ පාර අයිනේ තිබුණු තැනකට. ඒ වටේ තවත් ගෙවල් තිබුණා. 

ඊයේ ? තවත් නිලධාරියෙක් ආවා. ඔහු මීට කලින් මගෙන් ප‍්‍රශ්න කළ කෙනෙක් නොවෙයි. ඔහු කිව්වා කුමාර් සහෝදරයාගේ පාස්පෝට් එකේ ප‍්‍රශ්නයක් තිබෙනවා. ඔහු ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙක්. ඔහු ගියාට පස්සේ ඔවුන් කියන විදියට ඉන්නවා නම්, මට නිදහස් වෙන්න පුළුවන්, ඊට දින කිහිපයක් යාවි කියලා.


ඊට පස්සේ නැවත කිව්වා, යන්න සූදානම් වෙන්න කියලා. නමුත් මට තේරුණා ? යන්නේ නැහැ කියලා. පස්සේ උදේ කතා කළා. කතා කරලා කිව්වා, කුමාර් සහෝදරයා ඔස්ටේ‍්‍රලියාවට ගියා, දැන් යන්න සූදානම් වෙන්න කියලා. ඊට පස්සේ ඇස් බැඳලා වාහනයක දාගෙන ආවා. 

මගෙන් ඇහුවා කොහෙටද යන්නේ කියලා. මම කිව්වා, මාදිවෙල ඔෆිස් එකට කියලා. ඔවුන් කිව්වා, ඔෆිස් එකට එක්කර ගෙන යන්න බැහැ, ළඟට ගෙනිහින් දාන්නම් කියලා. පස්සේ තලපත්පිටියේ අතුරු පාරකට ඇවිත් නතර කරලා මාව බස්සලා අනෙක් පැත්ත හරවලා, අතට සල්ලි දීලා කිව්වා ත‍්‍රී විල් එකක යන්න කියලා. 

ආපහු හැරිලා බලන්න එපා, හඳුනා ගන්න උත්සාහ කරන්න එපා කිව්වා. මාව බස්සලා ඔවුන් ගියා. මම වාහන අංකය දැක්කේ 2801 වගේ. කොහොම වුණත් ඔවුන් කිව්වා, වාහන අංක බැලූවාට වැඩක් නැහැ කියලා.


ඊට පස්සේ මම ත‍්‍රීවිල් එකක නැඟලා ඔෆිස් එකට ආවා. ඔවුන් දිගටම කියන්න උත්සාහ කළා, ඔවුන් ආරක්ෂක අංශවලට සම්බන්ධ නැහැ කියලා. නිදහස් වුණාට පස්සේ ගෝඨාභය සම්බන්ධ කරලා විවිධ ප‍්‍රකාශ කරාවි. නමුත් එහෙම සම්බන්ධයක් නැහැ කියා අඟවන්න දිගටම උත්සාහ කළා. ඒක ඔවුන් නිතර නිතර කිව්වා. 

ඒ වෙලාවේ මම ඔවුන්ට කිව්වා, ඔයාලා ළඟ ආයුධ තිබෙනවා, ආණ්ඩුවේ ආරක්ෂාවක් නැත්නම් මෙහෙම වැඩ කරන්නේ කොහොමද කියලා. නමුත් ඔවුන් ඒකට මොනවාත් කිව්වේ නැහැ. පස්සේ ඔවුන් කිව්වා අපි කියන දේවල් ඇත්ත කියලා හිතනවා. කලින් ඔවුන් හිතාගෙන හිටියා අපි සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක ඉන්නවා කියලා. දැන් එහෙම නැහැ කියලා පිළිගන්නවා කියලා කිව්වා.


මාව වාහනයට දා ගනිද්දී මම දැක්කා නිල් පාට නිල ඇඳුම් ඇඳගත්තු දෙන්නෙක් ඉන්නවා. අනෙක් අය සිවිල් ඇඳුමෙන් හිටියේ. අරගෙන ගිය තැන්වල අය ආරක්ෂක අංශවලට සම්බන්ධයි කියලා හිතනවා. මොකද ඔවුන් කතා කරද්දී පාවිච්චි කළ වචන පොලිසියේ අය පාවිච්චි කරන වචන. සර් කියලා කතා කරනවා ඇහුනා, ගොඩක් වෙලාවට. 

පොලිස් ක්වාටර්ස් කියන වචනය කිහිප සැරයක් ඇහුනා. මාව රැුගෙන යද්දී දෙන්නෙක් මගදී බැහැලා ගියා. ඔවුන් ජවිපෙට හිතවාදීව කතා කළේ. ඔවුන් මට කිව්වා ජවිපෙට කළ දේ තමයි පළ දෙන්නේ කියලා. ජවිපෙන් වෙන් නොවී හිටියා නම් ප‍්‍රශ්නයක් නැහැ කිව්වා. කොහොම වුණත් මෙය නිල හා නිල නොවන හමුදාවල කි‍්‍රයාකාරීත්වයක් කියා පැහැදිලියි.


මාධ්‍යවේදීන් විසින් නගන ලද ප‍්‍රශ්නවලට දිමුතු ආටිගල මෙනවිය ලබා දුන් පිළිතුරු.


ප‍්‍රශ්නය - කුමාර් මහත්තයා ගැන ඔබෙන් ප‍්‍රශ්න කළාද?


පිළිතුර - නැහැ.


ප‍්‍රශ්නය - ඔහු ඉන්නවා කියලා දැන ගත්තේ කොහොමද?


පිළිතුර - මම කටහඬින් අඳුනා ගත්තා. ඒ වගේම ඔවුන් කිව්වා, කුමාර් සහෝදරයා ළඟ ඉන්නවා කියලා.


ප‍්‍රශ්නය - ඔබ හිතන්නේ මීට ජවිපෙ සම්බන්ධයක් තිබෙනවා කියලාද?


පිළිතුර - මට සහතික වශයෙන් කියන්න බැහැ. නමුත් ඔවුන් එහෙම අඟවන්න උත්සාහ කළා. අපව මර්දනය කරන්න ජවිපෙන් තොරතුරු ලැබෙනවා කියලා කිව්වා.


ප‍්‍රශ්නය - ඔබෙන් කිසියම් ලේඛනයකට අත්සන් ගන්න උත්සාහ කළාද?


පිළිතුර - නැහැ. නමුත් මට තේරුණා මම කියන හැම දේම රෙකෝඩ් කර ගන්නවා


කියලා. ඔවුන් මගේ ළඟ තිබුණු සියලූම ලියකියවිලි අර ගත්තා. බැංකුපොත් ආදියත් ගත්තා. නැවත ඒවා මට දුන්නේ නැහැ.


ප‍්‍රශ්නය - දේශපාලනය කරන්න එපා කියා තර්ජනය කළාද?


පිළිතුර - තර්ජනය කළේ නැහැ. නමුත් ඔවුන් කිව්වා, ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න අක්කා ළඟට ගිහින් හොඳින් ඉන්න පුළුවන් නේද, ඇයි දුක් විඳින්නේ, ඔය කරන දේශපාලනය වැඩක් නැහැ කියලා කිව්වා.


ප‍්‍රශ්නය - මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නාට පසුව මොකක්ද ඔබේ තීන්දුව?


පිළිතුර - මගේ තීන්දුව දිගටම දේශපාලනය කිරීම. මම ඔවුන්ටත් ඒක කිව්වා. මගෙන් ඇහුවා, මට මොකද හිතෙන්නේ කියලා. මම කිව්වා මේ වගේ දේකට මුහුණ දෙන්න වේවි කියා දැන ගෙන හිටියා. මට බයක් නැහැ කියලා. මගේ අරමුණ දිගටම දේශපාලනය කිරීම කියලා මම ඔවුන්ටත් කිව්වා.’’


 
Related Posts with Thumbnails